අපේ ජීවිතේ දැන් නයා සහ ඉනිමඟ වගේ - පේශල මනෝජ්




තබ්ලාවෙන් වැඩ පෙන්වපු පේශල මනෝජ්ට දැන් බොහෝ දෙනෙක් ආදරේ කරන්නේ නිවේදකයෙක් හැටියට. නමුත් ඔහු දක්ෂ සංගිත ශිල්පියෙක්. ඔහුගේ ආදරණීය බිරිඳ කවුරුත් හඳුනන පුර්ණිකා පීරිස්. ඇය නිදහස් මාධ්‍යවේදිනියක් හැටියට කටයුතු කරන්නේ. ඇතැමුන් කිව්වේ දෙරණ නාළිකාවෙන් ඈ සමුගත්තේ පේශල නිසා කියලයි. කොහොම නමුත් ඒ ගැන වගේම මේ දෙන්නගේ සොඳුරු කැදැල්ල ගැන කතා කරන්න පේශලවත් පූර්ණිකාවත්  කතාබහට එකතු කරගත්තා.


 පේෂල මේ දවස්වල කාර්යබහුල ජීවිතයක්ද ගත කරන්නේ..?


අපේ ජීවිතෙත් දැන් හරියට නයා සහ ඉනිමඟ වගේ තමයි. මුල ඉදලා පටන් ගද්දී මොකක් හෝ හේතුවක් නිසා ආයෙත් පහළට යන්න සිදු වෙනවා. කොහොම වුණත් ජීවිතේ ගෙවනවා ගෙදර වැඩකටයුතු වගේම සංගීත වැඩ කටයුතු එක්ක. නිවේදනය වගේම මගේ ඇකඩමි එකේ පංති වැඩ වලටත් මුලික තැන දෙනවා.


පේෂල ඇයි ස්වතන්ත්‍ර නිර්මාණයක් කරන්නේ නැත්තේ, ඔබට ආදරේ කරන පිරිස ඔබේ කටහඬ අහන්නත් කැමති ඇති..?


සෑහෙන කාලෙකින් ගීතයක් කළේ නැහැ. අදහසක් තියෙනවා ගීත කිහිපයක් ම කරලා ජනගත කරන්න. ඒ වැඩ කටයුතු ඉක්මනින් පටන් ගන්න ඕන.


සංගීත ශිල්පියෙක් ට වඩා නිවේදකයෙක් හැටියට ජනප්‍රියයි කිව්වොත්..?


ඒ ගැන සතුටුයි. මොකද දෙරණින් චැම්පියන් ස්ටාර් පටන් ගත්තේ බෙල්ට් එකක් කවර් කරන්න මාස තුනකට. නමුත් ඒක සාර්ථක ජනප්‍රිය වැඩසටහනක් බවට පත් වුණා. ඒ නිසා ඒක අවුරුදු අටක් තිස්සේ විකාශය වෙනවා. ප්‍රශ්න තියෙන මොහොතක ඒ වැඩසටහන බලලා ඔළුව ටිකක් නිදහස් කරගෙන නිදා ගන්න පිරිසක් ඉන්නවා. ලැබෙන ප්‍රතිචාර ගැන සතුටුයි.


ඔබ, මාධව, සචිනි වැඩසටහන තුළ විනෝදෙන් කටයුතු කරනවා වගේම සාමාන්‍ය ජීවිතයේත් විනෝදෙන් ද ඉන්නේ..?


අපි කොහොමත් සාමාන්‍ය විදිහට හැසිරෙන්නේ ඒ විදිහට තමයි විනෝදෙන් කාලය ගත කරනවා. වෙනසකට තියෙන්නේ ඉස්සරහින් කැමරා තියෙන එක විතරයි. කොහොමත් අපි සිරියස් චරිත නෙමෙයි.


රාජකාරි වැඩවලට අමතරව ගෘහමුලිකයාගේ වැඩකටයුතු හරියාකාරව කරනවද, නැත්නම් පූර්ණිකා පිට පටවලා පැත්තකට වෙනවද..?


ගෙදර ඉන්නකොට පූර්ණිකාට උදව් කරනවා නොකර ඉන්නේ නැහැ. ඔයා මේ ටික කරන්න මම මේ ටික කරන්නේ කියන ප්‍රතිපත්ති වල නැහැ . බලලා කරන්න තියෙන දේවල් කරන පුරුද්ද අපි දෙන්නටම තියෙනවා.


පේෂල දේශපාලනයට එන්නද අර අදින්නේ..?


දේශපාලනය කියන්නේ හොඳ විෂයක්. මම කැමති විෂයක්. නමුත් ලංකාවේ තියෙන්නේ හරි දේශපාලනය නෙමෙයි. ඒ නිසා මම කොහොමත් දේශපාලනයට එන්නේ නැහැ. නමුත් ලංකාවේ සිස්ටම් එක වෙනස් වෙලා හොඳ දෙයක් වෙනවා නම් හොඳයි කියලා හිතනවා.


පේෂලගේ කතා බහෙන් අනතුරුව ඔහුගේ ආදරණීය බිරිඳ පුර්ණිකා අපිත් එක්ක කතාබහ ට එකතු වුණේ මෙහෙමයි.


පුර්ණිකා ඉන්නේ පුතාලා දෙන්නෙක්..?


ලොකු පුතා ආධිත්‍ය, වයස අවුරුදු නමයයි. පොඩි පුතා අභිමන්සු එයාට අවුරුදු දෙකක් වෙනවා. මේ දෙන්නගෙන් අහිංසක ආධිත්‍ය. පොඩ්ඩා හරිම දඟයි. ඇත්තටම කිව්වොත් හරිම ආඩම්බරකාරයා. අපෙන් පිට කිසි කෙනෙක් අතට යන්නේ නැහැ. කට්ටියට කතා කරනවා, හිනා වෙනවා, අත වනනවා එච්චර තමයි. එතනින් එහාට කිසි කෙනෙක් එක්ක ගනුදෙනු නැහැ. ආධිත්‍ය පුතා නම් එහෙම නැහැ. නිවිච්ච කීකරු සුහද දරුවෙක්


දැන් ඔබ ස්ථිර නිවේදිකාවක් නෙමෙයි නේද..?


නැහැ. මම දැන් කටයුතු කරන්නේ නිදහස් නිවේදිකාවක් විදිහට. ඒක හරිම පහසු කටයුත්තක්. දරුවෝ දෙන්නගේ වැඩ එක්ක කාර්යබහුල වෙලා ඉද්දි නිදහසේ වැඩ කරන්න ලැබෙන එක මනසටත් නිදහස්


එහෙම නැතුව පේෂල දෙරණ නාළිකාවත් එක්ක ඉන්න නිසා ඔබ ඉන් ඉවත් වුණා නෙමෙයි ද..?


කොහෙත්ම නැහැ. මම එක රාමුවකට කොටු වෙලා හිටියා කියලා මට හිතුණා. එළියෙන් ආ වැඩත් මඟ හැරුණා. මට කරන්න පුළුවන් වපසරිය මම දන්නවා වුණා ට මට අවස්ථාව ලැබුණේ නැහැ. ඒ නිසා මම තීරණය කළා දෙරණ රූපවාහිනීයෙන් ඉවත් වෙන එක තමයි හොඳම දේ කියලා. ඒකට කොහෙත්ම පේෂල අදාළ වෙන්නේ නැහැ


ඔබ මුලින් විවාහයෙන් ඉවත් වූ කෙනෙක්, පේෂල ඔබේ ජීවීතයට සම්බන්ධ වෙද්දී බයක් හිතුණේ නැද්ද..?


නැහැ. පේෂල කියන්නේ කාලයක් තිස්සේ සිට දන්න චරිතයක්. අපි දෙන්නා යාළුවෝ වගේ ආශ්‍රය කරද්දී තමයි පේෂල මට විවාහයට යෝජනාවක් ගෙනාවේ. ඒ වෙද්දී අපි ආදරේ ප්‍රකාශ කරලා තිබ්බෙත් නැහැ. හඳුනා ගැනිම එක්ක තමයි විවාහයට යෝජනාව ගෙන්නේ. අකමැති වෙන්න හේතුවක් තිබ්බේ නැහැ බයක් හිතුණෙත් නැහැ. කැමති වෙලා විවාහ වුණා. තවම නම් අපි හොඳින් ජීවිතේට මුහුණ දෙනවා.


පේෂල ආධිත්‍ය පුතාට හොඳ තාත්තා කෙනෙක් වෙයි කියන විශ්වාසය තිබ්බද..?


අපේ ආශ්‍රය එක්ක ආදී පුතාත් පේෂල ට කිට්ටුයි. ඒ නිසා පුතාට වෙනසක් කරයි කියලා හිතුණේ නැහැ. අදටත් ඒ දෙන්නා තමයි එකතු. කොහේ ගියත් මොනා කළත් පේෂල ගේ මුල් තැන ආදී තමයි. පොඩි පුතා මාත් එක්ක එකතුයි. කවදාවත් ආදීට නම් පේෂල වෙනසක් කරන්නේ නැහැ කියලා දැන් මට විශ්වාසයක් තියෙනවා.


රූපවාහිනී තිරයෙන් දකින පේෂල විහිළු කරලා ඉන්න කෙනෙක්නේ, සෑබෑ ජීවිතයේදි ඔහු සීරීයස් කෙනෙක්ද ..?


එහෙම නැහැ. ඔය දකින විදිහම තමයි විහිළු කරලා විනෝදෙන් ඉන්නවා. සීරියස් තැන් වලදි සීරියස් වෙන අවස්ථාත් තියෙනවා.


ඇතැම් අය කියන්නේ පේෂල හරියට කේන්ති ගන්න කෙනෙක් කියලා ..?


අපිත් එක්ක ජීවත් වෙද්දී නම් මම එහෙම දකින්නේ නැහැ. සැහැල්ලුවෙන් විනෝදෙන් ඉන්නවා. වගකීම් ඉටු කරනවා. නිතරම තරහින් ඉන්න කෙනෙක් නෙමෙයි. නමුත් අසාධාරණ තැන්වලදි නම් තරහා ගන්න අවස්ථා තියෙනවා.


පේෂල කාලයක් ඉන්දියාවේ හිටපු නිසා රසට කෑම බීම හදනවා කියලත් ආරංචියි..?


ඔව්. එයා රසට උයනවා. රයිස් වර්ග එහෙම හදන්න දන්නේ නැහැ. නමුත් ඉන්දියන් කෑම හදනවා. පූරී වගේ කෑම හදනවා. ඒවා රසයි. චිකන්, මට්න් ඉන්දියන් විදිහට හදනවා.


පේෂල, මාධව හා සචිනි කරන වැඩසටහනට බොහෝ දෙනෙක් ප්‍රිය කරනවා, ඔබ ඒ වැඩසටහන නරඹනවද..?


ඒ වෙලාවට තමයිTNL එකේ මම කරන වැඩසටහන යන්නේ . ඒ නිසා මට ඒක මඟහැරෙනවා. නමුත් යූටියුබ් එකේ යන ඇතැම් විහිළු කොටස් මම නරඹනවා.





Previous Post Next Post