වසර 19ක් පුරාවට කලා කටයුතු වල නියැළෙමින් හැමෝගෙම ආදරය එක සේ එදත් අදත් විඳින ඈ පියුමි බෝතේජු. හැම අවුරුද්දකම පියුම් සිය උපන් දිනය සමරනවා. මෙවරත් ඇය උපන් දිනය සැමරුවා. ඒ ගැන වගේම අලුත් තොරතුරුත් කතා ගැනත් ඇය මෙසේ පුවත්පතක් සමඟින් විස්තර කියා තිබුනා.
පියුමි පසුගියදා උපන් දිනය සැමරුවා නේද..?
11 වැනිදා මගේ උපන් දිනේ. සුපුරුදු විදිහට යාළුවෝ මාව සර්ප්‍රයිස් කරා. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් එක්ක උපන් දිනය මෙවර සමරන්න බැරි වුණා. ඒ නිසා ගමේ පන්සලේ අරංගල රිදී දේවාලයේ බණ දෙසුමක් සංවිධානය කළා. ගමේ අය සහභාගි වුණා. 14 වැනිදා. ඊට අමතරව ෆොටෝ ෂුට් එකක් කළා.
මේ දවස්වල මොන චැනල් එක දැම්මත් පියුම්ව දකින්න ලැබෙනවා..?
මොන පිනකටද මන්දා, මට නම් වැඩවලින් අඩුවක් නැහැ. මේ දවස්වල ඇස්, බන්ධනා, මීනූ, කියා දෙන්න ආදරේ තරම් කියන නාට්‍යවල ඉන්නවා. ඊට අමතරව භාරගත්ත හා ආරාධනා ලැබුණු නිර්මාණ කිහිපයක් තියෙනවා. ඒ වගේම කියන්න ඕන ඉස්සර මාව කොමඩි වලට කොටු කරලා තිබ්බා. ඒ තත්ත්වය දැන් නැහැ කියන එක. දැන් මට විවිධ චරිත ලැබෙනවා.
අහම්බයකින් නේද නිළියක් වුණේ, එදා අවුරුදු කුමාරී නොවුණා නම්..?
මම ලක්හඬ අවුරුදු කුමාරී තරගයට යන්නේ මගේ මාමා නිමල් ආරියරත්න නිසා. මාමා තමයි පත්තරේ ඇඩ් එක දැකලා එයාලගේ ගෙදර තිබ්බ ෆොටෝ එකක් එක්ක ඒකට අයදුම් කරලා තිබ්බේ. මගේ අම්මා ගුරුවරියක්. තාත්තා බැංකු නිලධාරියෙක්. එතකොට මම සාමාන්‍ය පෙළ විභාගේ කරලා හිටියේ. දිනන කෙනාට නිවේදනය කරන්න අවස්ථාව දෙනවා කියලා තිබ්බ නිසා මම තාත්තා එක්ක ගියා.
ඉස්සර අපිට තිබ්බේ බයිසිකල් එකක්. නමුත් ගියේ ත්‍රීවිල් එකක. යද්දී ටිකක් පරක්කු වෙලා. 170 අතරින් 50 කට මම තේරිලා හිටියේ. ඒකට යද්දී තමයි පරක්කු වුණේ. තාත්තා ගිහිං කතා කරා වාහන ප්‍රශ්න නිසා එන්න පරක්කු වුණා කියලා. ඒ වෙද්දී 30ක් විතර ස්ටේජ් එකට නැගලා තිබ්බේ. මටත් අවස්ථාව ආවා. සාමාන්‍ය දැනීම තමයි හොඳට ම බැලුවේ. එදා මාව තමයි තේරුණේ. ජොබ් එකත් ලැබුණා. පස්සේ මම උසස් පෙළ කරා. නිවේදිකාවකුත් වුණා. අවුරුදු කුමාරී නොවුණා නම් කවුරු වෙයිද දන්නේ නැහැ. ඊට පස්සේ රංගනයට ආරාධනා ආවා. තවම නිළියක් විදිහට වැඩ කරනවා
ෆීල්ඩ් එකට ආව කාලේ වගේම පියුම් තවම ජනප්‍රියයි..?
ජනයාට ප්‍රිය කෙනෙක් වෙනවා කියන්නේ වාසනාවක්. කොහේ ගියත් කතා කරන අය ඉන්නවා. හරිම සතුටුයි. එදා වගේම මට ආදරේ කරන අය ඉන්න එක වටිනවා.
යළිත් විවාහ වෙන්නේ නැද්ද..?
මම ආයේ විවාහ වෙන්නේ නැහැ කියලා හිතුවා.
එතකොට ආදරේ විඳිනවද..?
අපිට පෙට්‍රල් නැතුව වාහනේ පදින්න බැහැ වගේ තමයි ආදරේ නැතුව ජීවත් වෙන්න අමාරුයි. ආදරේ නම් විඳිනවා.
ඒ කියන්නේ පෙම්වතියක්..?
මට පෙම්වතෙක් නැහැ. මගේ ජීවිතේ ට නොලැබුණු එකම දේත් අවංක ආදරයක් කිව්වොත් හරි.
සමහර වෙලාවට හිතෙනවා මට මුණගැහුණු සමහර අය මුණනොගැහුණා නම් කියලත්.
ජීවිතේ ගත්ත සමහර තීරණ ගැන දැන් පසුතැවෙනවද..?
පසුතැවීමක් නැහැ. මාව කාටවත් වට්ටන්නත් බැහැ. මම වැටුණොත් හරි ඉක්මනින් ආයෙත් නැගිටිනවා.
ඔබ සහෝදරයින් හතර දෙනෙකුගෙන් යුත් පවුලේ එකම කෙල්ල. දෙමාපියන් කියන්නේ නැද්ද විවාහ වෙන්න කියලා..?
මගේ ජීවිතේට උපරිම නිදහස දුන්නු දෙන්නෙක් තමයි අම්මයි තාත්තයි. කොයිම මොහොතකවත් එයාලා මට බල කරන්නේ නැහැ ඒදේට. ඒ දෙන්නා එක්ක සතුටින් ජීවත් වෙනවා.