තිබුණ ප්‍රේමය නැති වුණේ තේරුම් ගැනීම වැඩිවෙලා - අනුරාධා එදිරිසිංහ




සාම්ප්‍රදායික සම්මතයෙන් ඔබ්බට යමින් ඉගැන්වීමේ රටාව වෙනස් කිරීමට වෙර දරන ඇය හිරුණි ටීචර්ය. අම්බලන්ගොඩට ආවේණික රූකඩ සහ වෙස්මුහුණු කලාව ඇසුරින් සද්ධා මංගල සූරියබණ්ඩාරයන්ගේ තිර රචනයෙන් සහ ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණු කෝලම් කුට්ටම්හි සාම්ප්‍රදායික සම්මතය බිඳ හෙළමින් ඉදිරියට යන හිරුණි ටීචර් ඇයයි. එමෙන්ම අසීමිත ප්‍රේක්ෂක ආදරය දිනූ ‘රාවණ’හි පුෂ්පෝත්කතා ද වූ ඇය දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පිනී අනුරාධා එදිරිසිංහයි.


“රාවණහි පුෂ්පෝත්කතා තමයි මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය. ඒක මට තාමත් අදහගන්න බැරි දෙයක්. ඒ වෙද්දි ‘රාවණ’ හි අනෙක් හැම චරිතයක්ම තෝරගෙන තිබුණේ. එහි අධ්‍යක්ෂ තුෂාර තෙන්නකෝන් ඇතුළු දෙරණ කණ්ඩායම මේ වෙලාවෙ ආදරෙන් සිහිපත් කරනවා. ලක්සිරි සර් තමයි චරිතයත් එක්ක මාව ආත්මීයව බද්ධ කළේ. ඔහු කිව්වා “මේක තමයි රාවණ හි හාර්ට් එක. ඔයා ෆේල් වුණොත් අපි හැමෝම ෆේල් “ කියලා. ඒක අභියෝගාත්මක රංගනයක්. රාවණ තුළ මං යම්කිසි දෙයක් කළා නම් ඒ මගේ අධ්‍යක්ෂ නිසා. කොටින්ම පුෂ්පෝත්කතා ගන්න හැම හුස්මක්ම සාර්ථක වුණේ මගේ අධ්‍යක්ෂ මාව මෙහෙයවපු නිසා. මේ දවස්වල රාවණ තුන්වන අදියර රූපගත වෙනවා. ඒකෙ මගේ චරිතය අවුරුදු 60-65 දක්වා විහිදෙනවා.


මං කලා ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු 8ක් වෙනවා. ඒ ආව ගමන මට හොඳට මතකයි. අවුරුදු 13 දී වගේ මං රූපවාහිනි වැඩසටහන්වලට සම්බන්ධ වුණා. ඒත් ඉගෙනීම කඩාකප්පල් කරගනීවි කියලා තාත්ත අකමැති වුණ නිසා අතරමඟදි නතර වුණා. ඊට පස්සෙ වෙළෙඳ දැන්වීමකට පෙනී ඉන්න ලැබුණා. ඒකෙ මොඩ්ල්ට එන්න බැරි වුණ නිසා රෑ 10 ට විතර ආපු කෝල් එකකින් තමයි මං එයට සම්බන්ධ වෙන්නේ. ඒ කණ්ඩායම හරහා තමයි මට ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. ලලිත් ධර්මප්‍රියගේ ‘පාට පිහාටු’ කියන ටෙලි නාට්‍යයට මං මුලින්ම සම්බන්ධ වුණේ. ඒත් ඒක විකාශය වුණේ නෑ. ඒක යූටියුබ් එකකට දීලා තිබුණා. රූපවාහිනියේ විකාශය වුණු පළමු ටෙලි නාට්‍යය වුණේ සඳුන් රාජකරුණා අධ්‍යක්ෂණය කළ ‘උතුම් පැතුම්’. ඒකට සම්බන්ධ වීමත් අහම්බයක්. පත්තරේක පළවුණු මගේ පැෂන් පේජ් එකක් දැකලා ලලිත් වසන්ත අයියා තමයි මාව ඒකට සම්බන්ධ කළේ.


ඊට පස්සේ ගිරිදේවි, ගරුඬ මුහුර්ත, සකර්ම එක ළඟ විකාශය වුණ නාට්‍ය. මං හීනෙකින්වත් හිතුවෙ නැති දෙයක් මෙතරම් ඉක්මනින් මට ලබා දුන්නේ ‘සකර්ම’ ටෙලි නාට්‍ය. ඒ තමයි රයිගම් සම්මාන උළෙලේ හොඳම සහාය නිළියට හිමි සම්මානය. සම්මානයක් අරමුණු කරගෙනම රඟපාන්න කියලා නිතරම මාව දිරිමත් කරන්නේ ශලිනි තාරකා. ඊට අමතරව මැටි කඩුළුවල කැම්පස් යන රැඩිකල් චරිතයක් කළා. කොළඹ ඉතාලියත් බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබූ නාට්‍යයක්. ජයප්‍රකාශ් සිවගුරුනාදන් කියන්නේ පුද්ගලිකව මං ආසම කරන චරිතයක්. වැඩ කරන්න, ඉගෙන ගන්න වගේම ඔහු හරියට ඉස්කෝලයක් වගේ. හොඳ කණ්ඩායමක් එක්ක ආස කරන දෙයක් කරද්දි හිතටත් සතුටුයි. මට ලැබුණු හැම චරිතයක් ම හොඳම නිර්මාණ. කොහොමත් මං විවේකයක් ලැබුණත් පැත්තකට වෙලා ෆෝන් එක ඔබ ඔබ ඉන්න කෙනෙක් නෙවෙයි. හැම වෙලේම මොකක් හරි දෙයක් ඉගෙන ගන්නවා. ඒක එහෙම වුණේ කොහොමද, මෙහෙම වුණේ කොහොමද ? ප්‍රශ්න කරන එක තමයි මගේ වැඩේ. ප්‍රේක්ෂකයා දැන් හරිම බුද්ධිමත්. අපි එහෙම කාලයක් තිස්සේ හොයලා, හොයලා කරන දේවල් ප්‍රේක්ෂකයා තප්පරෙන් අවබෝධ කරගෙන ඒ ගැන අදහස් දක්වනවා. එයාලට බොරු කරන්න බෑ.”


අනුරාධා එදිරිසිංහ කියන නිළියට අසීමිත ප්‍රේක්ෂක ආදරය ලැබෙන්නේ ප්‍රේක්ෂකයන් ඇගේ රංගනය හොඳින් තේරුම් ගත් නිසා. ඒත් අනුරාධට පළවෙනි ප්‍රේමය අහිමි වෙලා තියෙන්නෙත් ඇය කියන විදිහට නම් තේරුම් ගැනීම වැඩි වුණ නිසා.


“පාසල් යන කාලේ පාසල තුළ මං ආදරේට තැනක් දුන්නෙ නෑ. ඉගෙනීමට තමයි මුල්තැන දුන්නේ. අවුරුදු ගාණක ප්‍රේමයක් මටත් තිබුණා. ඒත් ඒක නැති වුණේ අපි අතර තේරුම් ගැනිල්ල වැඩි වෙලා. අර කියමනකුත් තියෙනවනේ. ‘ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ‘ කියලා. අපි තරහක් නැතුව තේරුම් අරගෙනම වෙන්වුණා. එහෙම වුණා කියලා මම විවාහය ගැන අදහස අතෑරලා නෑ. පසුගිය කාලේ පටන් ගත්ත වැඩ ටිකක් තියෙනවා ඉවර කරන්න. ඒ ටිකත් කරගෙන ඉදිරියේදී විවාහයේ වැඩකටයුතුත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.”





Previous Post Next Post