රංගන ශිල්පිනියක්, ව්‍යාපාරිකාවක්, නිවේදිකාවක්, ගෘහණියක් මෙන්ම මවක් ලෙස සැබෑ දිවිය තුළ අතිශයින් කාර්යබහුල ඇය ඒ සෑම අවස්ථාවකටම එක ලෙස සාධාරණය ඉටුකරන ආදරණීය චරිතයක්. රිදී තිරයේ මෙන්ම පුංචි තිරයේ කඳුළු බිංදුව යන උපහාර නාමයෙන් පවා ආශිර්වාද ලබන්නට තරම් වාසනාවන්ත වූ ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම චරිතාංග නිළියක් යැයි කීම අතිශයෝක්තියක් නොවේ. තමන් වෙත පැමිණි දුක් කඳුළු සෝ සුසුම් ආශිර්වාදයක් කොට ගනිමින් “ආදරණීය අම්මා” යන චරිතය ධෛර්යවන්තව මෙහෙයවන අතරතුර “පරාජිත බව අලුත් හැඟුමකි හදවතේ පණ නල තිබේ නම්” යන පාඨය ක්‍රියාවට නංවමින් මුළු මහත් කාන්තා පරපුරටම ආදර්ශයක් වූ ඒ සොඳුරු රුවැත්තිය පුවත්පතක් සමඟින් ඇගේ සහ දියණියගේ විස්තර මෙලෙස පවසා තිබුනා.
කොහොමද අද දවස ?
සතුටින් ගෙවන්න ලොකු උත්සාහයක් ගනිමින් ඉන්නවා. මොකද මම හැම වෙලාවෙම නැහැ බැහැ කියන්න අකමැති ධනාත්මක සිතුවිලි සමඟ ජීවත් වෙන්න කැමැති කෙනෙක්. අසුබවාදී තින්කින් පැට්න් එක ඔලුවට දාගත්තොත් අපේ ජීවිත අපි නොදැනුවත්වම අවුල් වෙනවා. ඒ හරහා විඳින්න තියෙන ජීවිතේ විඳවන තැනට එනවා. හැබැයි අද රටේ තිබෙන සිටුවේෂන් එකත් එක්ක අපි හැමෝම එකම වළකට වැටිලයි ඉන්නෙ. ඒකෙන් ගොඩ එන්නෙ කොහොමද කියන එක මිනිස්සුන්ගෙ අතේ නොවෙයි තියෙන්නෙ රටේ පාලකයන්ගෙ අතේ. ගෙවෙන හැම මොහොතකම මම හිතනවා මේ තත්ත්වෙන් අපි හැමෝම ගොඩ එන්න ඕන කියලා.
පවතින තත්ත්වය උදාකරන්න දායක වුණා කියන චෝදනාව ඔබටත් එල්ල වුණා...
චෝදනා නම් කාට එල්ල කරන්න බැරිද? සමාජ මාධ්‍ය ජාල හරහා අපිත් දේශපාලනයට කඩේ ගියා කියලා පලකරලා තිබුණා. මම ඒ කියමනට හරිම විරුද්ධයි. එහෙම නම් ඔය කියන අයත් කරන්නෙ තව පක්ෂයකට කඩේ යෑමක්. පැහැදිලිව කියන්න ඕන මගේ යම්කිසි ඉන්සිඩන්ට් එකකදි එවකට තිබුණ රජය මට උදව් කළා. ඒකට සාපේක්ෂව මම කරපු උදව්වක් පමණයි මෙතනදි සිද්ධ වුණේ. කවදාවත් මගේ රටේ ආදරණීය ජනතාව හිතා මතා අමාරුවේ දාන්න මට කිසි උවමනාවක් නෑ. රටට හොඳක් වෙයි කියලා හැටනම ලක්ෂයක් තීරණය කරපු වෙලාවෙ මමත් ඒ අතර කෙනෙක් වුණා. අද ඒ සියලු දේ වෙනස් වෙලා අනිත් හැමෝම වගේ මමත් ඔය හැම පීඩනයකටම මුහුණ දෙමින් ජීවත් වෙනවා.
නිල්මිණී තෙන්නකෝන් කියන්නෙ බොහොම ශක්තිමත්ව ජීවිතය ජය ගත්තු ගැහැනියක්. ඒ ධෛර්යය ඔබට ලැබෙන්නෙ කොහොමද ?
මම හිතන්නෙ ඒක අපි හැම කෙනෙකු තුළම උපදින්නෙ අහම්බෙන්. අප ටවා ගොඩනැඟෙන යම් යම් ගැටලුකාරී තැන්වලදි ඒ දේවල් විසඳගන්න දරන උත්හාසය තුළින් තමයි කෙනෙකුගෙ හිත ශක්තිමත් වෙලා ධෛර්යය උපදින්නෙ. පුංචි කාලෙ මමත් අම්ම තාත්තගෙ තුරුල්ලෙ බොහොම ලද බොළඳ විදියට හැදුන වැඩුන කෙනෙක්. නමුත් වයසින් මුහුකුරා යන විට ස්වභාවයෙන්ම අපිට මේ තැනට එන්න වෙනවා.
ව්‍යාපාර කටයුතු ගැන කතා කළොත් ?
කෙනෙක් ව්‍යාපාරයක් අරඹනවා නම් ඒ ගැන හොඳ අධ්‍යයනයකින් පස්සෙ තමයි ඒ දේට අත ගහන්න ඕන. මම රූපලාවන්‍ය ක්‍ෂේත්‍රය ගැන ඒ ටු ඉසෙඩ් ඉගෙන ගෙන තමයි සැලොන් එක ඕපන් කළේ. ඒ නිසාම බොහොම සාර්ථකව ලාභ ලබමින් එය පවත්වාගෙන යන්න මට හැකි වුණා. මගේ ළඟ සේවිකාවො හත් අට දෙනෙක් වැඩ කළා. මාත් ඒ අය එක්ක හරි හරියට හෙයා කට්ස්, පේෂල් ඇතුළු හැම දේකම නිරත වෙනවා. ඒත් අද රටේ තියෙන මේ අර්බුදකාරී තත්ත්වයත් එක්ක ඒ හැම දේම අඩාල වෙලා. මට සැලොන් එක තිබුණු තැනින් ගෙදරට ගේන්න සිද්ධ වුණා. සේවය අවශ්‍ය වුණත් අද පාරිභෝගිකයන්ට අපේ ළඟට එන්න බැරි වාතාවරණයක් තමයි පවතින්නෙ. ඒ තත්ත්වය උඩ මට මගේ සේවිකාවන්ව නවත්වන්න සිද්ධ වුණා. ඒ ළමයින්ට රැකියාව අහිමිවීම කොයිතරම් දුක්ඛිත තත්ත්වයක්ද?
රංගන ශිල්පිනියක් ව්‍යාපාරිකාවක් විදියට කාර්ය බහුල වෙද්දි ගෘහනියක් මවක් කියන වගකීම් මඟහැරෙන්නෙම නැද්ද ?
කවදාවත් නෑ. මොහොතකට හරි ව්‍යාපාර කටයුතු වගේම රංගන කටයුතු මග හැරුනත් මම මගේ දරුවගෙ දේවල් මඟහැරෙන්න දෙන්නේ නෑ. හැම මොහොතකම මුල් තැන දෙන්නෙ දුව ස්වේතට. එයාව ජීවත්කරවන්න මම ලොකු සටනක් කරනවා කිසිම කෙනෙකුගෙන් සත පහක උදව්වක් උපකාරයක් නැතුව මගේ තනි උත්සාහයෙන්. ඒ ධෛර්යයත් එක්ක මම හැමදේම බැලන්ස් එකේ ගෙනියන ගෘහනියක් අම්ම කෙනෙක්.
තරුණ දියණියක් ඉන්න අම්ම කෙනෙක් විදියට රංගනයේදි ඔබේ සීමා මායිම් මොනවගේද ?
දියණියට කලින්නෙ මම මාව දැක්කෙ. ඒ නිසා මුල් කාලෙ ඉඳලම ආරක්ෂාවක් ඇතුව මේ ගමන යන්න ඕන කියන දේ මගේ හිතේ තිබුණා. අන්න ඒ අනුව මම මටම සීමා මායිම් පනවා ගෙනයි හිටියෙ. විශේෂම දේ රංගන කටයුත්තට ආරාධනා ලැබුණම පිටපත කියවලා බලල චරිතය කොතෙක් දුරට ගැලපෙනවද එහි මට රඟපාන්න දෙයක් තියෙනවද කියල හිතල බලල තමයි අදාළ කටයුත්ත බාරගන්නෙ. මම හිතන්නෙ අද ඒ සීමා මායිම් ගැන හොඳටම දන්නෙ මගේ ආදරණීය දියණිය.
එකම දියණිය ස්වේතාගේ අනාගතය සැළසුම් කරන්නෙ මොන විදියටද ?
දුව මේ වෙද්දි උසස් අධ්‍යාපන කටයුතුවල නියැළිලා ඉන්නෙ. ඒ වෙනුවෙන් මගේ හිතේ ගොඩක් සැළසුම් තියෙනවා. ඒත් මේ වෙද්දි මගේ බලාපොරොත්තු පාවෙන තත්ත්වයට ඇවිල්ලා. මම හරි ආසාවෙන් හිටියා එයා යුනිවර්සිටි එකකට යනවා දකින්න. ඒත් මේ කොවිඩ් එකත් එක්ක ස්වේතට අධ්‍යාපනය ලබන්න සිද්ධ වුණේ ඔන්ලයින් හරහා. හැබැහි මම ඒ උත්සාහය අත්හරින්නෙ නැහැ. මම දුව වෙනුවෙන් තියාගෙන හිටපු ටාගට්වලට අනිවාර්යයෙන්ම යනවා.
සුළු වශයෙන් හෝ අම්මගෙ වෘත්තියට දුවව සම්බන්ධ කර කරගන්න ඔබ අකමැතිද ?
ඒකනම් මෙන්න මෙහෙමයි. මගේ අකමැත්තක් නෑ වගේම දුවගෙ කැමැත්තක් නෑ. එයා නිතරම කියන්නේ ඒ ස්ටයිල් එක මගේ ඇඟේ නෑ කියන එක තමයි. ඒත් රංගනය කියන වෘත්තියට එයා පුදුම විදියට ගරු කරනවා. හැබැහි දුව මාස හතේදි ලේ කිරි කඳුළු චිත්‍රපටයේ පෙනී සිටියා. එතනින් පස්සෙ බොහෝ ආරාධනා ලැබුණත් එයා කිව්වෙ අධ්‍යාපන කටයුතු පාඩුකර ගන්න බැහැ කියන එක තමයි.
නමුත් ඇය මෑතක රංගනයට නැවත ආරම්භයක් ගත්තා...
ඒක දුව ලොකු කැමැත්තකින් කරපු දෙයක් නෙවෙයි. සුසිලා මෙන්ඩිස් මහත්මිය එදා මම රඟපෑ දූ දරුවෝ ටෙලි නාට්‍යයේ එන දීප්ති කවුද? සුදු ආච්චි කියන්නෙ කාටද? කියන චරිත නැවත හඳුන්වාදීමේ වැඩසටහනක් කළා. ඒ සඳහා සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මිය මගේ දුව ස්වේතටත් ආරාධනා කළා දීප්තිගේ දුව විදියට පෙනී සිටින්න. එයා දූ දරුවෝ ඩ්‍රාමා එකට ගොඩක් කැමතියි යන යන තැන්වලදී අම්මට දීප්ති කියන නිසාද කොහෙද? ඒත් එක්කම කිව්වා අම්මයි අයිරාංගනී ආච්චි අම්මයි එක්ක රඟපාල ආයි කවදාවත් රඟ නොපෑවත් කමක් නෑ මම එනවා කියල. ඇත්තටම මට ඇඬුනා අවුරුදු 25 කට 30 කට පස්සෙ මම දීප්ති වෙලා මගේ දුව දීප්තිගෙ දුව වෙලා නැවත අපි දෙන්නම අයිරාංගනී ආන්ටි එක්ක රඟපෑවා කියන එකත් ආදරණීය පැරණි ශිල්පීන් හමුවෙලා නැවත ඒ අතීතයට යන්න උදාවුණ සුන්දර අවස්ථාවත් නිසා. ස්වේතා සඟවගත්තු රංගන කුසලතාවයක් තියෙනවා. නමුත් එයා ඒක එළියට දාන්න කැමති නෑ.
මේ දිනවල ඔබේ රංගන කටයුතු ?
චිත්‍රපට තුනක වැඩ අවසන් කළා. පසුගිය කාලෙ රංගනයෙන් දායක වුණ සුනිල් ආරියරත්න සර්ගෙ අලුත්ම චිත්‍රපටය රිලීස් වෙන්න තියෙනවා. ටෙලි නාට්‍ය දෙකක් තියෙනව ඉදිරියේදී ටෙලිකාස්ට් වෙන්න. ඔය අතරෙ රනිල් කුලසිංහගෙ ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙලා එහි රූගත කිරීම් එක්ක ටිකක් විතර කාර්යබහුලයි.
කවදහරි ඇහේ තියාගෙන හදන ආදරණීය දියණිය ඔබෙන් ඈත්වන දිනයක් එනවා. කොහොමද හිත හදා ගන්නෙ ?
අනේ ඒ ගැන නම් මතක් වෙනකොටත් මගේ හුස්ම හිරවෙනවා වගේ තමයි දැනෙන්නෙ. අපේ ආගමට අනුව ඇලෙන්නයි ගැටෙන්නයි හොඳ නෑ කිව්වට අපි දෙන්න ඇලිලම වගේ ජීවත් වෙන නිසා දුරස් වෙන එක අපි දෙන්නටම ලේසි වෙන්නෙ නෑ. හැබැයි ඉතින් මම මේ මහන්සිවෙලා හදන එයාගෙ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් ඇත්තට මුහුණ දීලා කොහොම හරි හිත හදා ගන්නවා.
ධම්මික හේවාවසම්