ආදරේකට බැඳිලා ඉන්න මගේ ඔලුව හදාගන්න අමාරුයි - කාවින්ද්‍යා දුල්ශානි




පුංචි තිරයේ විවිධ නිර්මාණ තුළින් එකිනෙකට වෙනස් වූ චරිත සමඟින් රංගනයෙන් සේම විටෙක නිවේදනයෙන් ද ප්‍රේක්ෂකයින් අතරට එන කාවින්ද්‍යා දුල්ෂානිගේ අලුත්ම රංගනය තමයි කෝලම්කුට්ටමේ සුද්දී. ඒ ගැන වගේම මේ දිනවල විකාශය වන නිර්මාණ ගැනත් කතා කරන්න අපි කාවින්ද්‍යාට කතා කළා.


මම පාසල් ගියේ දොම්පේ දේවි බාලිකා විද්‍යාලයට සහ ගම්පහ සිද්ධාර්ථ මහා විද්‍යාලයට.මගේ පවුලේ අම්මායි, තාත්තායි, මමයි, නංගිලා තුන්දෙනයි. මගේ පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නැහැ. මම කවදාවත් නිළියක් වෙන්න සිහින දැක්ක කෙනෙක් නෙවෙයි. 2015 දී මම ස්වාධීන රූපවාහිනි සේවයේ අවුරුදු කුමාරි තරගයට සහභාගි වුණා. එහිදී අවසන් 12 දෙනා අතරට එන්න මට හැකිවුණා. ඊට කාලයකට පස්සේ ඒ 12 දෙනා අතරින් එම නාළිකාවේ විකාශනය වන ටෙලි නාට්‍යයකට කෙනෙක්ව තෝරා ගන්නවා ඒ වෙනුවෙන් තියෙන තිර පරික්ෂණයට එන්න කියලා කතා කරා. එතැනදී ඒ අවස්ථාව හිමි වුණේ මට. ඒ අනුව තමා මම ශාන්ත සොයිසා අධ්‍යක්ෂණය කළ “මේඝා“ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නේ. ඒ තමයි මගේ රංගන ජිවිතේ ආරම්භය. ඊට පස්සේ සිඳු නාට්‍යයේ නදී, අහස්මාළිගා හි අහිංසා සහ සකලගුරු හි නෙළුම් කියන චරිත ප්‍රේක්ෂකයින් අතරට ගිය නිර්මාණ වුණා.


මේ දවස් වල මම රංගනයෙන් දායක වුණු කෝලම්කුට්ටම, මැස්සා සහ ගගන පියවර කියන නිර්මාණ විකාශය වෙනවා. මේ නිර්මාණ තුනේම මගේ භූමිකාවන් එකිනෙකට හාත්පසින්ම වෙනස් වූ චරිත. ස්වාධින රූපවාහිනියේ විකාශය වන චන්දික විජයසේන අධ්‍යක්ෂණය කළ ගගන පියවර ගැන කිව්වොත්, එහි මගේ චරිතය චාපා. චාපා කියන්නේ දේශපාලනය ගැන කතා කරන, අසාධාරණකම් වලට විරුද්ධව කතා කරන මාධ්‍යවේදිනියක්. ස්වර්ණවාහිනියේ විකාශය වන ඉන්දික ධර්මතිලක අධ්‍යක්ෂණය කළ මැස්සා හි මම රඟපාන්නේ සනීමා කියන මුස්ලිම් චරිතය. දුප්පත් පවුලක මුස්ලිම් ගැහැනු ළමයෙක්. තාත්තා හදිසියේම නැති වෙනවා. තමන්ගේ නංගිලා දෙන්නාවත් බලාගෙන තාත්තාට මොකද වුණේ කියල සොයාගෙන යන චරිතයක්. එතකොට මගේ අලුත්ම චරිතය තමයි කෝලම්කුට්ටම නාට්‍යයේ සුද්දි කියන චරිතය. තමන්ගේ පවුල වෙනුවෙන් ගැහැනු ළමයෙක් නොකරයි කියලා හිතෙන වැඩ කරන, තාත්තාගේ රූකඩ කලාවේ වැඩ වලටත් උදව් කරගෙන ඉන්න, පවුලට ආදරේ කරන අහිංසක ගැමි චරිතයක්. මේ එකිනෙකට වෙනස් වූ චරිත රඟන මට ලැබෙන ප්‍රතිචාරත් ඉතාමත් ඉහළයි.


කෝලම්කුට්ටම කියන්නේ මගේ සිහිනයක් සැබෑ වීමක් කිව්වොත් හරි. සද්ධා මංගල සූරියබණ්ඩාර සහ ජයප්‍රකාශ් සිවගුරුනාදන් යන අයගේ නිර්මාණයකට දායක වෙන්න මම සිහින දැකපු කෙනෙක්. ඒ වගේම ප්‍රභාත් දර්ශන අයියා එක්ක වැඩ කරන්න මම කැමැත්තෙන් හිටියා. විකාශය වෙන්න අරන් ඉතාම කෙටි කලක් වුණත් මේ වෙද්දී අපි රූපගත කරන අම්බලන්ගොඩ ප්‍රදේශයේ ශුටින් බලන්නත් ප්‍රේක්ෂකයින් එන තරමට ප්‍රතිචාර ලැබෙන නිර්මාණයක්. ඒ නිසා දැනෙනවා බොහෝ ආදරෙන් ප්‍රේක්ෂකයින් ඒ චරිත වැලඳගෙන තියෙනවා කියලා.


චරිතයකට ආරාධනා කරද්දී මම මුලින්ම බලන්නේ මට ඒ වෙනුවෙන් කැප කරන්න කාලය තියෙනවද කියනඑක. ඊට පස්සේ තමයි මම පිටපත කියවලා ඒ චරිතයට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් නම් භාරගන්නේ. මම හිතේ කැමත්තක් තිබෙනවා ආබාධයක් සහිත කාන්තා චරිතයක් කරන්න.


මේ කාලයේ නම් නිවේදන කටයුතු වලින් පොඩ්ඩක් ඈත් වෙලා ඉන්නේ. ඒත් ආයෙමත් නිවේදනයෙන් ප්‍රේක්ෂකයන් අතරට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වුණත් මම වැඩියෙන් කැමති රංගනයට.


මගේ පළවෙනි සිනමා නිර්මාණය චාමර ජනනාත් පීරිස් අධ්‍යක්ෂණය කළ උතුරු සුළඟ චිත්‍රපටය. එය මම හරි ආසාවෙන් රඟපෑ නිර්මාණයක්. රටේ කලින් කලට ඇතිවුණු ප්‍රශ්න එක්ක තිරගත කිරීම කල් ගියා. හරි ආසාවෙන් බලන් ඉන්නවා ඒ චිත්‍රපටය තිරගත වෙනකම්. විශ්වාසයක් තියෙනවා බොහොම මෑතකදී උතුරු සුළඟ චිත්‍රපටය බලන්න ලැබෙයි කියලා. ඊට පස්සේ ගාමිණී හේවාවිතාරණගේ "සඳදඩයම" කියන චිත්‍රපටයට දායක වුණා.


*ගෙදර ලොක්කි කාවින්ද්‍යානේ, කොහොමද ගෙදර ජිවිතේ ඒ ගැනත් කියමු


ඇත්තටම ගෙදර වැඩ ගැන මම හරියටම දන්නේ නැහැ. හැබැයි මම ගෙදර අය එක්ක ඉතාම සමීපව ඉන්න කෙනෙක්. මගේ ලොකු නංගි දැන් විවාහ වෙලා ඉන්නේ. අනිත් නංගිලා දෙන්නා තවම පාසල් යනවා. ඒ අය මගේ නිර්මාණ බලලා ඒ අයට පුළුවන් විදියට වචනයනේ හරි ලොකු සහයෝගයක් දෙනවා. ලොකු නංගිට දැන් පුංචි දුවෙක් ඉන්නවා. ඒ කියන්නේ මම දැන් ලොකු අම්මා කෙනෙක්. ලෙහෙසි නැහැ ඉතින් නංගිලා තුන්දෙනෙක්ගෙ ලොකු අක්කා වගේම පුංචි දූගේ ලොකු අම්මා.


මට නම් තාම විවාහ වෙන්න හිතිලා නැහැ. සමහර අය අහනවා දැන් පිළිවෙළක් වෙන්න හිතෙන්නේ නැද්ද කියලා. හැබැයි ගැහැනු ළමයෙක්ගේ පිළිවෙළ කියන්නේ කසාදයක් බැදලා පැත්තකට වෙන එකම නෙවෙයිනේ. මගේ ජිවිතේ මට තව කාලය තියෙනවා කසාදෙ කියන එකට. ඒ නිසා මේ කාලේ මගේ කලා කටයුතු කරගෙන ඉන්නවා. ක්ෂේත්‍රයේ අයගෙන් යෝජනා තියෙනවා. එහෙම නැහැ කිව්වොත් බොරුවක් වෙනවා. තනිකඩ ගැහැනු ළමයෙක්ට අනිවාර්යෙන්ම යෝජනා තියෙන්න ඕනෙනේ. නමුත් ඒ කිසිවක් ගැන මම හිතන්නේ නැහැ. මම ආදරේ කරලා තියෙනවා. ආදරේ කරනවා කියන්නේ විවාහ වෙනවා කියන එකම නෙවෙයිනේ. හැබැයි එහෙමවත් ආදරේකට බැඳිලා ඉන්න මගේ ඔළුව හදාගන්න අමාරුයි. ඒ නිසා ආදරේකටවත් මම යන්නේ නැහැ.


අම්මා වුණත් මට බලපෑම් කරන්නේ නැහැ. අම්මා කියන්නේ ඔයාගේ කාලය ඉස්සරහට, එතකම් වැඩ කරගෙන ඉන්න කියලා.


ප්‍රේක්ෂක ආදරේට මට කියන්න තියෙන්නේ කාවින්ද්‍යා කියන්නේ ආදරේට ආදරේ කරන කෙනෙක්. ඒ නිසා මට ලබා දෙන ආදරේට මමත් හැමදාම ආදරෙයි. මගේ බලාපොරොත්තුව මේ කලාව තුළ හොඳ සාර්ථක ගමනක් යන එක සහ කවදා හරි හොඳම නිළිය කියන සම්මානය ලබා ගැනීම. හැබැයි මේ රට යන විදිය එක්ක සැකයකුත් තියෙනවා අපිට, අපිට ඕනේ විදියේ දේවල් කරගෙන ජිවත් වෙන්න පුළුවන් ද කියලා. හෙට දවස කොහොම වෙයිද කියන්න බැහැ. රටේ තියෙන අස්ථාවර භාවයත් එක්ක අපේ දේත් අස්ථාවරයි. මම කොහොමත් ජිවිතේ ගැන ගොඩක් සැලසුම් කරන කෙනෙක් නෙවෙයි. ලැබෙන නිර්මාණ කරගෙන සරලව ජිවත් වෙනවා.






Previous Post Next Post