එයා බහ තේරුවේ “අයියා” කියලා - අමිල කරුණානායක




අමිල.. අපිට චූටි දූ ගැන ටිකක් කියන්න?


අපේ චූටි දූගේ වයස දැන් අවුරුදු දෙකහමාරයි. එයාගේ නම ආධ්‍යා ආයුකි කරුණානායක.


චූටි දූට අයියා කෙනෙකුත් ඉන්නවා නේද?


ඔව්.. අපේ පුතා දැන් පාසල් යනවා. එයා ඉගෙන ගන්නෙ කොළඹ නාලන්දා විදුහලේ. පුතාගේ නම අබීත් ආයුක කරුණානායක.


පවුලේ තනි දරුවා වෙලා හිටපු අබීත්ට නංගි කෙනෙක් ලැබුණට පස්සෙ එයාගේ ප්‍රතිචාර කොහොමද?


ඇත්තම කිව්වොත් අපි ''ඔයාට නංගි බබෙක් ගේනවා'' කියලා කියපු දවසේ ඉඳන් පුතා එයාගේ නංගිව දකිනකම් හරිම ආසාවෙන් හිටියෙ. හැබැයි නංගි ආවට පස්සෙ මුලදි චූටි ඉරිසියාවකුත් දැනුණා. දැන් එයා වැඩියෙන්ම ආදරේ කරන්නෙ එයාගේ නංගිටයි. හැබැයි ඒ ආදරේ එයා වැඩිය පෙන්නන්නෙ නැහැ. නංගිව ගණන් ගන්නෙ නැති විදිහට තමයි ඉන්නෙ. හැබැයි ගෙදර කට්ටිය අඩු වෙලාවට ලොකු අයියෙක් වගේ එයා හරිම ආදරයෙන්, හරිම පරිස්සමෙන් එයාගේ නංගිව බලාගන්නවා. එයා ''මම නංගිව බලාගන්න අම්මිට උදව් කරනවා'' කියලයි කියන්නෙ. මට තාම මතකයි පුතා මුලින්ම එයාගේ නංගිව දැකපු වෙලාවෙ එයාගේ ඇස්වලට කඳුළු පිරුණා.


පුංචි ආධ්‍යා දැන් කොහොමද? දඟයිද?


ඔව්.. චූටි දූත් දඟයි. එයා හරිම හුරතල් දරුවෙක්. එයාගේ අයියා තරම් දඟ නම් නැහැ.


චූටි දූ වැඩිපුරම ඉන්නෙ ගෙදරදි එයාගේ අම්මා එක්කයි. අමිල ගෙදර ඉන්න වෙලාවට එයාගේ ප්‍රතිචාර කොහොමද?


අම්මෝ.. මම ගෙදර ඉන්නවා නම් ඒ දෙන්නා හරිම ආසයි. මම කොහෙ හරි ගිහින් ගෙදර එද්දි මගේ කටහඬ ඇහුණු ගමන් මොන වැඩේ කර කර හිටියත් චූටි දූ මගේ ඉස්සරහට දුවගෙන එනවා. පඩිපෙළ තනියම බැහැගෙන එද්දි අපිට හරි බයයි. ඒත්.. ඒක එයාට ගාණක්වත් නැහැ. කිසි බයක් නැතිව තනියම එනවා. එයාගේ හරි කොමල කතා, කොමල වැඩ තියෙන්නෙ. හැමවෙලේම තාත්ති තාත්ති කිය කියා ඇඟේ දැවටෙනවා. මම කොහේ හරි ගිහින් ගෙදර එද්දි එයා ළඟට ඇවිත් මට අල්ලන්න කියලා දුවනවා. ඉතින් එයාගේ පස්සෙන් දුවලා ගිහින් එයාව අල්ලගෙන එයාව මගේ ඇඟට තුරුල් කර ගන්නවට දූ හරිම ආසයි.


අමිල ගෙදර ඉඳිද්දි දූ ඔයා එක්ක වැඩිපුරම කරන්නෙ මොනවද?


සෙල්ලම තමයි. එයා හරි ආසයි මම ගෙදර ඉන්නවට. හැබැයි ''අපි මේ සෙල්ලම කරමු'' කියලා මම කැමති සෙල්ලමක් කිව්වට එයාට ඒක හරියන්නෙ නැහැ. එයා මාව හවුල් කර ගන්නෙ එයා කැමති සෙල්ලමට. සමහර වෙලාවට Puzzles හදනවා. සමහර වෙලාවට බයිසිකල් පදිනවා. එහෙමත් නැත්නම් අපි දෙන්නා සින්දුවක් දාගෙන නටනවා. මාත් එක්ක නටන්න දූ හරි ආසයි. දූට චිත්‍රපටවල නළු නිළියන් නටන විදිහ හොඳට මතකයි. ඉතින් ඒ විදිහට නටන්න, සින්දු කියන්න එයා මාවත් හවුල් කර ගන්නවා.


ආධ්‍යා වැඩිපුරම කන්න කැමති මොන වගේ කෑමද?


ආධ්‍යාට එහෙම විශේෂ කෑමක් කියලා නැහැ. හැබැයි එයා නූඩ්ල්ස් ආසාවෙන් කනවා. අයියා නම් කෑමවලදි ටිකක් හොයනවා. ආධ්‍යාට අපි කන ඕනෑම කෑමක් පොඩ්ඩක් හරි කාලා රස බලන්න ඕනෙ. දැවිල්ල කෑම වුණත් පොඩ්ඩක් හරි කාලා ඒකෙ රස බලනවා.


අමිලව රෑපවාහිනියෙන් දකිද්දි චූටි දූගේ ප්‍රතිචාර කොහොමද?


එයා මාව රූපවාහිනියෙන් දකිද්දි හඳුනනවා. මම රෑපවාහිනියේ ඉන්න එකට එයා හරි ආසයි. එහෙම දකිද්දි 'තාත්ති' කියලා එයා ගොඩක් සතුටු වෙනවා. සමහර වෙලාවට වෙන නළුවන්ටත් 'තාත්ති' කියලා රුවටෙන වෙලාවල් තියෙනවා. ඔය අතරේ හින්දි නළුවන්, බටහිර නළුවන් රූපවාහිනියෙන් දැකලා 'තාත්ති' කියලා කියද්දි මට හිනාත් යනවා. එයා මම රඟපාපු 'කබඩි' චිත්‍රපටයේ සින්දුවලට හරි ආසයි. මම ඉන්න චිත්‍රපට බලද්දි 'තාත්ති' කිය කියා උඩ පනිමින් තමයි බලන්නෙ.


චූටි දූ නිසා හිත කලබල වුණු සිදුවීමක් මතක් කළොත්?


කොවිඩ් මුල් කාලෙදි පොඩ්ඩෝ දෙන්නා නිසා මායි බිරිඳයි හිටියේ ලොකු කලබලයකින්. හරිම බයෙන්. ඒ කාලෙදි ලැබුණු නිර්මාණ කිහිපයක්ම මම බාරගත්තෙත් නැහැ. දූ ඉපදෙන්න ඉඳිද්දි ලැබුණු එක වෛද්‍ය පරීක්ෂණ වාර්තාවක් නිසා මායි මගේ බිරිඳ මිහිරුණියි ගොඩක් බයෙන් හිටියේ. අපි දෙන්නම පුදුම විදිහට හිත කරදරයෙන් තමයි හිටියෙ. හැබැයි චූටි දූ නිරෝගී සුන්දර දරුවෙක් විදිහට අපි ළඟට ආවා.


චූටි දූ එයාගේ අයියා පාසල් ගියාට පස්සෙ ඒ කාලය ගෙදර ඉන්නෙ හරිම පාළුවෙන්. එහෙම නේද?


අනේ ඔව්.. චූටි දූ එයාගේ අයියට හරිම ආදරෙයි. පුතාත් එයාගේ නංගිට හරිම ආදරෙයි. චූටි දූ මුලින්ම කියපු වචනයත් 'අයියා' කියලයි. ඉතින් උදේට නැගිටපු වෙලාවේ ඉඳන් චූටි දූ අයියව හොයනවා. හැබැයි දැන් නම් එයා අයියා ඉස්කෝලෙ යනවා කියලා දන්නවා. අයියා ගෙදර එන වෙලාව දැන් එයා දන්නවා. ඒ නිසා ඒ වෙලාව ළං වෙද්දි එයා පාර දිහා බලාගෙන ඉන්නවා.


අමිල.. අද රටේ පවතින තත්ත්වයත් එක්ක දරු දෙන්නගේ අනාගතය ගැන සැලසුම් කරලා තියෙන්නෙ මොනවද?


රටේ පවතින තත්ත්වයත් එක්ක දරුවන්ගේ අනාගතය ගැන අපි ටිකක් බයවෙලයි ඉන්නෙ. ඒ නිසාම දරුවන්ගේ අනාගතය, එයාලගේ අධ්‍යාපන කටයුතු නිසාම අපි විදෙස්ගත වෙන්නත් තීරණය කරලයි තිබුණේ. මගේ එකම සහෝදරයා ඕස්ට්‍රේලියාවේ ඉන්නෙ. මේ රටේ සියලු දරුවන් වෙනුවෙන් මේ පවතින තත්ත්වය ඉක්මනින්ම යහපත් වේ යැයි මම විශ්වාස කරනවා. එහෙම නොවුණොත් මේ සියලු දරුවන්ගේ අනාගතය ගැන දවසක අපිට පසුතැවෙන්න වේවි.


බිරිඳ දරුවන් දෙන්නා එක්ක අද ගත කරන ජීවිතය ගැන අමිලට මොකද හිතෙන්නෙ?


මහන්සිවෙලා වැඩ කරලා ගෙදර ආවාම මිහිරුණි, දරුවන් දෙන්නා එක්ක ඉඳිද්දි හිතට දැනෙන්නෙ සැනසීමක්. මේ තුන්දෙනා එක්ක ගෙවන ජීවිතයට මම හරි ආදරෙයි. මිහිරුණි, දරුවන් දෙන්නා එක්ක ජීවත් වෙද්දි හිතට සතුටක්, සැනසීමක්, ජීවිතයට ලොකු වටිනාකමක් දැනෙනවා. ඒක පුදුමාකාර හැඟීමක්.


 දිශානි







Previous Post Next Post