සමහර අය ඉන්නවා පවුලේ අය ගැන හංගලා කතා කරන්නේ - මිහිර සිරිතිලක




ජීවිතේ රස හඳුනාගෙන ඒ රස සිනහවකින් ප්‍රේක්ෂකයින් අතරට ගෙන යන ලංකාවේ ඉන්න දක්ෂ ප්‍රහසන රංගන ශිල්පියෙක් හැටියට මිහිර සිරිතිලක හඳුන්වා දෙන්න පුළුවන්. තරුණ බාල මහලු මේ කවුරුත් හඳුනන ආදරය කරන මිහිර ගැන අටුවා ටිකා කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ . ඒ තරම්ම ඔහු බොහෝ දෙනෙකුට ළෙන්ගතුයි. ඒ ළෙන්ගතු මිනිසාට කලාකරුවෙක් හැටියට සාර්ථක වෙන්න නිදහස දීලා කුටුම්භය රැක ගන්න ඇය තමයි ගීතිකා. මිහිරගේ ආදරණිය බිරිඳ. 


 

මිහිර මේ දවස්වල දැවෙන ප්‍රශ්නයක් නේ පෙට්‍රල් ප්‍රශ්නේ, පෙට්ට්‍රල් අඩුපාඩුව නිසා වැඩිපුර ගෙදරට වෙලා ඇති නේ..?


තෙල් ප්‍රශ්න තිබ්බත් ඉස්සර තරම් කාර්යබහුල නොවුණත් මම හිතනවා කොයි විදිහකට හරි කලා නිර්මාණ බිහි වෙන්න ඕන කියලා. මොකද මේ කර්මාන්තය ඇතුළෙත් නළු නිළියෝ විතරක් නෙමෙයි ගොඩක් අය ජීවත් වෙනවා. රටේ ප්‍රශ්න කියලා නිර්මාණ බිහි නොවුණොත් එයාලාගේ ජීවිකාවට ප්‍රශ්නයක් . පොඩි විවේකයක් තියෙනවා.


 ඇත්තද ගීතිකා..?


තෙල් ප්‍රශ්නේ නිසා ඉස්සර තරම්ම අවිවෙකී නැහැ. කොරොනා මුල් කාලේ නම් මිහිර මාස 6ක් ගෙදර හිටියා. ඒ කාලේ මට හරි සතුටියි. නැත්තම් පාන්දර හතරට විතර ගෙදරින් යන මිහිර එන්නේ මහා රෑනේ. මේ දවස්වලත් වෙනදට වඩා ගෙදර ඉන්න දවස් තියෙනවා.


 

මිහිර සූටිං යද්දි ඔයා උයන කෑම එක අනිවාර්යයෙන් ම ගෙනියනවා කියන්නේ ඇත්තද ගීතිකා..?


ඔව්. දෙන කෑම කන්න බැහැ කියලා මම හැමදාම කෑම හදලා දෙනවා. එයාට විතරක් නෙමෙයි. ඉන්න හැමෝටම අඩු තරමින් ව්‍යංජන හරි වැඩිපුර හදලා දෙනවා ගෙනියන්න. සමහර දවස් තියෙනවා. මම 50ක් 60කට විතර කෑම හදලා මිහිරගේ අතේ යවන. මට එහෙම ලොකු පිරිසකට උයන්නත් පුළුවන්.


 

ගීතිකා දෙන බත් පාර්සලය ගෙනියලා කනවද, එහෙම නැත්නම් කාට හරි දිලා කඩෙන් කනවද, ඒ ප්‍රශ්න ය බොහෝ බිරින්දෑවරුන් අත් දැකලා තියෙනවා කියනවනේ..?


අප්පෝ නැහැ. එදා ඉදලම මම පුරුද්දක් හැටියට ගීතිකා හදලා දෙන කෑම එක තමයි අරගෙන යන්නේ. ළඟ තැනකට ගියොත් ගෙදරට ඇවිත් කනවා. ගීතිකා මහන්සි වෙලා හදලා දෙන කෑම එක තවත් අය එක්ක බෙදාගෙනත් කනවා. එහෙම කද්දි තවත් සතුටුයි.


 මිහිර එක්ක ඔහුගේ රූගත කිරීම් කරන ස්ථානවලට ඔබත් යනවද..?


මිහිර නිර්මාණ අධ්‍යක්ෂණය කරනවා. ඒවා නිෂ්පාදනය කරන්නේ මම. ඒ නිර්මාණ කරද්දී නම් එයත් එක්ක යනවා. එයාගේ වාහනේ යන දවස්වලට මාවත් එක්කගෙන යන අවස්ථා තියෙනවා. වේදිකා නාට්‍ය කරද්දි හෝ වැඩසටහනකට යද්දී මිහිර මාවත් එක්කගෙන යනවා.


 

මිහිර අතිශය කාර්යබහුල වෙන කාලේට ගීතිකාට හිතිලා නැද්ද අනේ මේ මනුස්සයාව බැදගත්තේ අපරාදේ කියලා..?


අනේ මට එහෙම හිතිලා නැහැ . එයාට කාර්යබහුල කාල තිබ්බොත් ඒ වැඩ ඉවර වුණු ගමන් එයා මාව කොහේ හරි එක්කගෙන යනවා. විදෙස් සංචාර යද්දි පවා එයාට පුළුවන් හැම අවස්ථාවකම මාව එක්කගෙන ගිහින් තියෙනවා. එහෙම ගමන් ගියත් නොගියත් කවදාවත්ම මිහිර බැදගත්තේ අපරාදේ කියලා හිතෙන්නේ නෑ.


 මිහිර ඔය ගමන් බිමන් එක්කගෙන යන්නේ කැමැත්තෙන්ද..?


විවාහ වුණු කාලේ ඉදලම මම හිතපු දෙයක් තමයි මම කාර්යබහුලයි කියලා ඒක බිරිඳට දැනෙන්න දෙන්න හොඳ නැහැ කියන එක. ඒවගේම එයාව ගෙදරට හිර කරලා ජිවත් වෙන්න ඉඩ තියන්න නරකයි. හේතුව මම හම්බ කරලා දෙන මුදල් එයාගේ අතට ගිහිං දෙනවා ඒකෙන් එයා උයන පිහන දේවල් කරන එකෙන් විතරක් පවුල් ජිවිතයක් ගෙනියන්න බැහැනේ.


අපි එහෙම නොකරන නිසාම පවුල් ප්‍රශ්න අඩුයි. එයා දන්නවා මම මොනවද කරන්නේ කියලා. දැන් කොහොමත් ගීතිකාට මගේ කලා ජීවිතය පිළිබඳවත් අවබෝධයක් තියෙනවා. ඒ වගෙම එයා හරිම සැලසුම් සහගතව වැඩ කරන කෙනෙක්. එයා නිෂ්පාදකවරියක් හැටියටත් ඒ කර්තව්‍ය හරියාකාරව කරනවා. එයා මගේ ළගින් ඉන්නවා කියන්නෙ මට නම් උදව්වක් තමයි.


 දෙන්නා විවාහ වෙලා අවුරුදු 13ක් වෙනවා. ඒ වුණාට ආදරේ කරලා මාස කිහිපයකින් විවාහ වුණා නේද, ඒ සුන්දර කාලේ මතක් කරමු ගීතිකා..?


මම පිළියන්දල පැත්තේ තැනක ටයිප් සෙටින් ජොබ් එකක් කළා. එතන එහා පැත්තේ තමයි මිහිර බෝඩ් වෙලා හිටිය ගෙදර තිබ්බේ. ඒ යන එනකොට දැකලා කතා බහ කරලා තමයි අපි දෙන්නා ආදරේ කරන්න පටන් ගන්නේ. ඊට පස්සේ අපි දෙමාපියන් ගේ ආශිර්වාද එක්ක විවාහ වුණා. ඒ වෙද්දි මිහිර නළුවෙක් හැටියට ජනප්‍රිය නැහැ. සමහර නිර්මාණ වල එයා ඉදලා තියෙන්නෙ ශොට්ස් එක දෙකකට වගේ පෙනී ඉන්න ඒවාට. වේදිකා නාට්‍ය කළා. එයා උසස් පෙළ කරලා තිබ්බේ විද්‍යා අංශයෙන්. නමුත් නළුවෙක් වුණා.


 මිහිර විද්‍යා විෂයන් කරලා දොස්තර මහත්මයෙක් නොවී නළුවෙක් වුණු එක ගැන දැන් පසුතැවීමක් නැද්ද ..?


දොස්තර මහත්තයෙක් වුණොත් ගත සුවපත් කරන්න අවස්ථාව ලැබෙනවා. කලාකරුවෙක් හැටියට හිත සුවපත් කරන්න අවස්ථාව ලැබෙනවා. කලාව තෝරා ගත්තා කියලා කිසිම දුකක් පසුතැවීමක් නැහැ. රසවතුන් තමයි ලෝකය සුවපත් කරන්නේ.


 

විවාහ වුණු අලුත "ඔයාගේ දරුවෝ ගැන බලන්නේ නැද්ද " කියලා කාන්තාවකගෙන් මිහිරට ආ කෙටි පණිවිඩය ගැන ගීතිකා හොයලා තිබ්බා කියලා ආරංචියි..?


මිහිර ළඟ හොර වැඩ නැහැ කියලා මම දන්නවා . මොකද එයා කොයිම මොහොතකවත් ෆෝන් එක ලොක් දාලා රැක ගන්න උත්සහා කරන්නේ නැති නිසා. විවාහ වුණු මුල් දවසක එයාගේ ෆෝන් එකට මැසෙජ් එකක් ආවා. රෑ දොළහා පහු වෙලා තිබ්බේ. එයා නිදි නිසා මම ෆෝන් එක අතට අරගෙන ඒක බැලුවා. ඒකේ තිබ්බේ ඔයාගේ දරුවෝ ගැන බලන්නේ නැද්ද කියලා. මම පුදුම විදිහට අවුල් වුණා. විවාහ වුණු ගමන්මනේ. ඒත් එක්කම මම මිහිරව ඇහැරවලා මැසෙජ් එක කියෙව්වා. මොකක්ද මේ කවුද කියලා ඇහුවා. අපි මහා රෑ නිදිමතේ ඔය ගැන කතා කරන්න ඕන නැහැ නේ. හෙට උදේ නිදහසේ කතා කරමු කියලා එයා නිදාගත්තා. මම රෑම ඒ මැසෙජ් එක මගේ ෆෝන් එකෙන් ස්ක්‍රීන් ශොට් එකක් ගත්තා. පහුවදා බලද්දි ඒ මැසෙජ් එක එයා ඩිලිට් කරලා. පාඩුවේ ඉන්නවා. කිසිම කතාවක් නැහැ. මමත් පාඩුවේ හිටියා. නමුත් හිතේ බයක් සැකයක් තිබ්බා මේ මොකක්ද කියලා. මම ටික දවසක් ගියාට පස්සේ ඒ නම්බර් එකට කෝල් කරලා ඇහුවා කවුද මෙහෙම මැසෙජ් එකක් මගේ මහත්තයාට ඔයා එවලා තියෙන්නවා කියලා. ඒ කාන්තාව කිව්වා යවන්න ඕන කෙනාට නෙමෙයි වැරදිලා වෙන කෙනෙක්ට ගිහිං කියලා. ඊට පස්සෙ තමයි මගේ හිතට සතුටක් ආවේ.


 

ඒ කතාව පස්සේ ඔබ ලුහුබැන්දා කියලා මිහිරට කිව්වේ නැද්ද ..?


මම කිව්වා. එතකොට එයා ඇහුවා ආ දැන් ඇත්ත කතාව හොයා ගත්තද කියලා හිනාවුණා. දැන් ඒ වගේ සිදුවිමක් වුණා නම් මම ඇත්තටම ගණන් ගන්නේ නැහැ . අත්දැකීම් නැති නිසා කලබල වුණා.


 ඒ සුන්දර සිදුවීම ගැන අද වෙනකොට මිහිර ට මොකද හිතන්නේ..?


හරි සුන්දර මතක ඒවා. මම දවසම ලස්සන නළු නිළියෝ එක්ක ජීවත් වෙන්නේ. ලොකු ලොකු හෝටල් වලට යනවා. විදෙස් සංචාර යනවා. එහෙම අවස්ථා වලදි කොයි බිරිඳටද සැකයක් ඇති නොවෙන්නේ. බයක් සැකයක් ඇති නොවෙන්නේ. නමුත් දෙන්නගේ අවබෝධය තියෙන නිසා අපි දෙන්නගේ පවුල් ජීවිතේ ලස්සනට ගෙවෙනවා.


 මිහිරගේ හිතවත් කලකරුවන් ඔය වගේ විහිළු ඔබට කරලා ඇති..?


සෙට් එකට යන වෙලවට සමහර කලාකරුවන් මට විහිළුවට මිහිර ගැන එක එක කතා කියනවා. දවසක් කිව්වා මිහිර ඊයේ සෙට් එකට ආවේ වෙන කෙල්ලෙක් එක්කනේ කියලා. ඒ වෙලාවට මමත් විහිළුවක් කරලා හිනාවෙනවා. මොකද ඒක විහිළුවක් මිසක් ඇත්තක් නොවන නිසා.


මිහිර පුංචි තිරයට වගේම වේදිකාවට විහිළුකාරයෙක්නේ. ඒ වගේ විහිළු ඔබට කරලා නැද්ද , ඒ විහිළුවලින් ඔබෙ හිත රිදිලා හෝ අපහසුතාවයට පත් වෙලා නැද්ද ..?


ලොකුවට මාත් එක්ක විහිළු කරන්නේ නැහැ . මොනා හරි දෙයක් ගැන ඇහුවොත් වටේ ගිහිං උත්තර දෙන අවස්ථා නම් තියෙනවා.


 විවාහ වෙලා ටික කාලයක් ගියාට පස්සේ නේ මිහිර ජනප්‍රිය වෙන්නේ, ඔහු ජනප්‍රිය වුණාට පස්සෙ පරණ පෙම්වතියෝ එහෙම මිහිරට කතා කරලා ඇති නේද ..?


මම දැනුවත්ව එහෙම නම් නැහැ . කොහොමත් අපි දෙන්නා ආදරේ කරන්න පටන් ගත්තේ එයාගේ අතීතයේ දෙවල් මම හොයන්නේ නැහැ. මගේ දේවල් එයාට වැඩක් නැහැ කියලා . ඒ නිසා ඒ වගේ ප්‍රශ්න නම් ඇවිත් නැහැ. ඉදිරියේදි එහෙම කෝල් එකක් ආවොත් මම කොහොම හැසිරෙයිද කියලා හිතා ගන්න නම් බැහැ .


 

ඇත්තටම මිහිර, ඔබට පරණ පෙම්වතියක්ගෙන් එහෙම ඇමතුම් ඇවිත් නැද්ද..?


නැහැ . එහෙම වෙන්න ඉඩකඩක් නැති වුණේ මම විවාහ වුණු දවසේ ඉදලා එයා තමයි මගේ ආදරණීය බිරිඳ කියන එක වැඩසටහන්වල එහෙම කතා කරලා තියෙන නිසා වෙන්න ඇති. ඒ වගේම මගේ ජංගම දුරකථනයට ඇමතුමක් ආවොත් මම නැත්නම් එයා ඒ ඇමතුමට සම්බන්ධ වෙනවා. එතකොට කතා කරන කෙනා දන්නවා ඒ මගේ වයිෆ් කියලා. සමහර අය ඉන්නවා පවුලේ අය ගැන හංගලා කතා කරන්නේ. මම එහෙම නැහැ. බාධක ඉවත් කරලා තිබ්බොත් ප්‍රශ්න එන්නේ නැහැ .


 නුදුරේදි ඔබ සම්බන්ධ වෙන අලුත් නිර්මාණ ගැනත් මතක් කරමු මිහිර...?


යූටියුබ් නාලිකාවක වෙච්ච දෙයක් කියලා නාට්‍යක් විකාශය වුණා. ඊට අමතරව මම අධ්‍යක්ෂණය කරන ‘දෙකඩ කඩ‘ කියලා නාට්‍යයක් ස්වර්ණවාහිනි නාලිකාවේ ළඟදීම විකාශය වෙනවා. එහි පිටපතත් මගේ. මම චරිතයකුත් රඟපානවා. හාට් හාට් කියලා තව නාට්‍යයක් විකාශය වෙන්න නියමිතයි.


 හිරු නාලිකාවේ විකාශය වෙන සිහින ගෙනෙන කුමාරියේ නාට්‍යයේ ඕං ඕං ඔබේ මුවේ තිබෙන සුන්දර වචන එක්ක රගන චරිතයට කුඩා ළමුන්ගෙන් වැඩිපුර ප්‍රතිචාර ලැබෙනවද..?


ඒ චරිතය හරිම සුන්දර ආදරණීය චරිතයක්. කුඩා ළමුන් විතරක් නෙමෙයි ඇත්තටම හැම වයස් පරතරයක කෙනෙක්ගෙන්ම ප්‍රතිචාර ඉහළින් ලැබෙනවා. මමත් හරි සතුටින් රඟපාන්නේ.


 නළු නිළියන්ගේ තිඹිර ගෙය තමයි වේදිකාව කියන්නේ, ඔබ පෝෂණය වුණෙත් වේදිකාවෙන්, මේ දවස්වල වේදීකාවට තිබෙන ඉල්ලුම කොහොමද..?


අපි පසුගිය දවසක එල්පියස්ටන් රගහලේ කෝ කොක්කු වේදිකා නට්‍ය දර්ශන වාරයක් වේදිකාගත කළා. ඒක වේදිකාගත කරනවා කියලා ෆේස්බුක් එකේ විතරයි අපි දාලා රසිකයින් දැනුවත් කළේ.කියන්න සතුටුයි බොහෝ පිරිසක් ආවා එය රස විදින්න. ඉතිං මම කියනවා මේ වගේ පීඩනකාරි වටපිටාවක පැය විසිහතරම පීඩනයෙන් ජීවත් නොවි අපි කොහොම හරි කලා නිර්මාණයක් හෝ රසවිදළා පීඩනයෙන් මිදෙන්න ඕන. ධනවාදිව හිතන්න ඕන කාලයක් මේ . කොහොම හරි අපි සතුටින් ජීවත් වෙමු.


 ගැහැණු චරිතයකින් වැඩසටහනක පෙනී සිටිම නිසා මිහිරට මේ දවස්වල නරක ප්‍රතිචාර ලැබෙනවා කියලත් ආරංචියි ..?


ඒ ගැන නම් මට තියෙන්නේ ලොකු දුකක්. හැමෝම නෙමෙයි. ඇතැම් අය මගෙන් අහනවා ඔයා පිරිමි කෙනෙක් වෙලා ඇයි ගැහැනු චරිතයකින් පෙනී ඉන්නේ කියලා. අපි අම්මෙක්ගෙන් උපදිනවා නම් ඇයි මේ ඒ උත්තුංග ගැහැනිය ගැන ඒ විදිහට හිතන්නේ කියලා. හිරු නාළිකාවේ ත්‍රි සිස්ටර් කියලා යන වැඩසටහනට තමයි මට මෙහෙම නරක ප්‍රතිචාර ආවේ. රුක්මණි දේවිය මහත්මිය ඉන්න කාලේ අපේ රටේ සංස්කෘතිය ඉහළින්ම තිබ්බා. ඒ කාලේ ගැහැනු චරිත වැඩි හරියක් රගපාලා තියෙන්නේ පිරිමි. දැන් විතරක් ඇයි සංස්කෘතික ප්‍රශ්න එන්නේ. හොරෙක්, මංකොල්ලකාරයෙක්, ස්ත්‍රි දූෂකයෙක් රඟපෑවොත් ප්‍රතිචාර හොඳයි, මෙහෙම චරිතයක් කළොත් හොද නැහැ .


 

මිහිරට ලැබෙන ප්‍රතිචාර ගැන ගීතිකාගෙන් උත්තරයක් ඕන, අවසාන වශයෙන් ඊට උත්තර දීලම මේ කතාබහ අවසන් කරමු..?


එයා එක්ක ගමනක් බිමනක් යන්න බැහැ . කට්ටිය වට වෙලා කතා බහ කරනවා ෆොටෝ ගන්නවා. එයත් එක්ක ගියොත් ගිය වැඩේ කරගන්න ප්‍රමාද වෙන එක තමයි වෙන්නේ. පන්සලකට ගියත් අදුරගෙන ඇවිත් බොහෝ අය කතා කරනවා. එක පැත්තකින් ඒක සතුටක්. නිදහසට බාධා වීමකුත් වෙනවා. නමුත් ඔහුට ආදරේ නිසානේ ඇවිත් කතා කරන්නේ. ඒ නිසා මගේ අපහසුව ගැන මම හිතන්නේ නැහැ.






Previous Post Next Post