ඩාර්ලින් ට නම් මේ කාලය එච්චර හොඳ කාලයක් නෙවෙයි - චන්දිමා කරුණාදාස




නළුවෙක් හෝ නිළියක් නම් තමන්ට ලැබෙන ඕනෙම චරිතයකට සාධාරණය ඉෂ්ට කළ යුතුයි. එවිට ඔහු හෝ ඇය චරිතාංග නළුවෙක් හෝ නිළියක් ලෙසින් අපිට හඳුන්වා දිය හැකියි. වත්මන් නිළි පරපුරේ එවන් සටහන් තමබින් කලාවේ දිගු ගමනක පෙර මං සලකුණු තබන සොඳුරු රූපණවේදිනියක් චන්දිමා කරුණාදාස.


 ඩාර්ලින් ට නම් මේ කාලය එච්චර හොඳ කාලයක් නෙවෙයි. මේ දවස් වල බණ්ඩාගේ උපාය මාර්ග දැඩි පිඩනයට ලක්වෙලා ඉන්නේ. නමුත් චන්දිමා කරුණාදාසට නම් මේ කාලය ගත්තම සද්ධා මංගල සූරියබණ්ඩාර ලියන සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කරන "පාර දිගේ" ඩාර්ලින් අක්කා ලෙස සහ "පාර වසා ඇත" සඳමිණි කියන චරිත දෙක නිරූපණය කරන්න ලැබිලා තියෙනවා.

"මෙය මම දකින්නේ රංගන ශිල්පිනියක් හැටියට මට ලැබුණු හොඳ අවස්ථාවක් කියලා. මොකද ඒ චරිත දෙක ලොකු රංග පරාසයකට විහිදෙන සහ වෙනස් විදියේ චරිත දෙකක්. ඒ නිසාම මේ වෙලාවේ අධ්‍යක්ෂතුමාට ස්තුති කරන්න ඕනේ මට යම් කිසි රංගන හැකියාවක් තියෙනවා නම් එය යම්තාක් දුරකට හෝ ප්‍රේක්ෂකයින්ට පෙන්වන්න ලබා දුන් හොඳ අවස්ථාවක් නිසා.

මම හැදුණේ වැඩුණේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ පූනෑව කියන සුන්දර ගමේ. මගේ පාසල් කාලය ගැන මතක් කළොත් මුලින්ම මම ගියේ ගමේ පාසල වන පූනෑව මහා විද්‍යාලයට. ඉන් පස්සේ මෛත්‍රීපාල සේනානායක ජාතික පාසලට. පාසල් කාලයේ ක්‍රීඩාවට යොමු වෙලා හිටිත් මුල් තැන දුන්නේ ඉගෙනීමට. මට විශාල බලාපොරොත්තුවක් තිබුණා කොහොම හරි සරසවි වරම් ලබා ගන්න. පළමු සැරෙන්ම උසස් පෙළ සමත් වෙලා කැලණිය විශ්ව විද්‍යාලයට එනවා. පළමු වසරෙන් පස්සේ මම නාට්‍යය කලාව තෝරා ගෙන ශ්‍රාස්ත්‍රවේදී උපාධිය සහ ශ්‍රාස්ත්‍රපති උපාධිය හැදෑරුවා. කලාව උපදින්නේ සරසවියේ වේදිකාවෙන්. වේදිකාවෙන් ලබපු පන්නරය අත්දැකීම හැමදෙයක්ම මට ලොකු අත්වැලක් වුණා. මගේ ජිවිතේ හැරවුම් ලක්ෂ්‍යය සරසවිය සහ සරසවි වේදිකාව කිව්වොත් හරි.

මට පෞද්ගලිකව මුණගැහෙන අය බොහෝ දෙනා අහන ප්‍රශ්නයක් ඇයි ඔයාගේ සාමාන්‍යය වයසට වඩා වැඩි වයසක චරිතම තෝරා ගන්නේ කියලා. එතැනදී මට කියන්න තියෙන්නේ මම පෞද්ගලිකව රංගන ශිල්පිනියක් විදියට ලැබෙන චරිත වල වයස පරාසය සැලකිල්ලට ගන්නේ නැහැ කියන එක. මම තෝරා ගන්නා චරිත තුළ මට මගේ රංගනය තුළින් මගේ දක්ෂතාවක් පෙන්නුම් කරන්න පුළුවන් නම් මම ඒ චරිතය භාරගන්නවා. මෙච්චර කාලයක් මට ලැබුණු චරිත මට වඩා වයසින් වැඩි චරිත. නමුත් ඒ හැම චරිතයකටම සාධාරණයක් කළා කියලා. එය මට දැනෙන්නේ ඒ ඒ චරිතවලට ප්‍රේක්ෂකයින්ගෙන් ලැබුණු හොඳ ප්‍රතිචාර නිසා. මම කැමතියි විවිධාකාර චරිත කරන්න. නිර්මාණ කිහිපයක් අතරමඟ නතර වෙලා තියෙනවා. රටේ අද පවතින තත්වය එක්ක ඒවා කොහොම වෙයිද දන්නේ නැහැ. දැනට මම භාර අරගෙන තියෙන හැම චරිතයක්ම එකිනෙකට වෙනස් වූ චරිත.

වේදිකාව ගැන කතා කරොත් නම් දුකෙන් හරි කියන්න තියෙන්නේ මේ වෙද්දී රටේ තියෙන තත්වය එක්ක වේදිකා නාට්‍යයක් බලන්න තරම් රටේ ජනතාවගේ මනස නිරවුල් නැහැ. ඒ නිසා වේදිකාවේ තිබ්බ ප්‍රබෝධමත් ගතිය නැතිවෙලා ගිහින්. මගේ ජිවිතේ පැත්තෙන් කතා කළොත් වේදිකා නිර්මාණ වල‍ට ආරාධනා ලැබුණත් ඉතාමත් අවාසනාවන්ත විදියට යම් යම් හේතුකාරණා එක්ක මට භාරගන්න ලැබුණේ නැහැ. වේදිකාව කියන්නේ තමන්ගේ කැපවීම සීයයට සීයක් දිය යුතුම තැනක්. එහෙම කැපකිරීමක් කරන්න නොහැකි නම් ඒ වේදිකා නිර්මාණ භාරගත යුතු නැහැ කියන තැන මම ඉන්නේ. ඒ නිසා මඟහැරුණු වේදිකා නිර්මාණ තියෙනවා. ඒ ගැන දුකයි. නමුත් මට මගේ උපරිමය දිය නොහැකි නම් ඒ දේ භාර නොගැනීම තමයි ඒ නිර්මාණයකට මට කළ හැකි සාධාරණය. මම හැදුනු වැඩුණු තැන වේදිකාව. ඒ නිසා පුළුවන්තරම් මඟනොහැර ඉදිරියේදී වේදිකාවට සම්බන්ධ වෙන්න මම උත්සහ කරනවා.

සිනමාවට නම් තවම මට ලොකුවට සම්බන්ධ වෙන්න අවස්ථා ලැබිලා නැහැ. ද නිව්ස් පේපර් චිත්‍රපටයට පමණයි මෙතෙක් සම්බන්ධ වුණේ. තවත් නිර්මාණ වලට ආරාධනා ලැබුණත් මගේ වැඩකටයුතු එක්ක භාර ගන්න බැරි වුණු අවස්ථා තියෙනවා.

මගේ සැබෑ ජිවිතේ ගත්තම ඔය චරිත සියල්ලටම වඩා මම වෙනස්. මම වැඩිපුර කතා බහ කරන කෙනෙක් නෙවෙයි. ඒ නිසාම සමහර අයට හිතෙනවා ඇති මම ආඩම්බරයි කියලා. ඒ මගේ විදිය. මගේ වැඩ ටික කරගෙන පාඩුවේ ඉන්න කෙනෙක්. මගේ පුංචි කාලේ නම් අක්කලා එක්ක දඟ වැඩ කරපු ටිකක් දඟ ළමයෙක්. නමුත් උසස් පෙළ පන්තියේදී සහ විශ්ව විද්‍යාලයට ගියාට පස්සේ මගේ චරිත ලක්ෂණ වෙනස් වුණා. සමහරු පුදුම වෙනවා ඩාර්ලින් වගේ චරිතයක් මම රඟපාන එක ගැන. එතැනදී මම, මම නොවුණු මගේ චරිතයක් එතන රඟ දක්වනවා. ඒ නිසාම දෝ මන්දා ඩාර්ලින් අක්කගේ චරිතයට ඉතා හොඳ ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙනවා කියන එකත් මේ වෙලාවේ මතක් කරන්නම ඕනේ.

මම රංගනයට එනවට මුලදී තාත්තාගේ නම් ලොකු කැමත්තක් තිබ්බේ නැහැ. තාත්තට ගැටලුවකට තිබ්බේ රංගන ශිල්පිනියක් වීම නෙවෙයි තනියම ශුටින් යන එන එක සහ රෑ වෙලා එන එක වගේ දේවල්. දැන් නම් අකමැත්තක් නැහැ. මම ඉන්න නාට්‍යය බලනවා. මම විවාහ වුණේ මගේ විශ්වවිද්‍යාලයේම මගේ උපාධියම ලැබූ තරිඳු ගංගානාත් දිසානායක සමඟ. ඔහු මා ගැන ලොකු අවබෝධයක් ඇතිව මට උපරිම නිදහස සහ සහයෝගයක් ලබා දෙනවා. ඒ දේ සහයෝගය එක්ක තමයි මම මේ ගමන ආවේ.

මම රජයේ රැකියාවක් කරන අතරතුර මේ කලාව කරගෙන යන්නේ. රටේ පවතින තත්වය එක්ක වෘත්තීය පදනමින් රංගනය කරන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. තියෙන කාර්යබහුලකම නිසාම මම ගෙදර ඉන්නේ නැති තරම්. වෙලාවකට මට හිතෙනවා අනේ මට ගෙදර ඉන්න තිබ්බා නම් කියලා. සැමියාගෙන් මට ලැබෙන සහයෝගය තමයි මගේ සාර්ථකත්වය.ජිවිතේ ගැන මම ආපහු හැරිලා බලද්දී දැන් ඉන්න තැන ගැන නිහතමානී සතුටක් ආඩම්බරයක් මට තියෙනවා. මගේ දෙමාපියන් මගේ පවුලේ අය වගේම මගේ සැමියත් ඒ ගැන ආඩම්බර වෙන බව මම දන්නවා.





Previous Post Next Post