හොඳ කියන අයත් ඉන්නවා බණින අයත් ඉන්නවා එත් මට දුකක් නෑ - මේධා ජයරත්න



නිර්මාණාත්මක චරිත කිහිපයකින්ම දකින්න ලැබුණු මේධා ජයරත්න මේ වෙද්දි ටිකක් නිහඩව කාලය ගත කරනවා. ඊට හේතුව ප්‍රමාණවත් චරිත නොලැබීම ද නිර්මාණ ප්‍රතික්ෂේප කිරිමද කියලා දන්නේ ඇයම තමයි. විවාහයෙන් හා දරුවන්ගෙන් ඉවත් වෙලා තනිව ජීවත් වෙන මේධා පෙම්වතියක්. ළඟදීම විවාහ වෙනවා කියලත් රාවයක් පැතිරෙනවා. 


 

මේධාව මේ දිනවල දකින්න නැහැ , විවාහයට සූදානම් වෙනවා කියලත් ආරංචියි..?


මේ දවස්වල නිර්මාණ වලින් දකින්න නම් නැහැ තමයි. නමුත් විවාහ වෙන්න සුදානම් වෙනවා කියන ආරංචිය නම් බොරුවක්.


 

එතකොට පෙම්වතා..?


මට ආදරය කරන්න කෙනෙක් ඉන්නවා. මගේ වැඩවලට එයා ලොකු උදව්වක් වෙනවා. නමුත් අපි තවම විවාහ වෙන්න කාලයක් තීරණය කරලා නැහැ . අපි දෙන්නට දෙන්න ආදරයෙන් ඉන්නවා. විවාහ වෙන්න හරි කාලය ආවම ඒක වෙයි කියලා හිතනවා. එතකල් සතුටින් ජිවත් වෙන්න තමයි මම නිතරම උත්සහා ගන්නේ.


 

ඔබ දරුවන් දෙදෙනෙක් ඉන්න මවක්. නමුත් ඔබ විවාහයෙන් දික්කසාද වෙනවා. ඉස්සර තිබුණු ජනප්‍රියත්වයට රසික ආකර්ෂණය අඩු වෙන්න දික්කසාද ය හේතුවක් වුණා කිව්වොත්..?


ඉස්සර මම වැඩිය ශෝෂල් මීඩියා හිටියේ නැහැ . නමුත් දික්කසාදයෙන් පස්සේ මම මගේ දේවල් ශෝෂල් මිඩියා එක්ක ගනුදෙනු කළා. පළ කළා. ඒත් එක්කම ඉන්නවා. ඒ නිසා මට හිතෙනවා දික්කසාද ය මගේ ජනප්‍රියත්වයට බලපෑවේ නැහැ කියලා.


 

නමුත් දෝෂාරෝපණය වෙන අවස්ථාව තිබෙනවා..?


හැම දෙයකදිම හොඳ වගේම නරක කියලා දෙයක් තියෙනවා. බණින අයත් ඉන්නවා. හොඳ කියන අයත් ඉන්නවා. බණිනවා කියලා මම ඒ මත්තේ එල්ලිලා දුක් වෙන්නේ නැහැ . ඒක එයාලගේ මානසික මට්ටම. එයාලට නොලැබෙන දේවල් එක්ක එයාලා නිකරුණේ චෝදනා එල්ල කරනවා කියලයි මම හිතන්නේ.


 

ඔබ තනිකඩව ඉන්න නිසා අනිසි බලපෑම් වැඩි ඇති..?


කොහොම හිටියත් වැඩිපුරම ඉන්නේ අයුතු යෝජනා ගෙන එන අය තමයි. ට්‍රයි කරලා බැරි වුණාම කතා කියනවා. කොයි වගේ අය මේ සමාජයේ හිටියත් මම මගේ තැන තියාගෙන පාඩුවේ ජිවත් වෙනවා.


 දරුවෝ දෙන්නා කොහොමද..?


පුතාට දැන් අවුරුදු 18ක් වෙනවා. එයා සැප්තැම්බර් මාසේ වෙනකොට එංගලන්තයට යනවා. අපි කොහොමත් කාලයක් හිටපු රටනේ. එයා යන්නේ ඉගෙන ගන්න. දුව එහේ ඉපදුණු නිසා 16 වෙද්දි එයාට කොහොමත් යන්න පුළුවන්. දුව ගිය දවසකට මමත් එංගලන්තයට යන්න ඉන්නේ.


 

අලුත් නිර්මාණ වලින් දකින්න නැද්ද .?


නිර්මාණ වලට ආරාධනා ලැබෙනවා. සමහර නිර්මාණ වලට ගෙවන ගාන අඩුයි. ඉතිං මම ඒ නිර්මාණ කරුවන්ට කියනවා එයාලගේ ගානට කෙනෙක් හොයා ගන්න කියලා . මීමුරේ හා උඩවලව රූගත වෙන නිර්මාණ දෙකක් ලැබුණා. නමුත් තෙල් ප්‍රශ්න නිසා ඒකටත් ගියේ නැහැ . මම සම්බන්ධ වුණු නාට්‍ය 25ක් විතර එන්න තියෙනවා. ඒත් ඒවා කවදා විකාශය වෙයිද දන්නේ නැහැ .


 

ඔය කියන විදිහට ඔබේ ගාණ වැඩියි ද..?


රටේ තියෙන ප්‍රශ්න එක්ක නිෂ්පාදකවරුන් ට මම ලොකු ගණනක් කියන්නේ නැහැ . අපිට ගෙවන්නේ දවසේ ගාණ. දවසකට 5000ට රඟපාන අය ඉන්නවා. අපි කාලයක් මේ ක්ෂේත්‍රෙයේ ඉන්න අය. අපේ පළපුරුද්ද වටිනාකම අනූව තමයි මම සාධාරණ ගාණක් කියන්නේ. ඒකත් දෙන්න බැරිනම් මම යන්නේ නැහැ


 හැමදාම ජිම් යනවද..?


ඔව්. දැන් නම් නිදහසේ ජිම් යන්න කාලයක් තියෙනවා. කොහොමත් මම දවසකට පැය දෙකක් ජිම් එකේ කාලය ගත කරනවා.






Previous Post Next Post