ජීවිතේ කියන්නේ මෙසේ යැයි සැලසුම් කරලා න්‍යාය පත්‍රයකට ගත කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ජීවිතේ සිදුවිය නොහැක්කක් නොමැති බව වටහාගෙන ජීවත් වුවහොත් එය වඩා පහසුයි. කලා ලෝකයෙත් ඒ වගේ නොහිතන දෑ ඕනෑ තරම් සිදුවෙනවා. ක්ෂේත්‍රයේ ඇසෙන කතා අතර කලාකරුවන් ටිකක් කලබල වුණු කටකතාවක් මෑත කාලයේදි සංසරණය වුණා. ඒ කාගෙත් "ලොකු අයියා" එහෙම නැත්නම් මහේන්ද්‍ර පෙරේරාට හදිසියේ බයිපාස් සැත්කමක් කළා කියන ආරංචිය. නවක කලාශිල්පීන් බහුතරයකගේ රංගන ගුරුවරයා වුණු හෙතෙම අසනීප වුණු ආරංචියට හැමෝම එක ලෙස කණගාටු වුණා. පැය හතක කාලයක හදවත් සැත්කමකින් අනතුරුව දින හතක් දැඩි සත්කාර ඒකකයේ සිට මාසයක් ඉකුත්ව ගිය මොහොතක මහේන්ද්‍ර පෙරේරා ඒ් ගැන මෙලෙස පවසා තිබුනා
මහේන්ද්‍ර , එකපාරටම මොකද වුණේ?
එක සැරේම බයිපාස් එකක් කරන්න ඕනේ කියලා කිව්වා. ඉතින් කෙරුවා. (සුපුරුදු සැහැල්ලු ස්වරයෙන්)
ඒහෙම වෙන්න හේතුව?
එක හේතුවක් තෙල් සහිත ආහාර වැඩිපුර අරගත්ත එක. සිගරට් ටිකක් වැඩිපුර බිව්වා. සිගරට් බිව්වා කිව්වාම එක පත්තරේක දාලා තිබ්බා මම දවසකට සිගරට් හතළිහක් පනහක් බොනවා කියලා. එච්චර නම් මම බිව්වේ නැහැ. දවසකට දහයක් පහළොවක් බිව්වා. ඒකම විතරක් නෙමෙයි හේතුව. මං එක්ක බයිපාස් කරපු අය අතර සිගරට් නොබීපු අයත් හිටියා. මම තෙල් සහිත කෑම කෑවා සෑහෙන්න. මම උයපු මාළුත් බැදලා කන කෙනෙක්. ෂූටිං ගියාමත් හැමදේම තෙම්පරාදු කරගෙන තෙලෙන් කන්නෙ. පොල් සම්බෝලෙත් තෙම්පරාදු කරගෙන කෑවේ. ඒ හැමදෙයක්ම සෞඛ්‍ය පිරිහෙන්න හේතු වෙන්න ඇති. යන්තම් හරි පපුව බේරගෙන තියෙන්නේ මම උදේට ගොඩක් බ්‍රීතින්ග් එක්සසයිසස් කරපු නිසා. ඒත් ඒවා කළාට මදි. දැන් අපි වයසයිනේ.
හදවත් සැත්කමකට යන්න තරම් දුර්වලයි කියලා දැනගත්තේ කොහොමද?
කාලයක් තිස්සේ ගෙදරින් කියනවා චෙකප් එකකට යමු කියලා. මම කැමතිම නැහැ ඒකට. පස්සේ ඇමරිකාවේ ඉන්න මගේ යාළුවෙකුයි හේමාලුයි මගේ ක්ලාස් එක කරන ප්‍රදීපුයි එකතු වෙලා බල කළා චෙකප් එකකට යන්න කියලා. ඉතින් බැරිම තැන චෙකප් එක කළා. හෙන ලිස්ට් එකක් දුන්නා බ්ලඩ් රිපෝට් අරවා මේවා ගන්න කියලා. රිපෝට් ඔක්කොම අරගෙන ගියා ඩොක්ටර් බන්දුල විජේසිරිවර්ධන ළඟට. එයා අපේ ආනන්ද අබේනායකගේ ක්ලාස්මේට් කෙනෙක්. එයා රිපෝට්ස් බලපු ගමන්ම කිව්වා "දෙයියනේ... ඔයාට සයිලන්ට් හාට් ඇටෑක් එකක් ඇවිල්ලා තියෙනව" කියලා.
එහෙම අමාරුවක් දැනුණේවත් නැද්ද?
එහෙම ලොකුවට තේරුණේ නැහැ. ඒත් මම දෙසැම්බර් මාසේ නාලිකාවක ඩාන්ස් එකක් රිහර්සල් කර කර හිටියා. එදා හේමාලුත් හිටියා අපි එක්ක. එක සැරේම මට හෝ ගාලා දාඩිය දාලා හුස්ම හිරවෙලා හති ආවා. හේමාලුත් බය වෙලා "මොකද්ද ලොකු අයියේ වෙලා තියෙන්නේ, ඒසී එකේදිත් දාඩිය දාන්නේ කොහොමද? කවදාවත් නැති විදිහට අමුතු විදිහට හුස්ම ගන්නවා මොකද වුණේ" ඇහුවා. ඊට කලින් දවසක නිදිවරලා හිටියේ. මම ඒක හේතුවක් කියලා හිතුවා. ඒ අපහසුව ටික වෙලාවකින් හරි ගියා. මම හිතනවා සමහර විට ඒ ඇවිත් තියෙන්නෙ සයිලන්ට් හාර්ට් ඇටෑක් එකක් වෙන්න ඇති කියලා.
පසුව වෛද්‍යවරයා නිර්දේශ කළේ මොකක්ද?
ඩොක්ටර් ඉක්මණින් එන්ජියෝග්‍රෑම් එකක් කළා. අර ඩයි එකක් යවලා බලන්නේ හාර්ට් එකට. ඒක බැලුවාම මගේ හාර්ට් එකේ වෑල් හතරක් බ්ලොක් වෙලා තව පොඩි වෑල් දෙකක් බ්ලොක් වෙලාලු. ඔක්කොම හයක්
මගෙන් ඩොක්ටර් ඇහුවා හති නැද්ද කියලා. මට එහෙම හතියක් නෑ කිව්වා. මම බ්‍රීතින්ග් එකසර්සයිස් කරන නිසා වෙන්න ඇති. ඩොක්ටර් වහාම ඔපරේෂන් එකක් කරන්න ඕනේ කිව්වා. හැමදෙයක්ම හරි ඉක්මණට සිද්ධ වුණා.
බය හිතුණේ නැද්ද?
බයිෆාස් එකක් කරන්න ඕනේ කියලා කියද්දී නම් ටිකක් බය හිතුණා. ඊට පස්සෙ මම හිත හදා ගත්තා. කොහොමත් අපිට කවදාහරි යන්න වෙනවානේ. මට ඩොක්ටර් ගැන ලොකු විශ්වාසයක් තිබුණා. ඩොක්ටර් දේව් කියලා ඉන්දියන් ඩොක්ටර් කෙනෙක් ඔපරේෂන් එක කළේ.
කවද්ද සැත්කම කළේ?
හරියටම ජනවාරි විසිඅට වෙනිදා කළේ. පැය හතක ඔපරේෂන් එකක් කළා. මුළු පපුවම කපලා විවෘත කරලා ඔපරේෂන් එක කළේ. දැන් ඔක්කොම මහලා පපුවට ගාර්ඩ් එකකුත් දාගෙන ඉන්නවා. ව්‍යායාම දීලා තියෙනවා කරන්න, ඒවාත් කරනවා. මගේ ස්වසන අභ්‍යාස ටිකත් ඒ අතරේ කරනවා. මගේ කෑම රටාවත් සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තියෙන්නේ.
දැන් ඇඟට පහසුවක් දැනෙනවාද?
දැන් ඇඟට ෆිට් එකක් තියෙනවා. අතින් පයෙන් කපලා නහර අරගෙන තියෙනවා. දැන් ඒ තුවාල ටිකත් වේලිලා. දැන් ආයිමත් මේ මාසේ අන්තිම වෙනකොට වැඩ පටන්ගන්න ඕනේ. ඇක්ෂන් කට් හඬ ඇහෙන්නේ නැතුව ඇඟටත් අමාරුයි හිතටත් අමාරුයි.
බයිපාස් නෙමෙයි මොකක් කළත් මහේන්ද්‍ර පෙරේරට රඟනොපා ඉන්න බැහැ නේද?
අම්මෝ බැහැ... ඒක නම් කොහෙත්ම බැහැ. හැබැයි මේ යන විදිහට නම් අපිට මැරෙන මොහොතෙත් රඟපාන්න වෙලා තියෙන්නේ. කොහොමටත් රඟපාන්න ඕනේ. භාරගත්ත වැඩ කිහිපයක් තියෙනවා. සමහර නිර්මාණවලින් ඉවත් වෙන්න සිද්ධ වුණා. අප්‍රේල් මාසේ අරුණ ජයවර්ධනගේ මොණර කිරිල්ලි කියලා චිත්‍රපටයක ෂූටිං පටන් ගන්නවා. පුබුදු චතුරංග ෆිල්ම් එකක් කරන්න යනවා. ඒකෙත් ශූටින්ග් තියෙනවා. රැල්ල වෙරළට ආදරෙයි නාට්‍යයේ ෂූටිං තියෙනවා. තව ටෙලිනාට්‍යයකට ආරාධනා ඇවිත් තියෙනවා. දැන් රඟපාන්න පුළුවන් මට.
ඒත් සැත්කම නිසා උඩුකය නිරාවරණය කරලා රඟපාන්න බැරි ප්‍රශ්නයක් එනවා නේද?
එහෙම ප්‍රශ්නයක් නම් තියෙනවා. ඒ මැහුම් පාරවල්වල කැළල් පේනවා අඩුයි. ටික කාලයක් යද්දි ඒවා සෑහෙන්න දුරට අඩු වෙයි කිව්වා. නැත්නම් මේකප් එකකින් වහන්න වෙනවා. ඒ වගේම ගහගන්න උඩ පනින්න දුවන්න වගේ දේවලුත් ටිකක් කල්පනාකාරීව කරන්න ඕනේ.
ජීවිතේ ලොකු පිම්මක් පැනලා ඉන්න මොහොතක ජීවිතේ දිහා නැවත හැරිලා බැලුවොත්?
ජීවිතේ ගැන මම එදා ඉඳලාම හිතුවේ කවදහරි දවසක අපි මේවා දාලා යන්න ඕනේ කියන තැන ඉඳලා. මම අයිසීයූ එකේ දවස් හතක් හිටියා. ඒ දවස් හතේදී නම් හිතාගන්න බැරි මහා විකාර දේවල් පේන්න ගත්තා. දැන් නම් ඒවා මතක නැහැ. මොනවදෝ මහා අමුතු හීන වගේ ඒවා. තනිකරම අපභ්‍රංශ. මගේ ඉස්සරහා ඇඳේ හිටපු කෙනාත් ඒවාම දැකලා. අයිසීයූ එකේ ඉද්දි මේ ලෝකේ දාලා ගිය කලාකාරයෝ ගැන මට කල්පනා වුණා. අපි කොච්චර කළත් මේකේ ඇලී ගැලී ඉන්න එක තේරුමක් නැහැ කියලා හිතුණා. භෞතිකවාදී වෙන දේවල් ඕනවට වඩා විච්චූරණ වෙන දේවල් ඕනාවට වැඩිය ඇලීගැලී ජීවත් වෙන එක කිසිම පලක් නැහැ කියලා හිතුණා. ඒ සමහර හැසිරීම් දකිනකොට නම් අනේ දෙයියනේ කියලා හිනාත් යනවා.
කලා ක්ෂේත්‍රයෙත් එහෙම අය ඉන්නවද?
ගොඩක් අය එහෙම තමයි. පුම්බගෙන මහලොකුවට විකාර කතා කරකර ඉන්න අය ඉන්නවා. ඒවා දැක්කාම නම් අනේ අපොයි කියලා හිනා යනවා. අපේ ජීවිතය සරල කරගන්න තරමට හොඳයි. අපේ රට පත්වෙලා තියෙන තත්ත්වය නිසා අපිට මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා. එහෙම නැතිනම් රඟපෑම ටිකකට නතර කරලා ටිකක් නිදහසේ මොනවාහරි වවාගෙන ඉන්න පුළුවන්නම් කියලා හිතෙනවා.
අසනීප තත්ත්වයන් එක්ක පංති සහ වැඩමුළු එහෙම නතර වෙන්න ඇති?
නතර වුණා. ඒත් අපි ආයෙමත් පන්ති පටන් ගත්තා. මත්තෙගොඩ අලුත් තැනකටත් අපි ගියා. මේ දවස් ටිකේ මම සහභාගී වෙන්නේ නැහැ. මුල් දවස්වල විෂය ගැන ටිකක් කතාබහ කරලා සරල ව්‍යායාම, ශ්වසන අභ්‍යාස, කටහඬ පුහුණුවීම් කරගෙන යන්නේ. ඒවා කරන්න මගේ ගෝලයෝ ඉන්නවා. අප්‍රේල් අග ඉඳලා මම පංතිවලට සහභාගි වෙනවා.
මේ සියල්ල අවසානයේ රංගනය පිළිබඳව ඔබේ නිර්වචන මොකක්ද?
රංගනය ගැන හරි නිර්වචනයක් අවුරුදු ගාණක් තිස්සේ මම හොය හොයා හිටියා. මම ආචාර්ය සාලමන් ෆොන්සේකා යටතේ ඉගෙන ගන්නකොට පවා ඇක්ටින්ග් කියන්නේ මොකක්ද කියලා හෙව්වා. රංගනය ගැන එක එක්කෙනා එක එක දේවල් මට කිව්වා. ඒත් මට ඒ නිර්වචන ඒ තරම් දැනුණේ නැහැ. කාලෙකින් හොයාගෙන යද්දි මට එක නිර්වචනයක් ලැබුණා. එතනින් එහාට ඇක්ටින්ග් කියන්නේ මොකද්ද කියලා මම හොයන්න ගියේ නැහැ. මම හිතන විදිහට ඒක තමයි ඇක්ටින්ග් කියන්නේ. ටෝනි බාර්ගේ "ඒජබඪදඨ ටධප බඩඥ ජචථචපච" කියන පොතේ මේ නිර්වචනය තියෙන්නේ.
"acting as responding to stimuli in imagined circumstances in an image and an imaginative, dynamic manner that is that is stylistically truthful to the character and his environment so as to communicate ideas and emotions to an audience."
මෙන්න මේක තමයි ඇක්ටින්ග් ගැන හරියටම දැනෙන දෙය. මේකේ සිංහල පරිවර්තනයක් හදාගන්න ඕනේ හරියටම. සමහරු ඇක්ටින් කියන්නේ බොරුවක් කියනවා, ඒක හරි වැරදියි. සමහරු කියනවා චරිතයට ආරූඪ වෙනවා කියලා. එහෙම ආරූඪ වෙලා තොවිලයක් නටන්න පුළුවන්. රඟපාන්න බැහැ. මේ නිර්වචනයේ ඇන්ටින්ග් කියන දෙය හරිම ලස්සනට පැහැදිලි කරනවා.
වර්තමානයේ හොඳම නළුවා ලෙස සම්මානනීය වුණු රංගන ශිල්පීන්ගෙත් ගුරුවරයා මහේන්ද්‍ර අයියා. වර්තමාන රංගන ශිල්පීන් විෂය ප්‍රගුණ කරනවාද?
මම ගෝලයෝ කියන්නේ මං එක්කම ඉඳලා මගෙන් හැමදෙයක්ම ඉගෙන ගෙන විෂය තවත් ප්‍රගුණ කරලා මටත් වඩා දැනුමක් එකතු කරගෙන ඉන්න අයට. ඒත් ගොඩක්දෙනෙක් පංතියේදි විවිධ ක්‍රියාකාරකම් කළා. ඊටපස්සේ නළුවො වෙන්න වැඩ ලැබුණාට පසුව අභ්‍යාසගත වීම සහ සොයා යෑම නතර කරලා දානවා. එහෙම වෙන එක අපරාධයක්. අනිවාර්යයෙන්ම රංගන ශිල්පියෙක් දිනපතා බ්‍රීතින්ග් එක්සසයිස් සහ වොයිස් ට්‍රේනින්ග් කරන්න ඕනේ. කටහඬ සහ ශ්වසනය කියන්නේ නිතරම වෙනස් වෙන දෙයක්. නමුත් ගොඩක්දෙනෙක් ඒවා අත්හරිනවා. ටෙලිනාට්‍යයක් ලැබුණ ගමන් වැඩ තියෙනවා කියලා හිතාගෙන අභ්‍යාසවලින් ඈත්වෙනවා. ඉන් එහාට විෂය ප්‍රගුණ කිරීමක යෙදෙන්නේ නැහැ. මම කියන්නේ නැහැ රංගනය අත්හැරලා විෂය ප්‍රගුණ කර කර ඉන්න කියලා. ඒත් රංගන ශිල්පියෙක් තමන්ගේ විෂය වෙනුවෙන් කරන්න ඕනේ සරල ව්‍යායාම ටිකවත් කරන්න ඕනේ. සමහර අය හිතනවා නළුවෙක් වෙන්න බොඩිබිල්ඩින්ග් කළාම හරි කියලා. ඒකත් අවශ්‍යයි. ඒත් විෂය ප්‍රගුණ කිරීම අත්හරින්න බැහැ. මට විෂය අත්හැරුණා නම් මම කොහොමද ඊළඟ පරපුරට මේක කියලා දෙන්නේ? රඟපෑම කියන්නේ මෙන්න මේකයි කියලා හරියටම මට උගන්වන්න බැහැ. ඒත් ඒක හොයාගෙන යන්න පාර පෙන්වන්න පුළුවන්. ඒක තම තමන් හොයාගන්න විදි එකිනෙකට වෙනස්. ඕනෑම විෂයක් තුළ යම්කිසි කාලයක් විෂය හදාරන්න ඕනේ.
මහේන්ද්‍ර පෙරේරා වියපත් වෙලා රංගනය අත්හරින්න වුණු කාලයක වර්තමාන පරපුර දිහා බලාගෙන ඉන්න වුණොත් මොනවා හිතෙයිද?
සමහර අය දිහා බලාගෙන ඉන්න පුළුවන්. සමහර අය දිහා බලාගෙන ඉන්න අමාරුයි. හැමදෙයකටම ඉස්සෙල්ලා බලන්න ඕනේ රටක් වශයෙන් පත් වෙලා තියෙන තත්ත්වයෙන් ගොඩ එන්න. හොඳම තත්ත්වයෙන් පවතින්නේ කෙසේද කියලා ප්‍රශ්නයක් අපි හැමෝටම තියෙනවා. මේක වල්බිහි වෙලා තියෙන ක්ෂේත්‍රයක්. කලාව විච්චූරණ වෙලා සිල්ලර කාසිවලට වැටිලා තියෙන්නේ. මේක ඇතුළෙ වල් පැලයක් අතර හොඳ පැලයක් ලෙස ගොඩනැඟෙන්නේ කොහොමද කියන පැනය හැම නවකයෙක්ටම තියෙනවා. හොඳ දක්ෂතා ගොඩක් තියෙන අය ක්ෂේත්‍රයේ ඉන්නවා. නමුත් ඒ දක්ෂතා හරිහැටි මෙහෙයවාගන්නේ කෙසේද කියලා ප්‍රශ්නයක් තියෙනවා.
වත්මන් කලා නිර්මාණවල නිර්මාණශීලීත්වය සහ ගුණාත්මකත්වය ගැන කතා කළොත්?
වර්තමානයේ හැදෙන ගොඩක් නිර්මාණ අපභ්‍රංශ. ඒ අතරතුර මට පෙනෙනවා මීට වඩා යමක් කළ යුතුයි, මීට වඩා යම්කිසි දැක්මක් සහිතව වැඩ කරන්න ඕනේ කියලා හිතන අධ්‍යක්ෂවරු, කතා රචකයෝ සහ නළු නිළි පිරිසක් ඉන්නවා. ඒක වාසනාවට කාරණාවක්. ඒ වගේම සල්ලි ලැබෙනවා නම් ඕනේ මඟුලක් කියලා මල ජරාවවල රඟපපා ඉන්න, ඉන්දියානු ටෙලිනාට්‍යවලට දෙබස් කව කවා ඉන්න පිරිසක් ඉන්නවා. ඔවුන් ඊළඟ පරම්පරාව මැටිමෝල්ලු බවට පත් කරමින් රසවින්දනය මරා දමමින් යන පිරිසක්. ඒවාට පෞද්ගලික නාලිකා වග කියන්න ඕනේ.
ලොකු පිම්මකුත් පැනලා ඉන්නේ. අවසාන වශයෙන් මොකක්ද කියන්න තියෙන්නේ?
අනේ මන්දා... මේ යන විදිහට ගොඩක් දේවල් කියන්න තියෙනවා. හොඳ තත්ත්වයෙන් පවතින්නේ කෙසේද කියන එක ගැන තව සැරයක් හිත හිත ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. සමාජයට ඉතා හොඳීන් දැනෙන වැඩදායී පුද්ගලයෙක් ලෙස සමාජයේ ජීවත්වෙන්නේ කොහොමද කියලා අපි නිතරම කල්පනා කරන්න ඕනේ. කලාව තුළින් සමාජ විප්ලව කරන්න බැහැ. එහෙනම් අපේ පැරණි නිර්මාණ විශ්ලේෂණය කළොත් ඒවා රසවිඳපු පිරිස බැලුවොත් අපේ රට අද මාර තැනක තියෙන්න ඕනේ. එහෙම කියලා මේක අත්හරින්න බැහැ. ඊළඟ පරම්පරාවේ බුද්ධිය ඇවිස්සීමේ ක්‍රියාවලිය අපිට කරන්න පුළුවන්. ඊළඟ පරපුර නිසි රසවින්දනයක් කරා මෙහෙයවන වගකීම තියෙන්නේ කලාකාරුවන්ට. ඒක අමතක නොකර වැඩ කරන්න ඕනේ.
නිර්මාණි බණ්ඩාරනායක