ආණ්ඩු හිරවුණාම දැන් සැපද අහන්න මම පෑන මෙහෙයවන්නේ නෑ - කළණ ගුණසේකර




කොහොමද මේ දවස්වල?


මේ දවස්වල පොදු සීසන් 2හි ෂූටින් ඉවර කරලා දැන් විකාශනය වන නිසා ඒක බලනවා. තව සජීව කනකරත්නගේ 'තම්බපණි' කියලා ෆිල්ම් එකක වැඩ පටන් ගත්තා. ඊට අමතරව කසුන් පතිරණගේ ඊළඟ ෆිල්ම් එකේ වැඩ පටන් ගන්නත් තිබෙනවා.


කළණ ගුණසේකර පුංචි තිරයට පැමිණෙන්නේ වේදිකාවෙන්. වේදිකාවෙන් තොරව පුංචි තිරයට පැමිණීමේදී නළුවකුට හෝ නිළියකට ඇති අවාසි මොනවද?


මම හිතන්නේ වේදිකාව යනු නළුවකුට හෝ නිළියකට හොඳ ආරම්භයක් ගන්න පුළුවන් ස්ථානයක් කියලයි. මොකද රංග අභ්‍යාසයක් ලබාගන්නා අතරම කලාව ගැන සෑහෙන ඉගෙනගන්න පුළුවන්. වේදිකාවේ රඟපාන එකම නෙමෙයි වැඩේ. වේදිකාවේ ගැවසෙනවා කියන්නේම ආර්ට්ස් ඇතුළේ යම්තක් දුරට ජීවත් වෙනවා කියන්න පුළුවන්. නමුත් එය නියත කාරණාවක් නෙවෙයි. අත්දැකීම් හා මනසේ දැනුවත්භාවය ගැන ඇතිවන කාරණාවක් පමණයි.


කලාව තුළ පිළිගැනීමක් හෝ නමක් පවත්වා ගැනීමට සම්මානයක් ලැබී තිබිය යුතුමද?


එහෙම එකක් නෑ. හැබැයි 'සම්මානනීය' හෝ 'සම්මානලාභී' කියන වචන දෙකේ පොඩි එකක් තිබෙනවනේ? ගමක වුණත් පිළිගැනීමක් තිබෙනවා. ගමක විතරක් නෙමෙයි මහා සමාජය ජීවත් වන නගරවල වුණත් මේ දේ තිබෙනවා. නමුත් කලාකරුවකු තමන්ට හෝ ප්‍රේක්ෂකයන්ට දැනෙන ලෙස නිර්මාණයට උපරිම සාධාරණයක් ඉටු කරනව නම් සම්මාන විරහිතව හෝ පිළිගැනීමක් හෝ නමක් පවත්වා ගන්න පුළුවන්. නමුත් 'සම්මානයක්'  කියන කාරණාවට ඕනෑම රටක් තුළ යම්කිසි පිළිගැනීමක් හෝ තත්වයක් තිබෙනවා.


බොහෝ විට ඔබ රචිත තිර පිටපත් තුළ 'රාජ්‍යයේ අසමත්භාවය', 'රාජ්‍ය තන්ත්‍රය' පිළිබඳ හෝ 'ක්‍රමවේදයේ අවුල' පිළිබඳ දැඩි විවේචනය හෝ සැර කතාබහක් කෙරෙනවා. ඒ ගැන අදහසක් දෙන්න? ඒවා ප්‍රේක්ෂකයා කොතරම් දුරට බාරගන්නවාද?


ඇත්තටම මම රාජ්‍ය තන්ත්‍රය කියන වචනේ ජීවත් වෙන මනුස්සයෙක් නෙවෙයි. නමුත් මම පෑන අතට ගනිද්දී මට තිබෙන ප්‍රශ්න, ඒ කියන්නේ මේ රටේ මිනිස්සුන්ට තිබෙන ප්‍රශ්න තමයි ලියවෙන්නේ. එහෙම ලියවෙද්දී හැටනව ලක්‍ෂයේද, පනස්පන් ලක්‍ෂයේද කියලා භේදයක් නැහැ මට. මුළු සමස්තයම ඒ කියන්නේ කෝටි දෙකහමාරම තමයි මම නියෝජනය  කරන්නේ. මිනිස්සුන්ට වැරදුණාම, ආණ්ඩුව හිරවුණාම "දැන් සැපද?" වගේ ඒවා අහන්න නෙමෙයි මම පෑන මෙහෙයවන්නේ. මම ව්‍යංගාර්ථයෙන් හෝ සෘජුව ප්‍රශ්න කරන්නේ රටේ ප්‍රශ්න. මම 'මේක තහනම් වෙයිද?, මේක නිසා කවදහරි හිරේ යන්න වෙයිද?" වගේ ඒවා හිතලා ලියන කෙනෙකු නෙමෙයි. හැබැයි එහෙම වෙන්න බැරි රටකුත් නෙමෙයිනේ මේ. ප්‍රේක්ෂකයා ඒක කොතරම්දුරට බාරගනීද නැද්ද කියන කාරණාව මත මම සමීක්ෂණ කරලා ලියන්නේ නෑ. මම හිතනවා ඔවුන් ඒක බාරගනියි කියලා.


චිත්‍රපටවල හෝ ටෙලි නාට්‍ය තුළදී රංගන ශිල්පීන් හෝ ශිල්පිනියන් අනෙක් චරිත අභිභවා යෑමට උත්සාහ කිරීම ගැන ඔබේ අදහස කුමක්ද?


රංගන ශිල්පියෙක් වුණාම මම තමයි හොඳටම කරන්න ඕනේ කියන සංකල්පය ඉතාම හොඳයි. නමුත් ඒකට තමන්ගේ පෞරුෂය අනිසි ලෙස භාවිත කරනවා නම් ඒ කියන්නේ අධ්‍යක්‍ෂවරයගේ විධාන නෝනකා, නිර්මාණයට නොගැළපෙන ලෙස තමන්ගේ පෞරුෂය විදහා දක්වන්න යනව නම්, අනිත් නළු-නිළියන්ට වඩා තමන්ට පමණක් කැපීපෙනෙන  ලෙස කටයුතු කරනවා නම් ඔහු හෝ ඇය සම්පූර්ණයෙන්ම අසාර්ථක සාමාන්‍ය ආගමික මිනිසෙක් විතරයි.


සම්භාව්‍ය හෝ විකල්ප ධාරාවේ සිනමා කෘතිවලට පමණක් දායක නොවී වාණිජමය අරමුණක් නැතිව කරන නිර්මාණ තුළ හෝ ටෙලි නාට්‍ය කලාව තුළ ස්ථාවර වීම හොඳ ගනුදෙනුවක් යැයි කළණ ගුණසේකරට සිතන්නේ නැද්ද?


මම ඔය දෙකේක්ම වැඩ කරලා තිබෙනවා හා මම ඔය දෙකටම ආසයි. මම කියන්නේ සම්භාව්‍ය කලා කෘති ඇතිවෙන්නත් ඕනේ. මොකද ඒවට ලංකාවේ ප්‍රේක්ෂකයන් අඩු වුණාට ජාත්‍යන්තර අවධානය ලැබෙනවා වැඩියි. ඒක නිර්මාණකරුවන්ගේ පැත්තෙන් හා ශිල්පීන්ට හොඳ අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. එහෙත් ලංකාවේ commercial films සසඳන විට අපිට ජාත්‍යන්තරය සමඟ ගැටෙන්න තියා හැරෙන්නවත් අමාරුයි. නමුත් අපිට ලංකාවේ ප්‍රේක්ෂකයා තුළට යන්න සහ දේශීයව අපිට සිනමාවක් ගොඩනඟා ගැනීමට ඒ සිනමාව ඕනේ. නළුවෙක් වුණාම ඒ කාරණා අදාළ නොවිය යුතුයි. දෙපැත්තම සමබර කරගන්න ඕන කියලා මම හිතනවා.


හැමදාම පෝලිමේ ඉන්නවා යැයි මැසිවිලි නගන තරුණ අධ්‍යක්‍ෂවරු නව මාවත් හෝ විකල්ප සොයා නොයන්නේ ඇයි?


දැන් ඔයා හිතන්න ලක්ෂ 100ක් විතර වියදම් කරලා ලක්ෂ 30ක් විතර අතට අරගෙන ලක්ෂ 70ක් විතර පාඩු කරගන්න කවුරුත් කැමැති නෑනේ. නිර්මාණකරුවන් විදිහට අපි නිෂ්පාදකවරුන්ට පිළිතුරු දෙන්න ඕන්නේ. ඔහොම දේවල් වුණාම ගොඩක් අය අපෙන් අහන්නේ "ඔයා කළ ෆිල්ම් එක නිසා නිෂ්පාදකයට පාඩු වුණා නේද?" කියලයි. අනිත් එක සිනමාව වෙනුවෙන්ම කැපවුණ මිනිස්සු දන්නවා ලොකු තිරයක තමන්ගේ ෆිල්ම් එක රිලීස් කරන එකේ ආතල් එක. ප්‍රධානම කාරණාව තමයි Netflix, Amazon Prime වගේ ක්ලැෆෝම්වලින් ලංකාවේ නිර්මාණ බාරගන්නේ නෑ. එයාලට ඕන්න මට්ටමේ නිර්මාණ අපිට නෑ. ඒ මට්ටමට ආවොත් ගනියි. අපේ තියෙන ෆැලැට්ෆෝම් 2-3ත් හරියට දුවන්නෙත් නෑ.


ඊම series හෝ Mini series වැනි සංකල්ප ලංකාව වගේ රටකට කොපමණ ප්‍රායෝගිකද?


ඒ වර්ගයේ අත්හදා බැලීම් හොඳයි. එතකොට අපිට තේරෙනවා ලංකාවේ ඕඩියන්ස් එක ඉල්ලන්නේ මොන වගේ වෙනස්වීම්ද, මොන වගේ රසයන්ද කියලා. අපි ඒ අදා බැලීම්වලට ගරු කරන්න ඕනේ. ගරු කරනවා කියලා අමුතු එකක් කරනවා නෙමෙයි. ඒව දිරිමත් කරන්න ඕනේ.


රංගනය, වෘත්තියක් ලෙස ලංකාවේ සැලකිය හැකි යැයි ඔබ සිතනවාද?


ලංකාව ඇතුළේ ගුරුවරයෙක් වුණත් දැන් තමන්ගේ වෘත්තිය රැකගන්නේ බොහෝම අමාරුවෙන්. ඒකට දොස්තර වෘන්තියද, ගොවිතැනද කියලා අදාළ නෑ. එහෙම එකේ රංගන ශිල්පීන්ට අමුතුවෙන් ලොකු දෙයක් ලැබෙයි කියලා හිතන්න බෑනේ. දැන් වෘත්තිය කියන වචනේ වෙනුවෙන් යම් යම් ලැබෙන දේවල් ටිකක් තිබෙනවානේ.


ඔබේ ඉදිරි වැඩ කටයුතු මොනවද?


ටෙලි නාට්‍ය ගොඩකට ආරාධනා ලැබුණත් භාරගත්තේ නෑ. කලින් කිව්ව වගේම 'තම්බපන්ණි' ෆිල්ම් එකේ තව දවස් දෙක තුනක වගේ වැඩ ටිකක් තිබෙනවා. ඕවා තමයි..


රමෝද් ජයවර්ධන








Previous Post Next Post