මම නැවත දේශපාලනයට එන්නේ නෑ - උපේක්ෂා ස්වර්ණමාලි



මෙගා ටෙලි නාට්‍ය වංශ කතාවේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වූ මහේෂ් රත්සර මද්දුමආරච්චිගේ තිර රචනයෙන් හා ශාන්ත සොයිසාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවූ පබා ටෙලි නාට්‍යය මෙන්ම එහි ප්‍රධාන චරිතය වූ පබා ද පේ‍්‍රක්ෂක ආදරය අසීමිතව දිනා ගත් නමකි. ඒ අසීමිත ජනපි‍්‍රයත්වය හා ආදරය මෙන්ම ජනතාවගේ වැඩි කැමැත්ත හේතුවෙන් මෙරටේ පාර්ලිමේන්තුවට පවා යෑමට ඈ සමත් වූවාය. පසුගියදා ස්වාධීන රූපවාහිනී සේවය තුළින් නැවත විකාශනයක් සිදු වූ එම පබා ටෙලි නාට්‍යයේ පබා ලෙස ද ස්වර්ණවාහිනී නාලිකාවේ “පානාමංකඩ” ටෙලි නාට්‍යයේ ගුරුන්නාන්සේගේ ලොකු දුව හෙවත් වසුන්දරා නම් පාසල් නැටුම් ආචාර්වරිය ලෙසින්ද සිරස රූපවාහිනි නාලිකාවෙන් “රහයි ජිවිතේ” ටෙලි නාට්‍යය තුළින්ද ඇය අපේ ආලින්දයට ගොඩවන්නීය.  ඇය ජනපි‍්‍රය රංගන ශිල්පිනි උපේක්ෂා ස්වර්ණමාලිය.


 දැන් ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කල් වෙනව ද ?


දැන් අවුරුදු විසිපහක් (25) පමණ වෙනවා.


 පබා ඔබ දායක වූ පළමු ටෙලි නිර්මාණය ද?


නැහැ. මම මුලින්ම ක්ෂේත්‍රයට ආවේ වෙළෙඳ දැන්වීම්වලින්. පබා තමයි මගේ පළමු මෙගා ටෙලි නාට්‍යය.


 මේ ටෙලිනාට්‍ය මුලින්ම විකාශනය වුණේ කොයි කාලේ වගේද ?


2007 දී විතර ඉන්දියානු ටෙලි නාට්‍ය වෙනුවට මෙරට තුළම නිෂ්පාදිත දේශීය ටෙලි නාට්‍යවලට මුල්තැන දෙමින් තමා එවකට ධ්ඊව් එකෙන්ම මේ ටෙලි නාට්‍ය නිෂ්පාදනය කළේ. පබා, බට්ටි, මුතු කිරිල්ලී වැනි ටෙලි නාට්‍ය රැසක්ම එවකට ධ්ඊව් එකෙන්ම නිෂ්පාදනය වුණා.


වසර විසිතුනකට (23) පසුව ඔබ රඟපෑ පබා ටෙලි නාට්‍යය පසුගිය දිනවල නැවත විකාශනයක් සිදු වුණා නේද? ඒ ගැන ඔබට මොකද හිතෙන්නෙ?


ප්‍රේක්ෂකයන්ගේ පැත්තෙන් ඉදලා බැලුවොත් නම් ඒ ගැන සතුටුවෙන්න පුළුවන්. මොකද මේ කොරෝනා වසංගත කාලයත් එක්ක ඔවුන්ට අවශ්‍ය රස වින්දනය ලබාදීම මේ මොහොතේ ඉතාම වටිනවා. අපි කලාකරුවන් ලෙස නම් එය නැවත විකාශනය වීම ගැන යම් සතුටක් තිබුණත් අපිට අසාධාරණයක් වෙලා තියෙනවා. ඒ නිසා එයට දායක වුණු රංගන ශිල්පිනියක් ලෙස නම් මට සතුටු වෙන්න නම් බැ.


ඇයි ඔබ එහෙම කියන්නේ?


ඇත්තටම දැන් ඔබම පොඩ්ඩක් හිතලා බලන්න ඒ ටෙලි නාට්‍යය නැවත විකාශනය වූ ටයිම් එක (කාලය) දවල් 12.30 ඉඳලා 2.20 දක්වා ඔය කාලේ අතරතුර වෙළෙඳ දැන්වීම් කීයක් නම් ප්‍රචාරය වුණාද. ඒවා තුළින් නාළිකාව කොපමණ නම් මුදල් උපයා ගත්තද? මං කියන්නේ ඒ මුදල්වලින් අඩුම තරමේ දශමයක්වත් මේ ටෙලි නාට්‍යයට දායක වුණු ශිල්පීන්ට ගෙව්වේ නෑ. මම ඒකෙ මගේ ප්‍රධාන චරිතයට අදාළව මේ නැවත විකාශනය වෙනුවෙන්ම අලුතින් රූගත කිරීම් පවා සිදුකළා. එහිදී මට ශිල්පීය ගෙවීමක් පවා කළේ නෑ. මං ඒ ගැන ඇහුවාම කිව්වේ මේක නැවත පේ‍්‍රක්ෂක රස වින්දනය උදෙසා නිකං ප්‍රචාරය කරන බවයි. අද කලාකරුවන් ලෙස අපටත් මේ කාලේ ආර්ථික අමාරුකම් ‍රැසක් තියෙනවා.


ඔබට පබා නිසා ජීවිතේ පෙරළියක් සිදුවෙලා දේශපාලනයට පවා එන්න ලැබුණා නේද?


ඔව්. මම විදෙස් රටක හිටියේ එහෙම ඉඳලා ලංකාවට ඇවිත් මේ ටෙලි නාට්‍යයේ රඟපෑවට පස්සේ මට දේශපාලනයට එන්න අවස්ථාව උදා වුණා.


 ඇයි ඔබ එවකට දේශපාලනයට සමුදුන්නේ ?


මම එවකට ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරිය වශයෙන් තමයි හිටියේ. පස්සේ මට ආණ්ඩු පක්ෂයට එකතු වෙන්න අවස්ථාව ලැබුණා. එවකට මට මන්ති‍්‍ර වරප්‍රසාදය ලෙස වැඩ කටයුතු කරන්න නිසි ලෙස ප්‍රතිපාදන පවා ලැබුණේ නැහැ. අනික තමා මං එවකට ආසන සංවිධායක ධූරයක් පවා ඉල්ලුවා එය ලැබුණෙත් නැ. ආසන සංවිධායක ධූරයක් නැතිව වැඩ කරන්න අමාරුයි. පස්සේ මට මැතිවරණයක් ආසන්නයේ ආණ්ඩුව අවසන් වන කාලයේ මාස දෙක තුනකට වගේ විදේශ රැකියා අමාත්‍යංශයට අදාළව අධීක්ෂණ මන්ති‍්‍ර ධුරයක් ලැබුණා. එයින් ඒ මාස දෙක තුන ඇතුළතත් මට වැඩක් කරන්න අවස්ථාවකුත් ලැබුණේ නෑ. ඒ වගේ දේවල් නිසා තමයි ඉතින් මට එහෙම වෙලා දේශපාලනයට සමුදෙන්න වුණේ.


නැවත දේශපාලනයට එන්න කියලා ආරාධනා කළොත් ඔබ ඒ ආරාධනාව පිළිගන්නවද?


දැන් මේ තියෙන පක්ෂ, විපක්ෂ කිසිදු පිරිසක් සමඟ මම නැවත කි‍්‍රයාකාරී දේශපාලනයට නම් එකතු වෙන්නේ නැති වේවි.


 අපි නැවතත් ඔබේ රංගනය දෙසට හැරෙමු. මේ දවස්වල ඔබ රඟපාන පානාමංකඩ ටෙලිනාට්‍ය ගැන කතා කළොත්? ඇත්තටම කාලෙකට පස්සේ මට රඟපාන්න ලැබුණු හොඳ නිර්මාණයක්. රනිල් කුලසිංහ මහතාගේ අධ්‍යක්ෂණයෙන් තමයි පානාමංකඩ හැදෙන්නේ. ගැමි ජන දිවිය අවශ්‍යතාව යන අපේකම සංස්කෘතිය මනාව මේ ටෙලි නාට්‍යය තුළින් කියා පානවා. විශේෂයෙන්ම අපේ කොහොඹා කංකාරිය වගේ සාම්ප්‍රදායික නැටුම් විධි ආදිය අද අපිට දකින්නත් නැ. ඉතින් ඒ ආශි‍්‍රත වැඩ කරගෙන යන ගුරුන්නාන්සේ කෙනෙක් වටා තමා මේ කතාව දිව යන්නේ.


ඔබ එහි රඟපාන චරිතය ගැන කිව්වොත්?


ගුරුන්නාන්සේ අප්පච්චිගේ ලොකු දුව මේ පවුලේ දුවලම පස්දෙනෙක් ඉන්නේ. මේ අයගෙන් වැඩිමලා වන වසුන්දරා ලෙස තමයි මම රඟපාන්නේ. වසුන්දරා රජයේ පාසලක නැටුම් ගුරුවරියක්. මට තව බාල නංගිලා හතර දෙනෙක් ඉන්නවා. ඔවුන් ඔවුන්ගේ ලෝකවල තමා ජීවත් වෙන්නේ. මම ඊට වඩා වෙනස් ටිකක් අමුතු විදිහට හිතන පතන සැර පරුෂ කෙනෙක්. හැබැයි අපි පවුලක් විදිහට ප්‍රශ්නයක් ඇති වන ඕනෑම අවස්ථාවක දී එකට එකතුවෙලා සමඟියෙන් සමදානයෙන් ඒවාට මුහුණ දෙමින් විසඳුම් සොයා ගන්නවා.


 මෙහි පසුබිම් රූගත කිරීම් එහෙම කරන්නේ කොහෙද?


කළුතර, බලංගොඩ යන ප්‍රදේශවල. කළුතර ප්‍රදේශයේ තමයි අපේ ඒ ගැමි මහ ගෙදර එහෙම පිහිටලා තියෙන්නේ. ගුරුන්නාන්සේ අප්පච්චිගේ ඒ ගෙදර කටු මැටි ගහලා මේ වෙනුවෙන්ම හදපු එකක්. ඒ අවට පසුබිම් පරිසරය ඒ විදිහටම තියෙනවා හරිම සුන්දරයි. මම ඉතා කැමැත්තෙන් තමයි මේ පරිසරයත් එක්ක වැඩේට එකතු වෙන්නේ. කලා අධ්‍යක්ෂක මෙන්ම නිෂ්පාදක කණ්ඩායමේ සියලු දෙනාගෙන්ම මට එහිදී ලොකු සහයෝගයක් ලැබෙනවා.


 පානාමංකඩ රූගත කිරීම්වලදී අමතක නොවෙන දේවල් එහෙමත් සිදුවෙලා ඇතිනේද?


ටෙලි නාට්‍යයේ හැටියට ගුරුන්නාන්සේ අප්පච්චිගේ අපි පදිංචි වෙලා ඉන්න ගෙදර කුකුල්ලු, එළුවො එහෙමත් ඇති කරනවා. ඉතින් ඒ සඳහා අවශ්‍ය වන ඒ සත්තු නිෂ්පාදන අංශයෙන් එතැනට ගෙනවිත් තිබුණා. ඒ සතුන්ගේ කකුල් ලණුවලින් ගැට ගහලා තමයි තිබුණේ. මම සතුන්ට වැඩි ආදරයක් කැමැත්තක් දක්වනවා.


ඉතිං මට එදා ඒ සත්තු දිහා බලාගෙන ඉන්න බැරිව ලණුවලින් ගැට ගහලා හිටපු එළුවෙක් ලෙහලා දැම්මා. බලද්දි මෙන්න එයා දුවනවා. මමත් අතෑරියේ නැ පිටි පස්සෙන්ම දුවගෙන ගිහිල්ලා ඌව අල්ලාගෙන ඇදගෙන ආවා. ඒ වෙලාවෙ මං හිතුවේ නිෂ්පාදක කණ්ඩායමේ අය මට බණී කියලා බැඳලා හිටපු සතෙක් ඒ විදියට ලෙහපු එකට නමුත් එහෙම වුණේ නෑ.තව දෙයක් තියෙනවා කියන්න. මේ ටෙලි නාට්‍යයේ වසුන්දරා කියන චරිතයට මාව ගන්න එපා වැඩක් නෑ ගත්තට කියලා මගේ ක්ෂේත්‍රයේම අය කියලා තියෙනවා. නමුත් අධ්‍යක්ෂවරයා ප්‍රමුඛ නිෂ්පාදක කණ්ඩායම ඒවාට ඇහුම්කන් නොදී මේ ටෙලි නාට්‍යය සඳහා මාව තෝරා ගත්තා. ඇත්තටම ගොඩක් සතුටුයි. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා මට ඒ වගේ චරිතයක් රඟපාන්න මේ වගේ නිර්මාණයක අවස්ථාව ලබා දුන්නු එක ගැන. මම හිතනවා මගේ ඒ චරිතය වෙනුවෙන් මං මට හැකි උපරිමයෙන් සාධාරණත්වයක් ඉටු කරනවා කියලා.


වසර ගණනාවක අත්දැකීම් ලබා ඇති ඔබ රංගනයෙන් ඔබ්බට ගොස් යමක් කරන්න අදහසක් නැද්ද?


ඔබ ඔය අහන්නේ මම නිෂ්පාදනය වගේ පැත්තකට යොමු වෙන්නෙ නැද්ද කියලනේ. ඇත්තටම මං කියන්න ඕනේ අද කලා ක්ෂේත්‍රය ගැන යමක්. අපි හොඳ නිර්මාණයක් වියදම් කරලා කළාම එයට නිසි වටිනාකමක් ලැබෙන්නේ නැ. උදාහරණයක් ලෙස රනිල් කුලසිංහ මහතාගේ අධ්‍යක්ෂණයෙන් ස්වර්ණවාහිනියෙන් යන මේ පානාමංකඩ ටෙලි නාට්‍යය ගමු. ඒක නිෂ්පාදනයට ගිය වියදම අතිවිශාලයි. කිසිදු අඩුපාඩුවක් නැතිව ඒ නිර්මාණයේ හැම පැත්තක් ගැනම හිතලා අවශ්‍ය සියලූ පහසුකම් ද සපයා ගනිමින් වියදම් කරලා වැඩේ හොඳටම කරලා තියෙනවා. හැබැයි කිසියම් රූපවාහිනි නාලිකාවකට එය විකාශනය කිරීම සඳහා ලබා දුන්නාම ඒ වෙනුවෙන් ගිය නිෂ්පාදන වියදමවත් පියවා ගන්න බැරි තත්ත්වයක් තමයි අද තියෙන්නේ. මං හොඳටම දන්නවා මේ නිර්මාණයටත් එහෙම වුණා. නමුත් එහි අධ්‍යක්ෂ නිෂ්පාදක ප්‍රමුඛ ඔවුන් මෙයින් ලාභයක් ලබා ගන්නම බලාපොරොත්තුවක් තිබුණේ නැ කියලත් මම දන්නවා. ඉතින් ඒ රූපවාහිනි නාලිකාවෙන් නිසි වටිනාකමක් ගෙවන්න ඕනේ. ඒ වගේම අද රූපවාහිනී නාලිකා වැඩි හරියක්ම ඔවුන්ම ටෙලිනාට්‍ය නිෂ්පාදනයට යොමු වෙලා තියෙනවා. ඒ තුළ එම ආයතන නිර්මාණයකට කරන ඇඟිලි ගැසීම් බල කිරීම් වගේ දේවල් කරනවා වැඩියි. මේ වගේ තත්වයන් වෙනස් වෙනවා නම් හොඳයි. එවිට ඉස්සරහට හොද කාලයක් හැමෝටම උදාවුණාම මමත් නිෂ්පාදනය වගේ පැත්තකින් යමක් කරන්න හිතාගෙන ඉන්නවා අපි බලමු ඉස්සරහට.


 ඇයි එහෙම වෙන්නේ මෙයට විසඳුම් ලෙස ඔබ කරන යෝජනාවක් කුමක්ද?


මං කියන්නේ ටෙලි නාට්‍ය නිෂ්පාදනයට රූපවාහිනී නාලිකා මූලිකවීම තමයි ඊට ප්‍රධානතම හේතුව දැන් බලන්න එක නාලිකාවක ඉස්කෝලේ ගැන කතාවක් යනවා නම් අනිත් නාලිකා හැම එකකම වගේ එවැනිම නාට්‍යයක් හදලා පේ‍්‍රක්ෂකයින්ට පෙන්වනවා. එහෙම නොවෙන්න මීට කලකට පෙර තිබුණු ආකාරයට යම් යම් නිෂ්පාදන ආයතනවල මූලිකත්වයෙන් ටෙලි නාට්‍යය නිෂ්පාදනය කරලා රූපවාහිනී නාලිකාවලට ලබාදෙනවා නම් වඩා හොඳයි. අද වනවිට හැම රූපවාහිනී නාලිකාවක්ම පාහේ ටෙලිනාට්‍ය නිෂ්පාදනයට යොමු වෙලා. එහෙම වුණාම මං මුලින් කීවා වගේ ඒ නිර්මාණයට එයට දායකවන ශිල්පීන් ශිල්පිනියන්ටද කරන බලකිරීම ඇඟිලි ගැසීම වැනි කටයුතු සිදු කරනවා වැඩියි. අපි එහෙම තත්ත්වයක් කලාකරුවන් ලෙස බලාපොරොත්තු වෙන්නේ නැ. ඒකයි මං කියන්නේ පෙර තිබූ පරිදිම බාහිර නිෂ්පාදන ආයතන හරහා මේ ටෙලි නාට්‍ය නිර්මාණය නිෂ්පාදනය වැනි කටයුතු වෙනවා නම් වඩා හොඳයි කියලා.


 මේ දවස්වල ඔබ රඟපාන ස්වර්ණවාහිනියෙන් විකාශය වන පානාමංකඩ ටෙලිනාට්‍යයටත් එහෙම වුණාද ?


මම දන්නා තරමින් ඒ ටෙලි නාට්‍යය නිෂ්පාදනයේ දී නම් එහෙම නාලිකාවෙන් බලපෑම් ආවේ නෑ. නමුත් නිසි වටිනාකමක් ගෙවීමක් ඒකට ලැබිලා නැ කියලත් මම දන්නවා. ඉතින් ඒ නිසා ඒ ටෙලිනාට්‍ය නිෂ්පාදනයට ගිය වියදමවත් පියවා ගන්න බැරිවුණ බව මට දැන ගන්න ලැබුණා.


 අවසාන වශයෙන් ඔබට යමක් කියන්න ඇති නේද?


මම බය නැතුව ඕන දෙයක් කෙලින් කතා කරන්න කැමති කෙනෙක්. අපේ ටෙලි නාට්‍ය නිෂ්පාදනයේත් සිනමා කර්මාන්තයේත් ඇති මෙවැනි ගැටලු විසඳලා ඒ අය හැමෝටම හොඳීන් කටයුතු කරන්න පුළුවන් යහපත් කාලයක් උදා වෙන්න ඕනේ. ඒ වගේම හොඳ සාර්ථක නිර්මාණ කිරීමටත් ඒවාට නිසි වටිනාකමක් ඇගයීමක් ලැබේවායි කියලත් මං ප්‍රාර්ථනා කරනවා. අපේ රටේත් ලෝකයේත් මේ පවතින කොරෝනා අවදානම ඉක්මනින් තුරන්ව ගොස් සියලු දෙනාටම නිරෝගී සුව පිරි ආර්ථික අතින් සවිමත් කාලයක් උදා වේවා.


හේමන්ත බණ්ඩාර





Previous Post Next Post