මහේෂ් රත්සර මද්දුමආරච්චි තිර රචනා කරන, ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණය කරන මේ දිනවල විකාශනය වන හිත ළඟ හිනැහුණා ටෙලිනාට්‍යයේ ආදරණීය චරිතයක් තමයි විදුරවි හංසජ කුඹුකගේ.
කොහොමද විදුරවි?
හොඳයි. ගොඩක් හොඳින් පරිස්සමින් කාලය ගත කරනවා.
අපිට ඔබ ගැන විස්තර ටිකක් කිව්වොත්?
මම විදුරවි හංසජ කුඹුකගේ. මගේ ගම විජේරාම. මගේ පවුලේ ඉන්නෙ අම්මයි තාත්තයි අක්කයි මමයි. මගේ අම්මා භරත නර්තන ගුරුවරියක්. තාත්තා ශබ්ද පරිපාලකවරයෙක්. මගේ අම්මා ආලෝකා කුඹුකගේ. තාත්තාගේ නම මුදිත කුඹුකගේ.
විදුරවි පාසල් අධ්‍යාපනය ලැබුවේ කොහෙන්ද?
මම පාසල් දෙකක අධ්‍යාපනය හැදෑරුවා. මුලින්ම විදුර විදුහලෙනුත් පසුව කොළඹ රාජකීය විදුහලෙනුත් අධ්‍යාපනය හැදෑරුවා. පාසලේදි මම ඒ තරම් දඟ චරිතයක් නෙමෙයි. අධ්‍යාපනයට අමතරව මම ක්‍රීඩාවලටත් සම්බන්ධ වුණා. පාසල් අධ්‍යාපනයෙන් පසුව මම හරිත පෞද්ගලික විශ්වවිද්‍යාලයට ඇතුළත්වෙලා උසස් අධ්‍යාපනය හදාරා මගේ උපාධිය ලබාගත්තා.
පුංචි කාලේ හීනය වුණේ කවුරු වෙන්නද?
මගේ අම්මා භරත නර්තන ගුරුවරියක්. තාත්තා ශබ්ද පරිපාලකවරයෙක්. ඒ නිසා ඒ දෙන්නම කලාවට සම්බන්ධකම් තියෙන දෙන්නෙක්. පුංචි කාලේ ඉඳන් මම දැක්කෙ කලාවේ නියැලුණු ඒ දෙන්නවයි. ඒ නිසා මම පුංචි කාලේ ඉඳන්ම කලාවට සම්බන්ධ වෙන්න ආසා කළා. රඟපාන්න ආසා කළා.
පුංචි කාලේ ඉඳන් කලාවට සම්බන්ධ වෙන්න ආසා කරපු ඔබගේ රංගනයට එකතුවෙන හැරවුම සිදුවුණේ කොතැනින්ද?
2018 අවුරුද්දේ මම හිරු අවුරුදු කුමරා තරගයට ඉදිරිපත් වුණා. ඒ තරගයෙන් අවසන් තිස්දෙනා අතරට මාව තේරුණා. ඒ වගේම කුසලතාපූර්ණ කුමරා කියන ජයග්‍රහණයත් මම ලබාගත්තා. ඒ තරගයෙන් පසුව මට ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලිනාට්‍යයේ දේවදත්ත චරිතය රඟපාන්න අවස්ථාව ලැබුණා. එය අධ්‍යක්ෂණය කළේ අකිල අබේරත්න. ප්‍රභාත් රෝෂන් සහ නිමන්ති පෝරගේ නිෂ්පාදනය කළා. ඒක මගේ ජීවිතේ හැරවුම කිව්වොත් වරදක් නැහැ.
අද වෙද්දි හිත ළඟ හිනැහුණා ටෙලිනාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
හිත ළඟ හිනැහුණා ටෙලිනාට්‍යයේ මම විශාල්ගේ චරිතයයි රඟපාන්නෙ. අද වෙද්දි විශාල්ට ලැබෙන ප්‍රතිචාර ඉතාම හොඳයි. තාමත් මගේ අඩුපාඩු ඇති. හදාගන්න බොහෝ දේවල් තියෙනවා. ඉතා ඉක්මනින්ම ඒ ලැබෙන උපදෙස් හා මඟපෙන්වීම් යටතේ අඩුපාඩු හදාගනිමින් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.
මේ වෙද්දි සැබෑ ජීවිතේ විදුරවි පෙම්වතෙක්ද?
නැහැ. මේ වෙද්දිනම් මම පෙම්වතෙක් නෙමෙයි.
ප්‍රථම ප්‍රේමය අමතක කරන්න බැහැනෙ?
බැහැ. මගේ ප්‍රථම ප්‍රේමය පටන් ගත්තෙ මම පාසල් යන කාලෙදියි. පාසල් යන කාලේ නිසා අපිට මුණගැහෙන්න එහෙම ලොකු අවස්ථාවක් ලැබුණේ නැහැ. ගෙවල්වලට හොරා තිබුණු ප්‍රේමයක් නිසා හරිම බයෙන්, හරිම පරිස්සමට කරගෙන ගිය ප්‍රේමයක්. අපි පන්ති යද්දි මුණගැහුණා. හොරෙන් කතා කළා. කාලයකට පස්සෙ ඒ ප්‍රථම ප්‍රේමයට තිත තියන්න සිදු වුණා.
හිතට දැනුණු ප්‍රේමයක් තිබුණද?
ඔව්.. එහෙම ආදරණීය ප්‍රේමයක් තිබුණා. ඒ විශ්වවිද්‍යාලයේ යන කාලෙදි ඇතිවුණු ප්‍රේමයක්. ඒක හිතට සෑහෙන්න දැනුණු ප්‍රේමයක්. අද ඒ ප්‍රේමයත් මගේ ළඟ නැහැ.
විශාල් සහ විදුරවි අතර සමානකම් තියෙනවද?
ඔව්.. ආදරේදි විශාල් සහ විදුරවි ටිකක් සමානයි. මම ආදරයට ගොඩක් ආදරය කරන කෙනෙක්. කෙනෙක් මට දැනුණොත් ඒ කෙනාව ලබාගන්න මම උත්සාහ කරනවා. පොඩ්ඩක් දඟයි. එක වගේ යන චරිත දෙකක් වුණත් පොඩි වෙනස්කම් කිහිපයකුත් තියෙනවා.
විදුරවිගේ ඊළඟ බලාපොරොත්තුව මොකක්ද?
මට සිනමාවට පිවිසීමට ආසාවක්, බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම ලැබෙන චරිත පුළුවන් උපරිමයෙන්ම කරමින් මේ කලා ක්ෂේත්‍රයේ හොඳ ගමනක් යන්න බලාපොරොත්තුවක් තියෙනවා.