රංගන ප්‍රතිභාවේ නිශ්චිත සීමාවක් නැවතීමක් නැති බව සනාථ කළ බොහොමයක් දෙනා සදාදරණීය තරු ලෙස කලාඹරේ දිදුලනා බව රහසක් නොවෙයි. එකී මාවතෙහි පරිස්සමෙන් අඩි තබා යන තුරුණු රංගන ශිල්පීන් අතර ඔහුගේ නාමයද කියැවෙන්නේ නිතැතිනි. යථාර්ථවාදී චරිත, සටන් භූමිකා වගේම ප්‍රහසනය ආදී ක්‍ෂේත්‍රයන් සියුම්ව සංස්පර්ශ කිරීමේ සමතකු වූ ඔහු අපූරු කතා මවන්නෙකි. ඔහු නමින් සාරංග දිසාසේකරයි.
කොහොමද මේ දවස්වල ජීවිතේ?
ගොඩක් සතුටින් සාමාන්‍ය විධියට කාලය ගත කරනවා. කලා කටයුතු වත්ම පවුලේ වැඩකටයුතුත් සමබරව කරමින් කාලය ගෙවනවා.
කලා කටයුතුවල විස්තර කොහොමද?
මේ දවස්වල හිතුවක්කාරී, පාර වසා ඇත ටෙලි නාට්‍යවල රූගත කිරීම් සමඟයි කාලය ගත වෙන්නේ.
කලා පවුලක හැදී වැඩීම ඔබගේ කලා ගමනට ආශීර්වාදයක් වුණේ කොහොමද?
කුඩා කාලයේ පටන් කලාකරුවන් ඇසුරේ හැදී වැඩීම තුළ වත්ම නිවේදන කාර්ය තුළින් හඬ පාලනය කිරීමට ලැබූ පුහුණුව තුළ රංගනය කාර්යය ස්පර්ශ කිරීමට පූර්ව පුහුණුවීමක් ලැබුවා. එසේ පවුලෙන් ලැබූ අත්වැල හා ආභාෂය මගේ කලා දිවියට ආශීර්වාදයක් වුණා යැයි කීවොත් නිවැරැදියි.
චරිතාංග නළු කුලයට එසවීමට ඔබ කළ අභ්‍යාසයන් මොනවාද?
ක්‍ෂේත්‍රයට පැමිණි මුල් අවධියේදී දිගින් දිගටම රඟපෑමට අවස්ථාව ලැබුණේ පෙම්වතාගේ භූමිකාවයි. එයින් ජනප්‍රිය තලයට එසවීමට අවකාශය ලැබුණත් පැවැත්මක් ගොඩනඟා ගැනීම අපහසුයි. මට චරිතාංග තලයට එසැවීමට සුවිශාල සහයෝගයක් ලබා දුන්නේ ශිවගුරුනාදන් ජයප්‍රකාශ් මහත්තයයි. ඔහු වරක් මට එවැනි අභියෝගාත්මක චරිතයකට ආරාධනා කර එවන් චරිත කිරීමට රුචිකත්වයක් තිබෙනවාද යැයි ඇසුවා. මම එකී අභියෝගය භාරගත්තා. චරිතාංග ශිල්පියෙක් ලෙස එසැවීමට එකී චරිත තුළින් අපගේ උපරිමය පෙන්විය යුතුයි. සමාජයේ අපට එදිනෙදා ඇස ගැටෙන චරිත අධ්‍යයනය ඒ සඳහා අත්‍යවශ්‍යයි.
ඔබ පවසන්නේ රංගන ශිල්පියා සමාජ ගවේෂකයකු විය යුතුයි කියාද?
ඔව්. අනිවාර්යයෙන්ම සමාජ ගවේෂකයෙක් වගේම ඔහු හොඳ සමාජ නිරීක්ෂකයෙක් විය යුතුයි. අප එදිනෙදා දකින, මුණගැසෙන චරිතවල යම් යම් ගති ලක්ෂණ, ඔවුන්ගේ සිතුම් පැතුම් අපට ගෝචර නොවෙනවා නම් එවන් වූ චරිතයකට අනුගත වීමට නොහැකියි. ඒ නිසා රංගන ශිල්පීන්, සමාජ ගවේෂකයන් වීම වෘත්තීය මට්ටමක් ගොඩනගා ගැනීමේදී වඩාත් වැදගත් සාධකයක් කීවොත් නිවැරැදියි.
බොහොමයක් නවකයන් අතනොගසන ප්‍රහසන ක්‍ෂේත්‍රය තුළත් ඔබ කැපී පෙනෙනවා. එකී කාර්යය ඔබට අභියෝගයක් වුණේ නැද්ද?
ප්‍රහසනය සඳහා ප්‍රබල තිරපිටපතක් අවැසියි වගේම අදාළ මොහොතේත්තු වචනය කටට ගලාගෙන එන අපූරු හැකියාවකුත් තිබිය යුතුයි. බොහෝ විට මිතුරු සමාගම්වලදී වචනවලින් කරන හරඹවලට මම ප්‍රසිද්ධයි. එක් එක් අවස්ථාවට ගැළපෙන විධියට වචන මෙහෙයවන නිසා බොහෝ දෙනෙක් පවසනවා මම ප්‍රහසන කාර්යය තුළ නියැළුණා ප්‍රමාණවත් නැහැ කියලත්. ඒ හැකියාව මට උපරිමයෙන් තියෙන නිසා ලැබෙන චරිතවලට උපරිම සාධාරණයක් ඉටු කිරීමට මට හැකි වුණා.
නාළිකා ප්‍රධානින්ගේ රුචිකත්වය, අධ්‍යක්ෂ භූමිකාවේ රුචිකත්වය අභිභවා යෑමේ තත්වය තුළ ක්‍ෂේත්‍රය තුළ පැවැත්මක් ගොඩනගා ගන්නට අසීරුයි නේද?
ඔව්. එය යථාර්ථවාදී තත්වයක්. නමුත් එහි වැඩි බලපෑමක් එල්ල වන්නේ නවකයන්ටයි. අප ක්‍ෂේත්‍රය තුළ නමක් ගොඩනඟාගෙන තිබෙන නිසා අදහස් හුවමාරු කරගෙන එවන් තත්ත්වයක් සමථයකට පත්කරගත හැකියි. නමුත් නවකයන් එවන් අවස්ථාවලදී අසරණ වෙනවා. ඒ නිසා එකී සියලු රුචිකත්වයන්ට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හිස නැවීමට සිදුවෙනවා.
සමාජ මාධ්‍යයන් තුළින් එල්ල කරන විවේචනවලට ඔබත් නිර්දය ලෙස වාග් ප්‍රහාර එල්ල කරනවා. එවැනි දෑ තුළින් එකී රැල්ල මැඩ පවත්වන්න පුළුවන් කියා ඔබ සිතනවාද?
සමාජ මාධ්‍යයන් තුළ තිබෙන මඩ ගැසීමේ රැල්ල නැවැත්වීමට මම උත්සාහ දරන්නේ නැහැ. නමුත් ඔවුන් හා ඔවුන්ගේ පවුලේ කෙනකුට එවන් තත්වයක් පැන නැගුණහොත් දැනෙන හැඟීම ඔවුන්ටත් ඒත්තු ගැන්වීමයි මගේ පරමාර්ථය. මම දකින විධියට මිනිසුන් තමන්ගේ ජීවිත තුළ තෘප්තිමත් නැහැ වගේම තවත් කෙනකුගේ සතුටකට හෘදයාංගමව සතුටු වීමට තරම් ඔවුන් පරිණත තත්ත්වයක නැහැ. බොහෝ විට එවන් විවේචන එල්ල කරන බොහොමයක් දෙනාගේ ප්‍රොෆයිල්වල තිබෙන්නේ ආගම දහමට අදාළ කරුණු කාරණා. නමුත් ඔවුන්ගේ ජීවිතවල එකී ගුණධර්ම නොමැතිවීම විශාල ගැටලුවක්. මම හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරන්නේ නැහැ. නමුත් ඇතැම් මිනිසුන් සමාජයට පෙන්වන ප්‍රතිරූපයට වඩා ඔවුන්ගේ ඇතුළාන්තය ගොඩක් දරුණු බව පෙන්වන්න මට අවශ්‍ය වුණා.
පුංචි සුරංගනාවියකගේ පියකු වීමත් සමඟ සිතට දැනෙන වගකීම කෙබඳුද?
ඒක වචනයෙන් විස්තර කරන්න අපහසු හැඟීමක්. දැන් තවත් ජිවිතයක් වෙනුවෙන් හුස්ම ගන්න පටන් අරන් තිබෙන්නේ. තාත්තා කෙනකුගේ වගකීම වගේම ජීවිතයට අලුත් බලාපොරොත්තු පෙළක් ඇයත් සමග එක්වුණා. ඒක හරි අපූරු කාලයක් වගේම අමතක සටහන් ගොඩක් එක් කරන කාලයක් වේවි කියා මම සිතනවා.
පුංචි දුවගේ විස්තර කියන්න කැමතිද?
අපේ දුවට මාස 4යි. තාම නමක් අපි දෙන්නා හිතලා නැහැ. ඉදිරියේදී විස්තර කියන්නම්.
නිෂ්පාදනයට, අධ්‍යක්ෂණයට අතගසන්න බලාපොරොත්තුවක් තිබෙනවාද?
ඔව්. අධ්‍යක්ෂණ කාර්යයේ නියැළීමට ලොකු කැමැත්තක් තිබෙනවා. නමුත් නිර්මාණකරුවෙක්ට නිර්මාණයේ ගුණාත්මක බව ගැන හිතනවට වඩා ක්‍ෂේත්‍රයේ ගැටලු පිළිබඳව හිතන්න සිද්ධ වෙන කාලවකවානුවක එවැන්නකට යොමුවීම අසීරුයි. ඒ නිසා ඉදිරියේදී එකී කාර්යයට අත ගැසීමට බලාපොරොත්තු වෙනවා.
විශ්මි ජයනිකා