ඒ Call ආවේ සිමෙන්ති ඇණ ගැන අහලා - චමීර




දාම් ටෙලිනාට්‍ය හරහා කාගෙත් ආදරය දිනාගත් කෙනෙක් තමයි චමීර කියන්නේ.. ඉතිං දැන් දාම් ටෙලිනාට්‍ය පසුගිය දිනක අවසන් වුනා... දැන් චමීර මේ දවස් වල මොකද කරන්නේ ඒ වගේම ඔහුුු මේ දවස් වල අලුත් වැඩකටයුතු මොනවාද කියන ඒක ගැන ඔහු පුවත්පතක් සමඟින් මෙලෙස පවසා තිබුනා.


දාම් සෙල්ලමත් ඉවර වුණා. දැන් කුකුල් පොරයක් පටන් අරන්. මම කෙවින් කියන්නද? චමීර කියන්නද? ආදි කියන්නද?

ඔව්.. දාම් සෙල්ලම් සියයක් කරලා අවසන් වුණා. දාම් සෙල්ලමේ හිටපු කෙවින්ට බොහෝ දෙනා ආදරය කළා. කෙවින් නිසා මටත් බොහෝ දෙනා ආදරය කළා. දාම් ඉතා ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වුණා. මගේ සැබෑ නම චමීර. හැබැයි කෙවින්ටත් මම හරි ආදරෙයි. ඒ නිසා කෙවින් කියලා කතා කළත් කමක් නැහැ. මම ඒ නමටත් ආසයි දැන් වලවෙට්ටුවා පටන් අරන්. ඒකේ ආදිටත් මිනිස්සු කැමති වේවි.


ආදි කියන්නේ මොනවගේ කොල්ලෙක්ටද?

ආදි කියන්නේ ටිකක් රස්තියාදුකාර කොල්ලෙක්ට. වලවෙට්ටුවා කියන්නේත් රස්තියාදු ගහන කොල්ලෝ කියලයි. ඉතින් ගමක රස්තියාදු ගහන කොල්ලෙක්ගේ චරිතයක් තමයි මට කරන්න තියෙන්නේ. ඒක අධ්‍යක්ෂණය කරන්නේ රනිල් කුලසිංහයි. නිෂ්පාදනය චමින්ද ගුණතිලකයි. ආදි කුකුල් පොර කොටවනවා. කබඩි ගහනවා. ඒ වගේ ආතල් එකේ වැඩකරන ගමනුත් ගමේ කෙල්ලෙක්ට ආදරේත් කරනවා. මේකටත් මම දායක වුණේ හරිම කැමැත්තෙන්. රනිල් අයියා ඉතා දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්. ඔහුගේ නිර්මාණයකට දායක වෙන්න ලැබීම ගැන මම ගොඩාක් සතුටු වෙනවා. රනිල් අයියා වගේම වලවෙට්ටුවා මුළු කණ්ඩායමෙන්ම මට ලොකු සහයෝගයක් ලැබෙනවා. මේ නාට්‍ය රූගත කිරීම් සිදුවන්නේ පොල්ගහවෙලයි.


චමීර නිර්මාණ බාරගන්නෙ යම් තෝරාබේරා ගැනීමකට යටත්වයි. ලැබෙන හැම චරිතයක්ම බාරගන්නෙ නැහැ එහෙමද... ?

ඔව්... ඒක මම කරන්නෙ ලොකුකමකටනම් නෙවේ. මම නිර්මාණයකට දායක වෙනවානම් ඒ මම කරන චරිතයට උපරිමයෙන් සාධාරණයක් ලබාදිය යුතු වෙනවා. කරන නිර්මාණ ගණන වැඩිකර ගන්නවටත් වැඩිය මම මිනිසුන්ගේ මතකයේ හිටින චරිත කරන්න ආසයි. ඒක ප්‍රධාන චරිතයද, අනු චරිතයක්ද, සුළු චරිතයක්ද කියලා මට අදාළ වෙන්නෙ නැහැ. නිර්මාණයකට ආරාධනාවක් ලැබුණාම මම මුලින්ම ඒ පිටපත කියවලා බලනවා. මට ඒ චරිතය කරන්න පුළුවන්ද බැරිද කියලා මම මුලින්ම හිතන්න ඕනෙ. ඒ චරිතය කරන්න පුළුවන්ද කියන ආත්ම විශ්වාසය තමන් තුළ තියෙන්න ඕනෙ. ඒ නිසා මට ඒ චරිතයට සාධාරණයක් කරන්න පුළුවන්නම් මම ඒ චරිතය බාරගන්නවා. එකිනෙකට වෙනස් චරිත කරන්න මම හරි ආසයි.


දාම් නිර්මාණය කරද්දි නිතරම චමීරට දුරකථන ඇමතුම් ආවේ ඇයි? ඒ නිසා රූගත කිරීම්වලට බාධා වුණා කියලයි ආරංචිය?

අනේ.. මෙහෙමයි. එහෙම චූටි චූටි බාධාවල්නම් ආවා. හැබැයි ඒක ධනුෂ්ක අයියා ඇතුළු දාම් කණ්ඩායම දැනගෙන හිටියා. ඒ නිසා කොච්චර බාධා තිබුණත් මට ඒ ඇමතුම්වලට කතා කරන්න ධනුෂ්ක අයියා පොඩි අවසරයක් ලබා දුන්නා.


ආරංචි හැටියට වැදගත්ම කෙනෙක් තමයි ඒ ඇමතුම් ලබා දුන්නෙ. ගෑනු ළමයෙක් නේද?

අනේ නැහැ. මේ දවස්වල මම කඩවත මගේ ගෙදර හදනවා. ඉතින් ඒ වැඩවලදි අවශ්‍ය කරන දේවල් ගැන කියලා තමයි හෙඩ් බාස් නිතරම මට කතා කරන්නෙ. සිමෙන්නි ගැන, ඇණ ගැන අහලා නිතරම කෝල් කරනවා. ඒකට තමයි කට්ටිය මට විහිළු කරන්නෙ. ධනුෂ්ක අයියාත් ඒ ගැන දන්නවා. එක දවසක් රූගත කිරීම් අතරතුරේදි කෝල් කරලා මහත්තයා සිමෙන්ති තාම ආවේ නැහැ* කියලා ඇහුවා. මොනවා කරන්නද? ෂේප් එකේ ඒවාට උත්තර දීලා ෂූටින් ටිකත් කරගෙන ගියා. දාම් අපි එක පවුලක් වගේ වැඩ කළා.



චමීර.. මේ හැබෑවෙලා තියෙන්නෙ පුංචි කාලෙ දැකපු හීනයක්ද?

ඔව්.. මම සාමාන්‍ය පෙළ ඉගෙනගන්න කාලෙදි තමයි මේ හීනය මට ඇතිවුණේ. ඊටපස්සෙ සිරස නාලිකාවේ තරුමංසල වැඩසටහනට සහභාගි වුණා. ඊටපස්සෙ මෝස්තර නිරූපණයට සම්බන්ධ වුණා. හැබැයි මගේ උණ තිබුණේ රංගනයට සම්බන්ධ වෙන්නම තමයි.


දාම් ටෙලිනාට්‍යයේ කෙවින් වගේම රන්තිරිවැව ටෙලිනාට්‍යයේ දාසගේ චරිතයටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. මේ ගමන එන්න කට්ටක් කෑවද?

ඔව්.. ලොකු කට්ටක් කෑවා. ජීවිතේම කියන්නෙ කට්ටක්. මේ කට්ට කෑවොත් තමයි අපිට යමක් දිනාගන්න පුළුවන් වෙන්නෙ. චරිතයක් කරද්දි ඒ චරිතය උඩින් අතගාලා කරන්න මම කැමති නැහැ. ඒ චරිතයට උපරිම සාධාරණයක් කරන්න මට ඕනෙ. සමහර වෙලාවට එක ටේක් එකකින් මම සෑහීමකට පත්වෙන්නෙ නැතිනම් මමම කියලා අයියා අපි තව ටේක් එකක් ගමුද?* කියලා තව පාරකට උත්සාහ කරලා බලනවා. රන්තිරිවැව දාස චරිතයත් එහෙමයි. ඒකටත් මම ගොඩක් හොඳ සාධාරණයක් ලබා දුන්නා කියලා බොහෝ දෙනා මට කියලා තියෙනවා. කෙවින්ටත් කවුරුවත් බැන්නෙ නැහැ.


තාමත් නොලැබුණු, කරන්න ආසාවෙන් ඉන්න චරිතයක් තියෙනවද?

ඔව්.. මම හමුදා නිලධාරියෙකුගේ චරිතයක් කරන්න හරිම ආසාවෙන් ඉන්නවා. මම හමුදා පිස්සෙක්. ඉතින් හමුදා නිලධාරියෙක්ගෙ චරිතයක් ආවොත් මම ඒක උපරිමයෙන්ම කරන්න උත්සාහ කරනවා. එක වතාවක් එහෙම අවස්ථාවක් ලැබුණා. නමුත් වෙනත් නිර්මාණයක් නිසා කොණ්ඩය කපන්න බැරිවීම නිසා ඒක කරන්න පුළුවන් වුණේ නැහැ. ඉස්සරහට එවැනි චරිතයක් ලැබුණොත් මම ඒ හීනයත් හැබෑකර ගන්නවා.


චමීර පාසල් අධ්‍යාපනය ලැබුවේ?

මම ඉගෙන ගත්තෙ කොළඹ වෙස්ලි විදුහලේ. පාසලේදි මම බෞද්ධ සංගමේ සභාපති තනතුර දැරුවා. විවාද කණ්ඩායමේ හිටියා. පාසලේ බාහිර ක්‍රියාකාරකම් බොහොමයකට සහභාගි වුණා. නමුත් මම දහම් පාසලේදි තමයි මුල්ම වේදිකා නාට්‍යයක රඟපෑවේ. ඒක තමයි මුල්ම රංගනය.


විලාසිතාවලට කැමතියි. එහෙම නේද?

ඔව්. මම විලාසිතාවලට කැමතියි. මට ගැලපෙන විලාසිතා මම කරනවා. ලස්සනට ඉන්න ආසයි. ව්‍යායාම්වලත් නිරත වෙනවා. ජිම් යනවා. පොඩ්ඩක් ඇඟ ගැන වැඩිපුර සැලකිලිමත් වෙනවා.


ඇත්ත කියන්න.. ආරංචියේ හැටියට මේ ක්ෂේත්‍රයේම කෙනෙක් චමීරගේ සැබෑ ජීවිතේ පෙම්වතිය කියලයි ආරංචිය?

නැහැ. මේ වෙනකොටනම් මම පෙම්වතෙක් නෙමෙයි. ඒක තමයි ඇත්ත. මගේ මුල්ම ප්‍රේමය දහම් පාසලේ ප්‍රේමයක්. ඒක හොඳයි. ඒ දවස්වල සුන්දරයි. ඒ ප්‍රේමය ඔළුවේ තියාගෙන ඉන්නෙ නැහැ. මතක් කළොත් මට මතක් වෙනවා. එවැනි අතීත කතා ඔළුවේ තියාගෙන වර්තමානයේ ජීවත් වෙන්න මම කැමති නැහැ. හැබැයි මට හැමදේම හොඳට මතකයි.


ඊළඟ ඉලක්කය?

ලොකුම ඉලක්කය සිනමාවට අවතීර්ණ වීමයි. බලමු.. කවදාහරි දවසක ඒ ඉලක්කයත් මට ජයගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.







Previous Post Next Post