සුබ සහ යස වේදිකාවට පැය භාගයෙන් පැමිණි ‘ස්නැප්’




එකම අරමුණක් වෙනුවෙන් මහන්සිවෙන කෙනෙකුට විවිධ දේ කරන්නට සිදු වේ. ඒ තමන් ලබාගන්නා දැනුම, පරිචය තමන්ගේ ගමනට පහසුවක් වන හෙයිනි. විටෙක ඔහු වේදීකා පරිපාලකයෙකි. තවත් විටෙක නළුවෙකි. තවත් විටෙක වේශ නිරූපණ ශිල්පියෙකි. කලාව තුළ විවිධ ඉසව් අත පත ගාමින් යන ඔහු නමින් දර්ශන ගයාන් විතානය. සති අන්තයේ ස්වර්ණවාහිනිය ඔස්සේ දිග හැරෙන ‘ස්නැප්’ ටෙලිකතාවේ ප්‍රධාන චරිතයට පණ පොවන ගයාන් ඔහු ෙග් අලුත් විස්තර ගැන ෙමලස පුවත්පතක් සමඟින් පවසා තිබුනා.

 

ගයාන්ට ආදරේ කරන ප්‍රේක්ෂකයෝ කැමති වෙයි ගයාන්‍ගේ පෞද්ගලික තොරතුරු ටිකක් දැන ගන්න?


මගේ ගම කෑගල්ල. මම ඉස්කෝලේ ගියේ කෑගල්ල ශාන්ත මරියා පාසලට. මගේ පවුලේ අම්මා, අප්පච්චි, නංගි ඉන්නවා.


 

ක්ෂේත්‍රයට එන්නේ කොහොමද ගයාන්?


මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 13ක්. මුලින් දුලිප් රත්නායක මගේ ගුරුතුමා එක්ක මම ප්‍රාදේශීය මට්ටමින් නාට්‍යවල කටයුතු කළා. මට 2008 වසරේදී හොඳම නළුවා පළාත් යෞවන සම්මානය හිමිවෙනවා. ඉන්පසුව 2010 වර්ෂයේදී මම කොළඹ එනවා. ඒ චාලක රණසූරියගේ බොක්ස් වෙදීකා නාට්‍යය සමඟ. මම කොළඹට එන පළමු නාට්‍යයෙන්ම මට රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම වේදීකා පරිපාලකට හිමි සම්මානය ලැබෙනවා. එය ලැබුණයින් පසු එතෙක් කර කර සිටි මගෙ රැකියාව අත හැරලා මම පූර්ණකාලීනව කලා කටයුතුවල නිරත වෙනවා. මම උසස්පෙළට වාණිජ විෂයන් කළ නිසා කලාව යන්න තව දුරටත් ඉගෙන ගැනීමට ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසලට එනවා. නාට්‍ය පාසලේ දේශන සඳහා ලංකාවේ ප්‍රවීණ නාට්‍යකරුවන් එනවා. ඒ ඔස්සේ මට ඒ අයගේ නාට්‍යවලටද සහභාගී වෙන්න අවස්ථාව ලැබෙනවා.


 

කොළඹට ආවට පස්සේ වේදීකාව අතහැරියද?


අපෝ නෑ. කොළඹට ආවට පසුව මම සම්බන්ධ වුණා “ජුලියස් සීසර්” නාට්‍යයට. එයටද මට සම්මානයක් ලැබුණා වේදීකා පරිපාලනයට. සුබ සහ යස, මකරට ලොරන්ස්ගෙ මනමාලී වගේ නාට්‍යවලට සම්බන්ධ වුණා.


 

ඔබ වේදීකාවෙන් පිටුපස ඉඳලයි කලාව කරන්නේ?


මෙහෙමයි මට සම්මාන ලැබෙන්නේ වේදීකා පරිපාලනය සඳහා. ඉතින් අලුතින් නිර්මාණයක් ආරම්භ කරන අවස්ථාවල මට ඒ සඳහා තමයි ආරාධනා ලැබෙන්නේ. ඒ නිසා රංගනයට බොහෝ කාලයක් යනකල් මට අවස්ථාව ලැබුණේ නෑ.


 

ඔබත් මණ්ඩි කණ්ඩායමේ සාමාජිකයෙක්. කොහොමද මේ කන්ඩායම ගොඩනැඟෙන්නේ?


අපේ කණ්ඩායමේ හත් දෙනෙක් ඉන්නවා. දවසක් අපේ යාළුවෙක්ගේ ගෙදර තිබුණ පාටියකදි අපි හමුවෙලා ආරම්භ කළ කතාව තමයි අවසානයේ කණ්ඩායමක් විදිහට එකතු වෙන්නේ. අපි සියලුදෙනාම දැන් කාර්යබහුල වෙලා. කලාව තුළ හොඳ ගමනක් යනවා.


 

මණ්ඩි නම හැදෙන විදිහත් හරි අපුරුයි?


ඔව් ඔව් අපේ යාලුවා ශෂීගේ ගෙදර ගියාම අපිව දූපතකට එක්කගෙන ගියා. හරිම ලස්සන තැනක් නිසා අපි ඒ වෙලාවෙම හිතලා නිර්මාණය කරලා පළමුවෙනි වීඩීයෝ එක කළා. එතැනදි තේජානිට හම්බුණා මට්ටියෙක්. ඒ වෙලාවේ තේජානි මට්ටිවලට මණ්ඩි කියලයි කිව්වේ. ඒ නම වැරදුණ එක අපි අපේ කණ්ඩායමට යොදා ගත්තා. ඒ නමින් අපි දිගින් දිගට වැඩ කළා.


 

ඔබත් හඬ කැවීම් ශිල්පියෙක්?


දෙරණ නාළිකාව ඔස්සේ විකාශය වන 'පණ්ඩිත රාමා' හි ප්‍රධාන චරිතය රාමාට හඩ දෙන්නේ මම. ඒ වගේම කුන්ෆු පැන්ඩා, කේල කියන චරිතය ආදී චරිත ගණනාවකට හඬ කැවීම් කරලා තියෙනවා.


 

'ස්නැප්' හි ශනෙල්ගේ චරිතය ගයාන් කියවගත්තේ කොහොමද?


මා විවිධ ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණත් මෙය මගේ පළවෙනි ප්‍රධාන චරිතය නිරූපණය කරන ටෙලි නාට්‍යය. එය වෙනස්ම චරිතයක්. මුලින් මට මේ චරිතය තේරුණේම නෑ. ඒ තරම් එය බරපතලයි. පිටපත කියවලා එය තේරුම් ගැනීමට නොහැකියි. පිටපත් රචක විශ්ව එය ඒ තරම්ම සූක්ෂ්ම ආකාරයට ලියලා තිබුණා. මුල් කොටස් පහ ඉවර වෙනකම්ම මට මේ චරිතය පිළිබඳ ලොකු අවධානයක් දෙන්න වුණේ නෑ. මොකද මෙය අපේ නිෂ්පාදනක් නිසා එක් කාර්යයකට පමණක් සීමා වෙන්න පුළුවන් කමක් තිබුණේ නෑ. අපි හැමෝම වගකීමෙන් වැඩ කළා. අනෙක් අතට චරිතය නිරූපණයේදී යම් වෙනසක් කිරීමට අවශ්‍ය නම් එය පෙන්වා දෙන්න අපේම අය ඉන්නවා. ඒ නිසා අසීරු වුණත් මේ චරිතයට සාධාරණයක් කරන්න මට පුළුවන් වුණා.


 

කොහොමද ලැබෙන ප්‍රතිචාර?


ගොඩක් තරුණ පිරිස අතර ස්නැප් ජනප්‍රියයි. ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ලැබෙන ප්‍රතිචාර තුළ අපට නිර්මාණ කරන්න ලොකු අභිප්‍රේරණයක් ලැබෙනවා. මම පෞද්ගලිකව කැමතියි හොඳ ප්‍රතිචාරවලට වඩා නරක අහන්න කවුරුහරි මගේ අඩුපාඩුවක් කියනව නම් මට එය හදා ගන්න පුළුවන්. එහෙම ප්‍රේක්ෂකයෝ පිරිසක් ඉන්නවා. ඒ ගැන සතුටුයි.


 

මේ රංගනය දැකලා තව තවත් ආරාධනා එන්න ඇති?


ඔව්. ප්‍රධාන චරිත නිරූපණය සඳහා නිර්මාණ තුනකට ආරාධනා ලැබුණා. වෙනස්ම චරිත නිරූපණය කරන චරිතාංග නළුවෙක් වෙන්නයි මගේ කැමැත්ත. ඉදිරියට එන්න තියෙන නිර්මාණවල චරිත දැන් කරන චරිතයට හාත්පසින් වෙනස්. නාලක විතානගේ ගේ අක්වැසි ඔහුගේම චිත්‍රපටයක් වන රස්තා සහ උඩුයටිකුරු තුෂාරි අබේසේකරගේ සඳ දෝනා වගේ නිර්මාණ තුළින් ඒ වෙනස ඉදිරියේදී දකින්න පුළුවන්.


 

ක්ෂේත්‍රයට ඇවිත් ගෙවුණ අවුරුදු 13 තුළ මතකයේ රැඳුණම දේ මොකද්ද?


වේදීකාවේ තමයි බොහෝ දේ තියෙන්නේ. සුබ සහ යස නාට්‍යය දර්ශන වාරයකදී මහේන්ද්‍ර අයියට හදිසියේම අසනීප වුණා. නාට්‍යය පෙන්වන්න පැය එක හමාරයි ඉතිරිව තිබුණේ. මම මගේ වැඩ ඉවරකරලා ඉන්නවිට ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයා ඇවිත් කිව්වා මහේන්ද්‍රගේ චරිතය කරන්න කියලා. කිසිදු පුහුණුවීමක් මුකුත් නැතුව මේ දුන්න අභියෝගය ජය ගන්න එක ලේසී නෑ. නමුත් කරන්නත් ඕනෙ. සුජීව සහ වසන්ත විට්ටච්චි අයියලා දෙන්නා ළඟට ඇවිත් මට කිව්වා මේ ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා. පැය භාගයක් තුළ පුරුදු වෙලා රඟපෑවා. කොහොම වුණත් මට සියලු දෙබස් මතකයේ තිබුණා කලින් ඉඳලම. එය ලොකු පිටිවහලක් වුණා. නාට්‍යය නිමාවෙන් පසු සුබ සහ යස කණ්ඩායම හැම දෙනාම එය අගය කළා.


 ගයාන් අනාගත බලාපොරොත්තුව මොකද්ද?


මගෙ බලාපොරොත්තුව අධ්‍යක්ෂවරයෙක් වීම. ඒ වෙනුවෙන් තමයි මා සියල්ල ඉගෙන ගන්නේ. මේ දිනවල ඒ සඳහා වැඩ කිහිපයක් කරනවා.





Previous Post Next Post