ශ්‍රී ලාංකීය අභිමානවත් නාමය ජාත්‍යන්තරයට රැගෙන යැමට තම උපන් ගායන හැකියාවෙන් අනන්‍යතාවයක් ගොඩනැගූ ඇය අද වනවිට සංගීත ක්ෂේත්‍රය තුළ විශාල පෙරැළියක් කළ දක්ෂ සංගීත ශිල්පිනියකි. සංගීත රසය සොයා යන දහස් ගණනක් ශිෂ්‍යයන්ට සංගීත ඥානය ලබාදෙන වෙනම ආරේ සංගීත ගුරුවරියකි. විටෙක රියැලිටි සංගීත වැඩසටහන් විනිශ්චයවරියකි. උමාරා සිංහවංශ. ඇයට ආදරය කරන බොහෝ පිරිසක් වෙනුවෙන් කාර්යබහුල හෝරාවකදී ඇය මුණගැසුණෙමු. ඒ ලස්සන කුස්සිය හැඩකරන්නය.
මේ තරම් කාර්යබහුල වී තිබියදීත් ඔබ නිවසේ කටයුතු, මුළුතැන්ගෙයි කටයුතු කරනවා ද?
ඔව් අනිවාර්යයෙන්ම. දවස සැලසුම් කළාම, එදා දවසේ වැඩ එදාම කරන පුරුද්ද පුංචි කාලේ ඉඳලාම තිබුණා. වැඩ කරන වෙලාවේදී වැඩ කරනවා. නිවසේ ඉදි නිවසේ හැමදේම මා අතින් වෙනවා. වෙලාවල් දෙකටම අමතරව මා වෙනුවෙන් Me Time එකක් වෙන් කරන්න අමතක කරන්නේ නෑ. එහෙම නැතුව ඔහේ වැඩ කරන්න ගිහින් තමයි බොහෝ කාන්තාවන් තමන්ගේ නිදහස, සතුට නැති කරන් ඉන්නේ. හැම ටයිම් එකක් එක්කම ෆනී ටයිම් එකකුත් තියාගන්න එක වැදගත් කියලා මම හිතනවා.
සැලසුමකට අනුව වැඩ කිරීම වැදගත් කියලා ඔබට හිතෙනවා ද?
ඔව්. සමහර දවස්වලට කරන්න තියෙන වැඩ ටික ඉවර වෙනකොට මහා රෑ වෙනවා. සමහර දවසට උදේ පහ විතර වෙනකම් වැඩ කරලා, ආයේ එලාම් එකට නැගිටලා අලුත් දවස පටන් ගන්නවා. දවසක් මහන්සි වුණා කියලා පහුවෙනිදා ඔකොම වැඩ පාඩු කරන් නිදාගන්න එකවත්, විවේකයක් ගන්න එකවත් සුදුසුයි කියලා නම් මම හිතන්නෙ නෑ. සුපුරුදු විදිහට වැඩ ටික යොදා ගන්න සැලැස්ම අනුව කරන එක තමයි මගේ නම් පුරුද්ද."
රසට කෑම හදන්න පුළුවන් ද?
ඕනෑම කෑමක් රසට උයන්න පුළුවන් අත් ගුණයක් මට තියෙනවා.
මහත්තයා වැඩිපුරම ආසාවෙන් කන්නේ ඔබ හදන මොන කෑම ද?
මහත්තයා හරිම ආසයි මම හදන ඩෙවල් වර්ගවලට වගේම චිකන් බැදුමට. චයිනීස් කෑම වර්ගවලටත් පුතයි, මහත්තයයි දෙන්නම කැමැතියි.
පුතාගේ කෑම ගැනත් සැලකිලිමත් ද?
ඔව්. පුතාට දැන් අවුරුදුක්. එයාට පුංචි කාලේ ඉඳලාම සෞඛ්‍යයට හිතකර කෑම අමාරුවෙන් අමාරුවෙන් හරි මම පුරුදු කළා. කෑම හඳුන්වා දෙන කාලේ ඉඳලාම හොඳ කෑම වර්ග දුන්න නිසා එයා දැන් ඉබේම ඒ දේවල්වලට හුරු වෙලා.
විවිධත්වය ගැන නම් ගොඩක් හිතනවා. දවල් කෑම එකම රෑට කන්න එහෙම නම් කැමැති නෑ. අනිත් දේ තමයි එක වේලකට බර ආහාරයක් ගත්තොත් අනිත් වේලට සැහැල්ලු ආහාරයක් ගන්න එකත් පුරුද්දක්. තෙල් කෑම එහෙම වැඩිපුර ගන්න දවසට රෑට අනිවාර්යයෙන්ම ග්‍රීන් ටී එකක් බොනවා. කටට රහට කෑවාට සෞඛ්‍යය ගැනත් සැලකිලිමත් වෙනවා.
උයන එක වදයක් විදිහට හිතෙන්නේ නැද්ද?
නැහැ. මම හිතන්නේ අපි සතුටින් කරනවා නම් කවදාවත් අපි කරන කිසිම වැඩක් වදයක් වෙන්නෙ නෑ. පවුල් ජීවිතය තුළ කාන්තාව මොන තරම් කාර්යබහුල වුණත් ඇය අතින් බිරිඳක්, මවක් විදිහට ඉටුවිය යුත හැම දේම ඉටුවෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි පවුල් ජීවිතය සාර්ථක වෙන්නේ. මගේ අම්මා නිතරම කියපු දෙයක් තමයි, මහත්තයා සතුටින් තියන්න නම් ඔහුගේ බඩ සතුටින් තියන්න කියන එක. බඩ සතුටු කරන්න නම් ඉතින් කටට රහට අනිවාර්යයෙන්ම උයන්න පුරුදු වෙන්න ඕන්නේ. අම්මා ඔය වගේ දේවල් කියලා තමයි පුංචි කාලේ ඉඳලාම මටයි නංගිටයි ගෙදර දොර වැඩ, ඉවුම් පිහුම් වැඩපිළිවෙළ, පිරිසිදුකම
කියන දේ මූලික වශයෙන්ම ඉගැන්නුවේ. ඒ දේවල් අද මා ගත කරන කාර්යබහුල ජීවිතයට මහා පිටිවහලක් වෙලා. ඒක ලොකු හයියක්.
අත් ගුණේ ගැන ඔබ විශ්වාස කරනවා ද?
ඔව්. තුනපහ නිසාම කෑම රස වෙන්නෑ. ඒකට අත් ගුණේ තියෙන්න ඕනේ. සමහරු කියනවා කරපිංචා
නැතිව උයන්න බෑ, ලූනු නැතුව උයන්න බෑ, තක්කාලි හොද්දට ඕනිමයි කියලා. නමුත් මේ දේවල් නැතුවත් කැමැත්තෙන්, සතුටින්, ආදරෙන් උයන කෑමක් රස වෙනවා කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. මම සංගීතය ඉගෙන ගන්න දරුවන්ට නිතරම කියන දෙයක් තමයි මේ ඔබට ලැබෙන අවසාන අවස්ථාව කියලා හිතලා උපරිමයෙන්ම ගායන හැකියාව පෙන්වන්න කියලා. බතක්, මාළුවක්, ව්‍යංජනයක්, විතරක් නෙමෙයි තේ එකක් හදනකොටත් මේ න්‍යයම මම අනුගමනය කරනවා. හදන කෑම වේල උපරිමයෙන්ම හදන්න උත්සාහ කරන නිසා හැම කෑමක්ම රසයි.
නිවසේ අය අගය කිරීමක් කෙරෙනවා ද?
අපොයි ඔව්. අගය කිරීම කියන දේ අපේ පවුල් ජීවිතය තුළ උපරිමෙන්ම තියෙනවා. ආදරෙන් හදන කෑමක් මහත්තයයි පුතයි සතුටින් කනකොට දැනෙන සතුට නම් කියලා නිම කරන්න බැහැ. ඒ වගේමයි
තේ එකක් හැදුවත් ඒ දෙන්නා අගය කරනවා. ඒක ලොකු උත්තේජනයක්.
මුළුතැන්ගෙයි කටයුතු කාන්තාව කළ යුතුයි කියා ඔබ හිතනවා ද? නැහැ. එවැනි මත තිබෙන්නේ ආසියානු සමාජ වටපිටාව තුළ. විදේශ රටක වසර ගණනාවක් ජීවත් වෙන කෙනෙකු විදිහට මා දකින්නේ කුස්සියටත්, උයන එකවත් කාන්තාවට විතරක් උරුම දෙයක් නොවේ. පිටරටවල අය ඇත්තටම එහෙම හිතන්නේ නෑ. මගේ ස්වාමියා වුණත් මම නැත්නම් කෑම ටික හදලා
තියනවා අපි හැමෝටම. ඒක ටීම් වර්ක් එකක්. ඒ හැරෙන්න පුරුෂාධිපත්‍යය පෙන්වන තැනක් නොවේ පවුල් ජීවිතය කියන්නේ. පවුල් ජීවිතයක් සාර්ථක වෙන්න නම් මේ බැඳීම හරිම වැදගත්. ස්වාමියා භාර්යාව ඒ බැඳීම හරිම වැදගත්.
උයනකොට සිංදු එහෙම අහනවා ද?
අම්මෝ ඔව්. කන පැලෙන්න සිංදු දාගෙන, නට නට තමයි කෑම උයන්නේ. මුළුතැන්ගෙයි ලොකු වෙලාවක් ඉනෑ. ඒත් ඒ වෙලාව සතුටින් ඉන්නවා. පුළුවන් හැම වෙලාවෙම මම බිරිඳක්, මවක් විදිහට සතුටින් ඉන්න එක මගේ ස්වාමියටයි, පුතාටයි ගොඩක් සුබවාදී විදිහට බලපානවා. ඒ නිසා පුළුවන් හැම වෙලාවේම සතුටින් ඉන්නවා. අරක නෑ, මේ නෑ කිය කියා කාන්තාවන් නහයෙන් අඬ අඬා හිටියොත් ගෙදර පිරිහීම අපි දන්නෙම නැතුව වෙනවා.
සාමාන්‍යයෙන් කෑමක් හදන්න කොච්චර වෙලා යනවා ද?
පොඩි කෑමක් හදලා සුප් එකකුත් එක්ක හදලා ගන්න විනාඩි 10කුත් ප්‍රමාණවත්.
ගෑනියෙක් විදිහට අරපිරිමැස්ම ගැන සැලකිලිමත් ද?
ඔව්. පවුලක පිරිමියා ගෘහමූලිකයා වුණාම ගෙදරක පැවැත්ම, ආර්ථික දියුණුව වෙන්නේ කාන්තාව අනුගමනය කරන දේවල් සහ ඇගේ පැවැත්ම අනුව.. ස්සර ඉඳලාම මම අම්මාගෙන් ඉගෙන ගත්ත දේ තමයි හෙට මොනවා වෙයිද කියලා හිතලා අද අවශ්‍ය දෙල් අරන් තියාගන්න එක. යුද්ධ කාලේදී ඒ වගේ මානසිකත්වයෙන් පෙර සූදානම් වුණ අපිට වර්තමානයේ කොවිච් 19 රෝගය නිසා නැවත ඒ පුරුදුවලට යොමු වෙන්න සිදු කළා. නමුත් මගේ ජීවිතයේ එවැනි දේවල්වලට මට අමුතුවෙන් හුරුවෙන්න වුණේ නෑ. අවසාන මොහොතේ අනවශ්‍ය විදිහට කලබල වෙන්න ආස නැති නිසා මුළුතැන්ගෙට අවශ්‍ය හැමදේම කලින් රැස් කරලා තියෙන එක මගේ ජීවන පැවැත්මේ කොටසක්.
කාන්තාවක් විදිහට ඔබ දවස ආරම්භ කරන්නේ කොහොම ද?
උදේම නැගිටලා, වොෂ් එකක් දාලා රාජකාරි වැඩකට එළියට යන්න වගේ ලස්සනට ඇඳගෙන තමයි මම කුස්සියට ගිහින් තේ එක හදනෙත්, උදේ කෑම එක හදනෙත්, කෑම මේසයට වාඩි වෙලා කෑම ගන්නෙත්. මම විතරක් නෙවෙයි ස්වාමියයි, පුතයිත් එහෙමයි. මම හිතනවා මම ඒ විදිහට ඇඳුමෙන් පවා සැරැසෙන එක ගෙදර හැමෝටම ලොකු හයියක් කියලා. මොකද මම එහෙම කියන්නේ පිළිවෙළට ඇඳුමක් ඇඳන් ගෙදර වැඩ කරනවා කියන්නේ මම ඕනෑම දේකට සූදානම් කියන පණිවිඩේ. මා නියැළෙන වෘත්තිය අනුව කෙනෙක් මාව මුණගැහෙන්න ගෙදරට ආවත් මට පැකිලීමක් වෙන්න දෙයක් නෑ, අවශ්‍ය විදිහට මුහුණ දෙන්න පුළුවන්. කාන්තාවගේ ආත්ම විශ්වාසයත් එලෙස සතුටින්, පිළිවෙළට, පිරිසිදුව ඉන්න එක හරිම වටිනවා.
දියණියක් විතර ද මුළුතැන්ගෙයි කටයුතු දැන ගන්න ඕනේ?
නැහැ. පුතෙකුත් ඒ හැමදේම ඉගෙන ගන්න ඕනේ. වර්තමානයේ ඇතැම් දියණිවරු උයන්න පිහන්න දන්නේ නෑ, තේ එකක් හදන්න දන්නෙ නෑ කියන කාරණේ ලොකුවට කතා කරනවා. ඒකෙන් වටිනාකමක් ලැබෙනවා කියලා හිතනවා. නමුත් ඇත්තටම විවාහයකදි තමයි එවැනි දියණිවරු අපහසුතාවට පවෙන්නේ. මම නම් හිතන්නේ දියණියක් උගත්කමින්, බුද්ධිමත්කමින් ඉස්සරහට යනවා වගේ මුළුතැන්ගෙයි කටයුතුත් ඇය දැනගත යුතුයි. එවිටයි ඇය යන ගෙදරට මිණි පහනක් වෙන්නේ.