මේ අවුරුද්ද අවසානයේදී හෝ ලබන අවුරුද්දේ පවුලට අලුත් සාමාජිකයෙක් එක් කරගන්න බලාපොරොත්තු වෙනවා - කාවිංග පෙරේරා

 



මේ දවස්වල Copy Chat වැඩසටහනේ කලාකරුවන්ගේ ආගිය තොරතුරු යට ගිය තොරතුරු සොයමින් වෙහෙසෙන කාවිංග පෙරේරා ඔහුගේ අලුත්ම තොරතුරු මොනවාදැයි පුවත්පතකට ෙමලස පවසා තිබුනා..


කොහොමද මේ දවස්වල ජීවිත්තේ?

කොරෝනා නිසා රූපගත කිරීම් මඳක් නතර කරලා තියෙනවා. වැඩසටහන ඉදිරිපත් කිරීමේ කටයුතු කරගෙන කාලය ගෙවනවා.


කලා කටයුතු මොනවද?

සුපර් ඩාන්සර්, කොපි චැට් වැඩසටහන්වලට සම්බන්ධ වී සිටිනවා. ඊට අමතරව මම අත්තිවාත් කියන වැඩසටහන් සංවිධානය කරන ආයතනයක් පවත්වාගෙන යනවා. නුදුරේදීම එහි අන්නවාත් ටීවී කියලා යූ ටියුබ් චැනල් එකක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.


2015, 2016, 2017 සුමති සම්මානය හා ජනප්‍රියම නළුවා සම්මාන ඔබ දිනාගෙන තිබෙනවා. ඊට සාපේක්ෂව දැන් ඔබව කලා ක්ෂේත්‍රයේ දැකගන්න ලැබෙනවා අඩුයි. ඊට හේතුව කුමක්ද?

මං නිර්මාණවලට දායක වෙන්නේ තෝරා බේරා ගැනීමකින් පසුවයි. ඒ වගේම සම්මාන තුනක් ගත්ත නිසා මගේ ගණන් වැඩියි කියලා බොහෝ දෙනෙක් සිතීම තුළත් සාපේක්ෂව ලැබෙන ආරාධනා ප්‍රමාණය අඩු වුණා. බදාගෙන වැඩ කිරීමේ පුරුද්ද ඒ කාලේ පටන්ම මට තිබුණෙ නැහැ. නමුත් ප්‍රමාණාත්මකව මං නිර්මාණවලට දායක වුණා.


කොපි චැට් වැඩසටහන ඉදිරිපත් කිරීමේදී රංගන ශිල්පීන් හා රංගන ශිල්පිනියන්ගේ පෞද්ගලික තොරතුරු ඔබ සොයා ගන්නවද? නැත්තං නාළිකාවෙන් එකී කාර්යය සිදුකරනවාද?


Copy Chat එකට පැමිණෙන රංගන ශිල්පීන්, ශිල්පිනිය Copy Chat Fan Page එකට සතියකට කලින් දානවා. ඒ වගේම රංගන ශිල්පීන් හා ශිල්පිනියන් සමාජ මාධ්‍යවල ඒ පිළිබඳව දැනුම් දෙනවා. ඒ නිසා ඔවුන්ගේ යහළුවන්ගෙන් වීඩියෝස්, ෆොටෝස් වගේම විස්තර අපට ලැබෙනවා. මමත් කලාකරුවෙක් නිසා සෑම කලාකරුවෙත්ම ගෞරවය හා පෞද්ගලිකත්වය ආරක්ෂා වන ආකාරයට තෝරා බේරා ගැනීමකින් යුතුවයි ඒ විස්තර ඉදිරිපත් කරන්නේ. කොපි චැට් වැඩසටහන මට ඉදිරිපත් කරන ආරාධනා ලැබුණු පසුව එහෙමයි සිදුවුණේ.


බොහොමයක් ඔබගේ සමකාලීන කලාකරුවන්ව සමාජ මාධ්‍ය තුළින් නිර්දය ලෙස විවේචනය කරනවා. නූතනයේ ගොඩනැඟුණු ඒ රැල්ල ගැන මොකද හිතෙන්නේ?


සමාජ මාධ්‍ය තුළ ඕනම දෙයක් ප්‍රකාශ කරන්න සෑම කෙනෙක්ටම පෞද්ගලික නිදහසක් තියෙනවා. ඒ නිසා ඒ ගැන විවේචනය කරන්න මං පෙලඹෙන්නේ නැහැ. මං දිට්ඨ ධම්මවේදී කර්මය විශ්වාස කරනවා. කෙනෙක්ට අපහාස කර විවේචනය කරන්න කලින් දෙපාරක් හිතන්න කියලා ඒ නිසා මං කියනවා. ඒ වගේම තවත් දෙයක් කිව යුතුමයි. මට ෆේස්බුක් ගිණුමක් නැහැ. මගේ නමින් ෆේක් එකවුන්ට් බොහොමයක් තියෙනවා. ඒ වරෙන්ම ඒ එකවුන්ටර්වලින් මැසේජ් කරලා මුදල් ලබාගත් අවස්ථා තියෙනවා. ඒ කිසිම කටයුත්තකට මගේ කිසිම සම්බන්ධයක් නැහැ.


ඔබ වෘත්තියෙන් රංගන ශිල්පියෙක්ද නැත්තං නිවේදකයෙක්ද?


මං ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ නිවේදකයෙක් විදිහට. ඉන්පසු සුසිලා නිෂ්පාදන ආයතනයෙන් මට අවස්ථාවක් ලැබෙනවා අපි අපි වගේ නාට්‍යයට රංගනයෙන් දායක වීමට. එකී ආරම්භයෙන් මට රංගනය ගැන හැදෑරීමට පෙලඹවීමක් ඇති වෙනවා. ඒ අනුව මං විදෙස්ගත වී රංගනය වැඩිදුර හැදෑරීම සිදුකළා. මං වෘත්තීමය රංගන ශිල්පියෙක් විදිහට වැඩ කටයුතු කරන්න පටන් ගත්තේ ඉන්පසුවයි.



ගොඩක් රංගන ශිල්පීන් හා රංගන ශිල්පිනියන් රොකට් එකක් වගේ ඉහළට ගිහින් එකපාරටම අතුරුදන් වෙනවා. එවැනි ප්‍රවණතාවක් ගොඩනැඟී තිබෙන්නේ ඇයි?



මං ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 2008 හෝ 2009 වර්ෂයන්වල. නමුත් කාවිංග පෙරේරා කියන නම සම්මාන උළෙලක නොමිනේට් වෙන්නේ අවුරුදු පහකට හෝ හයකට පසුවයි. ක්ෂේත්‍රය තුළ නමක් හදාගන්න එතරම් වෙහෙසක් දරන්න අපට සිදුවුණා. වර්තමානයේ රංගන ක්ෂේත්‍රයට පිවිසෙන රංගන ශිල්පීන් හා රංගන ශිල්පිනියන් ගොඩක් වාසනාවන්තයි. ජනතාව අතරට යන්නට සමාජ මාධ්‍යයන් ඔස්සේ ඔවුන්ට විශාල අවකාශයක් ලැබෙනවා. රංගනය හා නිවේදනය යන කාර්යයන් ද්විත්වයම සුවිසල් විෂය පරිපථයක්. ඒ නිසා ඒ ක්ෂේත්‍රයට පිවිසෙනවා නම් අධ්‍යාපනයක් අත්‍යවශ්‍යයි. අපෙන් පසු පරම්පරාවක් සෑදිය යුතුයි. නමුත් ඒ පරම්පරාවට මෙම විෂයයන් ගැන අවබෝධයක්  නොතිබුණොත් දීර්ඝකාලීන පැවැත්මක් ගොඩනගාගන්න අපහසුයි. ඔවුන් සෑමවිටම නිර්මාණ තෝරා බේරා දායකවීම අත්‍යවශ්‍යයි. එක ‍ෙදාරක් වැහුණාට හැම ‍ෙදාරක්ම වැහෙන්නේ නැහැ. එයයි මං ඔවුන්ට දෙන අවවාදය.



ප්‍රමිති සහගත රංගන අධ්‍යාපනයක් ලබන්න ප්‍රමාණවත් පහසුකම් ලංකාවෙ තිබෙනවා කියා ඔබ හිතනවද?


ඇත්තටම එය විශාල ගැටලුවක්. දේශපාලනික වශයෙන් පදනමක් නිර්මාණය කරගත් බොහොමයක් කලාකරුවන් සිටිනවා. ඒ වගේම කලා සංගම් බොහොමයක් තිබෙනවා. නමුත් ප්‍රමිති සහගත රංගන පාසලක අඩුව තවමත් එලෙසින්ම පවතිනවා. මේ වෙනකොට  දක්ෂ වගේම හොඳ බාහිර පෙනුමක් තියෙන නවක රංගන ශිල්පීන්, ශිල්පිනියන් බොහොමයක් ඉන්නවා. ඔවුන්ගේ හැකියාව තවත් දියුණු කරගන්න. ඔප මට්ටම් කර ගන්න තැනක් තිබුනොත් එහි වටිනාකම කියලා නිම කරන්න බැහැ.


නාළිකාවලින් ප්‍රඩක්ෂන් කාර්යය සිදුකරන නිසා සමහරක් කලාකරුවන් ඒ නාළිකාවලට  පමණක් අයිති වස්තූන් බවට පත්වෙනවා. එය සුබදායී ලකුණක්ද?


සමහර නාළිකාවල නවක රංගන ශිල්පීන් හා ශිල්පිනියන් ගිවිසුමක් අස්සන් කරනවා කියා කටකතාවක් පැතිරෙනවා. එවන් විටකදී ඔවුන්ට වෙනත් නාළිකාවල රංගනයෙන් දායකවීමට හැකියාවක් නැහැ. නමුත් මං එහි සත්‍ය අසත්‍යතාව දන්නේ නැහැ. මං හිරු නාළිකාවත් එක්ක සම්බන්ධ වෙලා අවුරුදු 8කට හෝ 9කට ආසන්නයි. මං ඒ නාළිකාවේ නිදහස් වැඩසටහන් මෙහෙය වනෙක් පමණයි. නමුත් අනිත් නාළිකා විශ්වාස කරනවා මං ඒ නාළිකාවේ සාමාජිකයෙක් නිසා අනෙක් නාළිකාවල වැඩ කටයුතු කරන්න හැකියාවක් නැහැ කියලා. එය කලාකරුවන්ගේ ගැටලුවක් නෙමෙයි. ඒ කොටු කිරීම කරලා තියෙන්නේ අනිත් නාළිකාවලින්. කලාකරුවෙක් කියන්නේ නිදහස් පුද්ගලයෙක්. ඔහු හෝ ඇය එක් නාළිකාවකට කොටුවෙන එක අපරාධයක්.



අම්මා වගේ පෙම්වතියක් බලාපොරොත්තු වෙනවා කියලා ඔබ හැම විටම කිව්වා. දැන් බිරිය තුළින් ඔබ අම්මව දකිනවද?


හැම පිරිමි ළමයෙක්ම බලාපොරොත්තු වෙන්නේ අම්මා වගේ පෙම්වතියක්. මං මගේ බිරිය යශෝධරාවක් කියලා කියන්නේ නැහැ. ඇය වෘත්තියෙන් වෛද්‍යවරියක්. අම්මා මාව බලාගන්නේ කොහොමද කියලා ඇය දන්නවා. ඇයත් ඇයට හැකි උපරිමෙන් එකී කාර්යය ඉටු කරනවා. මං ගොඩක් වාසනාවන්තයි. මාව තේරුම් ගත් මගේ වෘත්තීමය ජිවිතයට සහයෝගය දෙන ආදරණීය බිරියක් ලැබුණු එකට.


සැමියාගේ පදවියෙන් පිය පදවියට උසස් වීමක් ලබන්න බලාපොරොත්තුවක් නැද්ද?


මේ අවුරුද්ද අවසානයේදී හෝ ලබන අවුරුද්දේ පවුලට අලුත් සාමාජිකයෙක් එක් කරගන්න බලාපොරොත්තු වෙනවා.






Previous Post Next Post