ගයේෂා පෙරේරා කාලයක් සිනමාවෙන් පුංචි තිරයෙන් දකින්න ලැබුණේ නැහැ. දැන් ඇය පුංචි පවුලත් එක්කම ජීවත් වෙන්නේ ඇමරිකාවේ. ලංකාවෙන් දුරස් වෙලා හිටියත් ප්‍රේක්ෂකයන්ගෙන් ඇයට දුරස් වෙන්න ඉඩ ලැබිලා නැහැ. ඒ මේ දවස්වල අලුත් නිර්මාණයකින් ඇය ප්‍රේක්ෂකයන් අතරට එන නිසා. රංගන ජීවිතේ වගේම ඇමරිකාවේ ගෙවන ජීවිතය ගැන ගයේෂා ඇමරිකාවේ ඉඳන්ම මේ විදිහට පවසා තිබුනා
ලංකාවේ නැති වුණත් කාලෙකට පස්සේ ඔබ ටෙලි නිර්මාණයකින් ප්‍රේක්ෂකයන් අතරට ඇවිත්?
ඔව්. දූවිලි සුළඟ කියන්නේ මීට අවුරුදු තුනකට කලින් කළ නිර්මාණයක්. නාට්‍යයේ කොටස් තිස්පහක් විතර ලංකාවේ රූගත කිරීම් කළේ. නාට්‍යයේ ඉතිරි කොටස් රූගත කළේ ඇමරිකාවේදි. ඒ මීට මාස තුනකට විතර කලින්. පවතින තත්ත්වය එක්ක මට ලංකාවට එන්න පුළුවන්කම තිබ්බේ නැහැ. ඒකයි ඇමරිකාවේදි ඉතිරි රූගතකිරීම් කරන්න වුණේ.
කාලයකට පස්සේ ප්‍රේක්ෂකයන්ට ඔබව මතක් කරලා දෙන්නත් මෙය හොඳ අවස්ථාවක් නේද?
ඇත්තටම ඔව්. මම සම්බන්ධ වුණ නාට්‍යයක් අන්තිමට විකාශය වුණේ 2019දි. ඒ හේලංකඩ ටෙලි නිර්මාණය. ඉතින් අවුරුදු දෙකකට පස්සේ තමයි මාව නිර්මාණයකින් ප්‍රේක්ෂකයන්ට මුණගැහෙන්නේ.
ප්‍රේක්ෂක ප්‍රතිචාරත් වෙනසක් නැතුවම ලැබෙනවද?
ඔව්. දැන් සමාජ මාධ්‍ය ගොඩක් දියුණුයිනෙ. සමාජ මාධ්‍යවලින් ගොඩක් අය මට කතා කරනවා. මැසේජ් කරනවා. මගේ ප්‍රේක්ෂකයන්ට තිබ්බ ලොකුම ප්‍රශ්නය තමයි ඇයි මම පේන්න නැත්තේ කියලා. මම නිර්මාණයකින් දකින්න ලැබෙන්නේ කවදාද කියලා එයාලා නිතරම ඇහුවා. ඒ ප්‍රශ්නවලට මේ නිර්මාණයෙන් හොඳ පිළිතුරක් ලැබිලා තියෙනවා.
ටික කාලෙකට හරි ලංකාවෙන් යන්න තීරණය ගත්තේ ගයේෂා කියන රංගන ශිල්පිනිය අමතක කරලද?
මම පුතා හම්බුණාට පස්සෙත් රඟපෑවා. මට රංගනයෙන් සමුගන්න ඕනෑ වුණේ නෑ. පුංචි කාලෙකට විවේකයක් ගන්න තමයි මේ තීරණය ගත්තේ. කොහොම වුණත් දැන් තියෙන තත්ත්වය එක්ක ගත්ත තීරණය හොඳයි කියලත් හිතෙනවා.
ආයෙත් ලංකාවට එන්නේ කවද්ද?
දැන් ලංකාවේ තියෙන පසුබිම එක්ක නිර්මාණයක් කරලා පෙන්න ගන්න හරි අමාරුයි. තියෙන තත්ත්වයන් එක්ක කවදා ලංකාවට එන්න පුළුවන් වෙයිද කියන්න බෑ. පුතත් දැන් ඉස්කෝලේ යන්න පටන්ගත්තා. කොරෝනා ප්‍රශ්නය ඉවර වුණාම ආයෙත් ලංකාවට ඇවිත් නිර්මාණවලට සම්බන්ධ වෙන්න අදහසක් තියෙනවා. කොහොම වුණත් මම මගේ ප්‍රේක්ෂකයන්ට අසාධාරණයක් කරන එකක් නෑ.
ඔබගේ හැකියාව යම් කාලයකට හරි යටපත් කරගෙන ඉන්න සිදුවීම ගැන දුකක් නැද්ද?
මට ආදරය කරන අයගෙන් ඈත් වෙලා ඉන්න සිදුවීම දුකයි. නමුත් මම ප්‍රේක්ෂකයන්ගෙන් දුරස්ම වෙලා නැහැ. සාමාජ මාධ්‍යවලින් ඔවුන්ට ළං වෙන්න පුළුවන්. දෙවියන්ගේ ආශිර්වාදයකට වගේ මම සම්බන්ධ වුණ අලුත් නාට්‍ය ගණනාවක් ඉදිරියෙදි විකාශය වෙන්න තියෙනවා. චිත්‍රපටත් තුනකට වඩා එන්න තියෙනවා. මාව ප්‍රේක්ෂකයන්ට අමතක නොවෙන්න දේවල් මම ලංකාවේ ඉතිරි කරලා ඇවිත් තියෙන්නේ. මට ලොකු දුකක් දැනෙන්නෙ නැත්තේ ඒ නිසා. මම 2006 ඉඳන් ඇමරිකාවට එනකල්ම එක දිගට විවේකයක් නොගෙන වැඩ කළ කෙනෙක්. ඉතින් මේ කාලය මට වටිනවා විවේකයක් ගන්න වගේම මගේ අනෙක් වැඩ කටයුතු කරගන්න.
ලංකාවේ ඉන්න කාලේ අධ්‍යක්ෂවරු ඔබෙන් නිසි ප්‍රයෝජනය ගත්තේ නෑ කිව්වොත් ඔබ එකඟ වෙනවද?
මාත් එක්ක වැඩ කරලා තියෙන්නේ අධ්‍යක්ෂකවරු විසි පස්දෙනෙක් විතර. මම සාමාන්‍යයෙන් මට තෘප්තියක් නැති වැඩක් බාරගන්නේ නැහැ. හේලංකඩ, මිල්ලෑව වලව්ව වගේ නිර්මාණ ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත්ත නිර්මාණ. ඒ නිර්මාණ මට දැනිලා මම බාරගත්ත නිර්මාණ. චරිතවල යම් වටිනාකමක් තිබ්බ නිසා තමයි මම ඒ නිර්මාණ තෝරාගත්තේ. නිර්මාණකරුවෝ මගෙන් හරි ප්‍රයෝජනයක් ගනියිද නැද්ද කියන දේ මම හිතුවේ නැහැ. නමුත් මාත් එක්ක වැඩ නොකළ අධ්‍යක්ෂකවරු එහෙම වැඩ නොකළේ ඇයි කියන දේ ගැන යම් ගැටලුවක් තිබ්බා. හැබැයි කිසිම දෙයක් ගැන කලකිරීමක් නැහැ. සාමාන්‍යයෙන් ඕනෑම ශිල්පියෙක් කැමැති තමන් කළාට වඩා දෙයක් තව කරන්න.ඒ කැමැත්ත තමයි මටත් තියෙන්නේ.
ඔබ ලංකාවේ ඉන්නකොට දේශපාලනයට යොමුවෙලා හිටියා?
ඇත්තටම පහුගිය කාලේ ගයේෂා පෙරේරා පදනම මගින් නැවත වතාවක් උදව් අවැසි අයට උදව් කරන්න අපිට අවස්ථාව ලැබුණා. කවුරු හරි උදව් වුවමනයි කියලා පදනමට පණිවුඩයක් තිබ්බොත් හොයලා බලලා උදව් කළා. දේශපාලනය කියන දේ මගේ ඇඟ්ම තිබ්බ දෙයක්. මම ලංකාවෙදි දේශපාලනය ඉගෙන ගත්තා. අදටත් මම රටේ ප්‍රශ්නයක් වෙනවා නම් සමාජ මාධ්‍යවලින් ඒ ගැන කතා කරනවා. හැබැයි මම දැන් අනවශ්‍ය දේවල්වලට කතා කරන්නේ නැහැ. මොකද අපේ රටේ සමහර දේවල් තියෙනවා කොච්චර කෑගැහුවත් හදන්න බැරි. ඒකට හේතුව තමයි මොන පක්ෂයක ආණ්ඩුවක් බලයට ආවත් රටේ හරි සිස්ටම් එකක් නැතිකම. එහෙම හරි සිස්ටම් එකක් අපේ රටට නැති එක දුකයි.
ලාංකීය කලාකරුවෝ ඇමරිකාවෙදි මුණගැහෙනවද?
ලංකාවේ ප්‍රවීණ කලාකරුවෝ කිහිප දෙනෙක්ම ඇමරිකාවේ ඉන්නවා. සොමි රත්නායක, ශ්‍රිරාණි කෞශල්‍යා, ඩිලානි අබේවර්ධන වගේ ප්‍රවීණ ශිල්පීන් ශිල්පිනියන් මෙහෙ ඉන්නවා. විශේෂ අවස්ථාවලදි ඔවුන්ව මුණගැහෙනවා. සමහර ශිල්පීන් ලංකාවේ ඉන්නකොට මට හමුවෙලත් නැහැ. ඉතින් ප්‍රවීණ ශිල්පින් මෙහෙදි මුණගැහිලා කතා කරන්න ලැබීම සතුටක්.