නයනතාරාව අඬවපු සප්‍රයිස් එක






තෝඩු’ ටෙලි නාට්‍යයෙන් ජනාදරයට පත්වුණු දඟකාර ‘ඔසන ඔදන’ කෙල්ල නයන තාරාගේ 29වැනි උපන්දිනය වෙනුවෙන් ඇගේ ආදරණීය සැමියා චතුරංග දුන්න සර්ප්‍රයිස් පාටි එකේ ලස්සන වීඩියෝව පසුගිය දවස්වල ‘යූ-ටියුබ්’ එක පුරා දහස් ගණනක් රසික රසිකාවියන් නරඹා තිබුණා. අසීමිත අහඹුවක සතුට දැනෙන ආකාරයට ‘නයන තාරා’ වෙනුවෙන් චතුරංග කළ මේ පියකරු ‘සර්ප්‍රයිස්’ පාටි එක ඇගේ වචනවලින් ෙමලස පුවත්පතට පවසා තිබුනා.


 ඉතින් ඉතින් නයන තාරා කොහොමද මැරේජ් ලයිෆ් එකේ තොරතුරු?

සුන්දරයි. සාමකාමියි. මම හරිම සතුටින් දවස ගෙවනව කිව්වොත් ඒක තමයි දෙන්න පුළුවන් කෙටිම උත්තරය ඔබේ ප්‍රශ්නයට.


 ටෙලිනාට්‍ය පිටපත් භාරගන්න එපා කියලා චතුරංග කියන්නේ, ඒ සුන්දරත්වයට හානිවෙයි කියලද?

අයියෝ එහෙම එකක් නැහැ. හොඳ නිර්මාණ භාරගැනීමේ නිදහස චතුරංග මට දීලයි තියෙන්නේ. මම තමයි අලුත් ටෙලි නාට්‍යයක් භාරනොගත්තෙ තවම.


රංගනයෙන් ඈත්වෙලා ඉන්නද කල්පනාව?

එහෙමම නැහැ. හැබැයි දුරබැහැර යන ඒවා භාරගන්නේ නැහැ. උදේ ගිහින් හවස ගෙදර එන්න පුළුවන් වැඩි වෙහෙසක් දරන්න ඕනෑ නැති ඒවා භාරගන්නවා කියලා හිතට නීතියක් දාගෙන තියෙන්නෙ.


 රංගනයට එහෙම නීති දාන එක හරිද? චතුරංගව ඔයාට මුණගැහුණෙත් රංගනය නිසා නේද?

කවුද ඒ කතාව කිව්වේ. ඒක වැරැදි නිවුස් එකක්. චතුරංගව මට මුණගැහෙන කොට මම රංගනයට ඇවිදින් නැහැ.


‘තෝඩු’ රඟපාන කාලේ නෙවෙයිද චතුරංග ඔබව හොයාගෙන ආවේ?

අයියෝ… මෙයාලා හදන ගොසිප් නම් මාරයි. චතුරංගයි මමයි යාළුවෙලා දැනට අවුරුදු පහක් වෙන්න එනවා. එතකොට මට අවුරුදු 21යි. එයාලගේ අම්මා තමයි මංගල යෝජනාව අරගෙන ආවේ.


 කතාව තියෙන්නෙ නම් ‘තෝඩු කෙල්ලට’ වශීවෙලා ඔහු ඇයව හොයං ආව කියල?

කමක් නැහැ ඉතින්. ඒකත් අපූරු කතාවක්නේ. මටත් ඒක ආරංචි වුණා. අපි දෙන්නා ඒ ගොසිප් කියවලා හිනාවෙනවා ඉතින්.


 29 වැනි උපන්දිනේට චතුරංග ඔයාට අමතක නොවන සර්ප්‍රයිස් එකක් දුන්නලු?

ඔව්. ඒක නම් කවදාවත් අමතක නොවෙන සර්ප්‍රයිස් එකක්. චතුරංගයි, මගේ චූටි නෑනයි තමා ඒක හරිම උපායශීලීව සැලසුම් කරලා තිබුණේ.


 දවසේ කාටත් හොරා ඉකිගගහා ඇඬුවේ ඒ උපායශීලී බව ඔයාට නොදැනුණු නිසාද?

අඬන්නේ නැතුව කොහොමද? හරියටම කියනව නම් ඇඬුවා නෙවෙයි මට ඇඬුණා. උපන්දිනේ වෙනුවෙන් රෑ දොළහට මාව ඇහැරවලා කේක් එක කපලා චතුරංග වෙනදා වාගේ බිස්නස් වැඩවලට ගියා. එයාලගේ ගෙදර අයත් ඔහේ පාඩුවේ තමන්ගේ වැඩ එක්ක. බඳින්න කලින් උදේ ඉඳලම කෝල්ස් කීයක් නම් දෙනවද? කොහේ හරි යන්න ප්ලෑන් කරන්නෙත් එයාමයි. මම එදා කෝල් එකක් දුන්නමත් මම බිසී පස්සෙ ගන්නම් කිව්වා.


 ඔයාට ඇඬුණේ එතැනදීද?

ඇඬුණේ නම් එයිට කලින්. අර විදියට කියද්දි නම් මට හරියට තරහා ගියා. කාමරේට ගිහින් ආයෙම ඇඬුවා.


 දැනුණේ නැද්ද ඔයාට හොරෙන් මොනව හරි සිද්ධවෙනවා කියලා?

ඩිනර් එකකට අයියා ඔයාව ඇස් බැඳලා එක්ක එන්න කිව්වාය කියලා මගේ චූටි නෑනා කියනකල් මට යමක් දැනුණේ නැහැ.


 ලස්සන බංගලාවක් ඉස්සරහදී ඇස් බැන්දුම ගැලවුණා?

ඔව් නේ… හිතාගන්න බැරි වුණා මට. මගේ කොළඹ යාළුවෝ, මගේ අම්මයි, තාත්තයි, මල්ලිලායි, අපේ නෑයොයි හැමෝම මං වෙනුවෙන් කහවත්තට ඇවිදින් තිබුණා. මං ආසම රෝස පාට බැලුම් ගොඩාක් එක්ක ලස්සනම කේක් එකකුත් චතුරංග ඕඩර් කරලා තිබුණා.


 ඇයි ඔයාගේ ලැබ්බ්‍රෙඩෝ බලු සුරතලා ටෙඩී, එයාටත් පාටියට ආරාධනා ලැබිලා තිබුණා?

ඒක තමයි සර්ප්‍රයිස් එකේ හොඳම කොටස. මාව දැක්කම එයාටත් එයාව දැක්කම මටත් දැනුණු සතුට මට කියාගන්නත් බැහැ. උදේ දුකට උනපු කඳුළු ඒ වෙලාවේ සතුටට ගැලුවා ඇත්තටම.


 ‘දවස් ගානකට චතුරංග එක්ක කතාවත් කරන්නේ නැහැ’ කියලා හිතපු නපුරු හැඟීම දියවෙලා ගියා?

මොනවට කියනවද? එයා මං ගැන, මගේ සතුට ගැන කොයි තරම් හිතනවද කියන හැඟීම මගේ හිතට දැනුණාම තමයි මගේ ඇස්වලට සතුටු කඳුළු ආවේ.


 ඔයා හරි වාසනාවන්ත බිරියක්?

ඔව්, මට එහෙම හිතෙනවා. අපි දෙන්නව දෛවය මුණගස්සවපු එකත් මට හිතෙන විදියට හරිම සොඳුරු ‘සර්ප්‍රයිස්’ එකක්. 


–දමයන්ති රේණුකා ප්‍රනාන්දු







Previous Post Next Post