පසුගිය කාලෙ ආදරේ නිසා මානසිකව විඳෙව්වා - නිලූෂි පවන්‍යා



නිලූෂි පවන්‍යා කියන්නේ හින්දි තිරයේ සුපිරි තරුවක් හා සමාන රූපශෝභාවකින් හෙබි පුංචි තිරයේ සිටින උගත් නවක රංගන ශිල්පිනියක්. මේ දවස්වල ‘දිවිතුරා’ සමගින් සතියේ දවස් පහේම ඔබේ නිවසට ගොඩවෙන නිලූෂිත් එක්ක අපි පුංචි කතාබහක පැටලුණේ මේ හිතවතියගේ හදවතේ තියෙන දේවල් ගැන ගන්නයි. ඇයගේ කාලය ගෙවෙන්නේ මේ දිනවල නම් දිවිතුරා සමගයි…


අප්‍රේල් මාසයේ මම ගොඩක් කාර්යබහුල වුණා. දිවිතුරා ටෙලි නාට්‍යයේ රූගත කිරීම් හැරුණාම සමන් කුමාර ලියනගේ මහත්මයාගේ අලුත්ම ටෙලි නාට්‍යය වන වත්සුණුහි මම වෙනස්ම චරිතයක් රඟපෑවා. ඒ සමගම මෙගා ස්ටාර් සඳහා පුහුණුවීම්වලට යන්නත් තිබුණා. දවස පුරාම වැඩවලට යනවා එනවා විතරමයි. මාසයේ දින තිහේම වැඩකරපු වෙහෙසකාරී දවස් ටිකක් ගෙවුණේ. මම, මගේ උපාධිය සඳහා හැදෑරුවෙත් නර්තනය. නැටුම් අංශයෙන් ගුරුවරියක් වෙන්න තමයි මම ආසම. කැම්පස් එන්න කලිනුත් මම අවුරුදු දෙකක් විතර මීගමුවේ පෞද්ගලික පාසලක ගුරුවරියක් විදිහට සේවය කළා. රංගන කටයුතු එක්ක දින ප්‍රශ්න එන නිසා මට ඒ ගුරු වෘත්තියට කරන්න හැකිවෙයිද කියන්න බැහැ. ඒත් මම තවමත් ආස ගුරුවරියක් වෙන්නයි.



ඉගෙන ගැනීමට නිලූෂි දක්වන්නේ දැඩි කැමැත්තක්?


ඒකාකාරී චරිත පමණක් කරන්න මම ආස නැහැ. ග්‍රාමීය වටපිටාවක ගොඩනැගුණ ගැමි චරිතයක් කරන්න මට තවම ලැබිලම නැහැ. රගංනය පැත්තෙන් මට තව ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. මම හිතන්නෙ මේකෙ සියයට 20 විතරයි මම ඉගෙනගෙන තියෙන්නේ කියලයි. මට ඉගෙන ගන්න සියයට අසුවක් තියෙනවා අපි හැමදේම දන්නවා කියලා හිතනවට වඩා අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා කියලා හිතුවොත් අපිට හැදෙන්න ලේසියි. ජනප්‍රිය නිළියක් වෙනවට වඩා දක්ෂතම නිළියක් වෙන්නයි මම ආස ඒකට අපිට ලැබෙන චරිතත් බලපානවා. ඕනම දෙයක ප්‍රතිඵලයක් ලබාගන්න කාලයක් යනවනේ. ගහක් හිටවපු ගමන් ඵලයක් ලබන්න බැහැ. මම තවම මේ ක්ෂේත්‍රයේ අවුරුදු තුනයි ගත කරලා තියෙන්නේ කාලයත් එක්ක මට අවසථාවක් ආවොත් මට ඒ දේ ලැබෙයි. ඒත් මට සම්මානයක් ගන්නම ඕන කියල නැහැ. මම දක්ෂයි කියලා මිනිස්සු දැනගත්තම ඇති.


මේ හැම දෙයක්ම ඇයට ලැබී තිබෙන්නේ අහම්බෙන්…


ඔව්, මම රඟපාන්න හිතාගෙන හිටපු කෙනෙක් නෙවෙයි. මම කැමැති වෙලා හිටියේ නිරූපණය පැත්තටයි. මීට වසර 11 කට කලින් 2010 ස්වාධීන රූපවාහිනයේ අවුරුදු කුමරි තරගයෙන් තුන්වැනි ස්ථානය දිනාගත්තට පසුව රංගනයට අවස්ථා හම්බ වුණා. ඒ වෙද්දි මම උසස් පෙළ හදාරමින් හිටියේ. මගේ ලොකු අයියා මම රඟපානවට කොහෙත්ම කැමැති වුණේ නැහැ. රංගනයට මගේ කැමැත්තක් තිබුණෙත් නැහැ. මම ලැබුණ අවස්ථා ප්‍රතික්ෂේප කළා. මම එහෙමම රංගනයට සම්බන්ධ වුණා නම් මට උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට යන්න බැරිවෙන්නත් තිබුණා.



ආදරය නිසා නිලූෂිගේ ජීවිතේට ලැබුණේ සතුටක් නම් නෙවෙයි?


මේ වෙලාවේ ඒ ගැන කතා නොකර ඉන්න තරමට හොඳයි කියලා මම හිතනවා. මොකද දෙන්නෙක් අතර හොඳ අවබෝධයක් නැතිනම් ඒ ආදරයක් ශක්තිමත්ව පවත්වාගෙන යන්න අපහසුයි. පහුගිය කාලසීමාවේ ආදරය නිසා මම වින්ද දුක් එක්ක ආදරය ගැන ලොකුවට හිතන්න මානසිකත්වයක් නැහැ. ඒ වගේම විවාහය ගැනත් දැන්මම හිතන්නේ නැහැ. තව අවුරුදු 2ක්වත් අවිවාහකව ඉන්නයි හිතාගෙන ඉන්නේ. ඒත් කියන්න බැහැ, එහෙම හිතාගෙන හිටියට ලබන අවුරුද්දේ බඳින්න වෙයිද කියලත්. විවාහය තමයි කෙනෙක්ගේ ජීවිතයේ වැදගත්ම දේ. විවාහයක් නිසා කෙනෙක්ට ජීවිතයක් ලැබෙන්නත් පුළුවන්, ජීවිතයක් නැතිවෙන්නත් පුළුවන්. ඒ නිසා ඔය තීරණය ගන්න හදිස්සි වෙන්න හොඳ නැහැ. අවුරුදු ගාණක් ආදරය කළත් අපිට කෙනෙක් හරියට අඳුනගන්න බැරිවෙන එකේ ටිකක් ඉවසීමෙන් ඉන්න එක තමයි හොඳම. මං හිතනවා හරිම කාලය ආවාම මම හරිම තීරණය ගනියි කියලා.



ජීවිතය සරලව ගන්නත් නිලූෂි කැමති නැහැ.


මම සරල ජීවිතයක් ගත කරන කෙනෙක් වුණාට ගන්න තීරණ ගැන ගොඩක් හිතනවා. මොකද අපේ අම්මා, තාත්තා පවුල් ජීවිත ගත කරපු විදිහ මම දැකලා තියෙනවා. ඒ අය මොන තරම් ප්‍රශ්න ආවත් ඩිවොස් එකක් ගැන හිතුවේ නැහැ, දරුවෝ වෙනුවෙන් දරාගෙන ජීවත් වුණා. අද සමාජය එක්ක ගත්තාම හරිම වෙනස්නේ. අද බැඳලා හෙට ඩිවෝස් වුණත් කමක් නැහැ කියන මතයේ තමයි කට්ටිය ඉන්නේ. මම ඒ තරම් සරල විදිහට හිතන්නේ නැහැ. මොනවා වුණත් හැඩට වැඩට ඇඳලා සැහැල්ලුවෙන් ජීවත් වෙන එක තමයි නිලූෂිගේ එකම බලාපොරොත්තුව…



මට වැඩියෙන්ම වියදම් වෙන්නේ මගේ ඇඳුම් හා සපත්තුවලට. පාරෙ යන ගමන් ලස්සන ඇඳුමක් සාප්පුවක තියෙනවා දැක්කොත් මම ඒක ගන්නවා. මම එකොළහ වසරේ ඉන්න කාලේ ඉඳන් කස්තුරි කහ වෙනිවැල්ගැට වගේ දේවල් ඇඟේ ගානවා. ඒ හැර මම සැලෝන්වලට ගිහින් රූපලාවණ්‍ය කටයුතු කරන්නෙම නැති තරම්. සාමන්‍ය ජීවිතයෙදි කන්නේ බොන්නේ ඉන්නේ හරිම සරල විදිහට. මම නිළියක් කියලා සාමාන්‍ය මනුස්සයෙක් ගෙවන ජීවිතයට වඩා වෙනස් වෙන්න යන්නේ නැහැ. එහෙම හිතුවොත් මට අමාරු වෙලාවක හිතෙන තැනක ඉඳන් ගිමන් හරින්න බැරිවෙනවා. මගේ ගම හලාවත. මම ගමේ යන්නේ බස් එකේ. කුලී රථයක් අරගෙන හලාවතට යන්න රුපියල් 6000ක් 7000ක් විතර යනවා. මම නිළියක්, මට බස් එකේ යන්න බැහැ කියලා හිතලා රුපියල් 300ක් යන ගමනට දහස් ගාණක් වියදම් කරන්නේ නැහැ.


ධම්මිකා සුරංජි පතිරණ





















Previous Post Next Post