මම කඩ කෑමට වැඩි රුචියක් නැහැ - නදුනි කරුණාතිලක

 



දෙවනි ඉනිම' ටෙලිනාට්‍ය හරහා රංගනයට පිවිසෙන ඇයව බොහො දෙනකු හඳුනා ගන්නෙ 'පාවෙලා වලාකුළේ ඒවීද අම්මා' ටෙලිනාට්‍යයයෙනි. මේ දිනවල නැවත'ඉස්කෝලේ' ටෙලිනාට්‍යයේ 'ආලෝකා' ගේ චරිතයෙන් ඔබ හමුවට එන ඇය නමින් නදුනි කරුණාතිලකයි. ඇය ඇගේ රූ රහස්  ගැන කියන්නයි පුවත්පතකට විස්තර කියා තිබුනා.


 

මුහුණට මම හදා ගත්තු පැක් එකක්


මගේ අවිවේකී බව නිසාම මුහුණ, රූපය ගැන සැලකිලිමත් වෙන කාලය ඉතා අඩුයි. නමුත් ඉඩක් ලැබෙන වෙලාවට හොඳින් පිරිසුදු කරලා අයිස් කැට අරගෙන මුහුණ තවනවා. එය කුරුලෑවලට හොඳ සත්කාරයක්. එයට අමතරව කඩලපිටි, කහ සහ මී පැණි කවලම් කරලා හර්බල් පැක් එකක් හදා ගෙන වෙලාව තියන වෙලාවට තමයි ආලේප කරන්නෙ. ඉතින් සමහර දවස්වලට රෑටත් ආලේප කරලා විනාඩි විස්සක් පමණ තියලා හොඳට සෝදා හරින්න පුළුවන්.


 


හිසකෙස්වලට තල තෙල්


මම හිසකෙස්වලට කලින් කලට විවිධ සත්කාර කරන්න පෙලඹෙනවා. මේ දවස්වල නම් තලතෙල් වලින් හදා ගත්තු තෙල් එකක් තමයි හිසකෙස්වල ගල්වන්නේ. හිසකෙස් වර්ධනය, හිසකෙස් ශක්තිමත් වීම වැනි හොඳ ප්‍රතිඵල මේ තෙල් සත්කාරයෙන් ලැබෙනවා.


 


කඩ කෑමට වැඩි රුචියක් නැහැ


ගුණදායක ආහාර වේලක් ගැන මම හරිම සැලකිලිමත්. කඩ කෑමට වැඩි රුචියක් නැහැ. බත් කන එක නම් ටිකක් අඩු කරලයි තියෙන්නේ. ඒ වෙනුවට එළවළු, පලතුරු වැඩියෙන් ආහාරයට එකතු කර ගන්න මං සැලකිලිමත් වෙනවා. ඒ අතර පලා වර්ග එහෙමත් වැඩිපුර ආහාරයට ගන්නවා.


 

මම බොන ඖෂධීය පාන


ගොටුකොළ මිටක් විතර බ්ලෙන්ඩර් එකට දාලා වතුර ටිකක් එකතු කරලා හොඳට බ්ලෙන්ඩ් කර ගෙන හදා ගන්න ගොටුකොළ පානය මගේ ප්‍රියතම ඖෂධීය පානයක්. නමුත් ගොඩක් අය හරිම අඩුවෙන් තමයි ගොටුකොළ ඒ වගේ හදාගෙන පානය කරන්නේ. ඊට අමතරව මම කෝමාරිකා මදය අරගෙන හොඳට බ්ලෙන්ඩර් කරලා එයට දෙහි ස්වල්පයක් එකතු කරලා පානය කරනවා. එය ශරීරයට හොඳ ඖෂධීය පානයක්. කොළකැඳ, කුරක්කන් කැඳ ,කිතුල් පිටි කැඳ වගේම කිතුල්පිටි තලප ආහාරයට ගන්නත් මම ගොඩක් කැමතියි.මේවා බොනවා වගේම තමයි වතුර කියන්නේ නිරෝගී කමට අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් මොන වැඩේ තිබුණත් දවසකට ලීටරයක් දෙකක් හෝ තුනක් ඊටත් වැඩිපුර හෝ මට හිතුණු ප්‍රමාණයක් මම වතුර බොනවා.



පාදවලට උණුවතුර සත්කාරය


බේසමකට උණුවතුර දාලා ෂැම්පු ස්වල්පයක් හා දෙහි ස්වල්පයක් එකතු කරලා ඒකට බේකින් සෝඩා ස්වල්පයකුත් දාලා කකුල් මඳ වේලාවක් ඒ වතුරේ පොගවලා තියලා පිරිසුදු කරගන්න පුළුවන්. එයින් නියපොතුවල කහ ගතිය, මැරුණු සම ඉවත් වෙලා කකුල් ලස්සනට තියා ගන්න පුළුවන්.







Previous Post Next Post