'චන්ද්‍රා පායන්න' ගීතය ලස්‌සන වචන ටිකක්‌ එක්‌ක ගැඹුරු අර්ථයක්‌ සමාජයට දෙනවා - ශෂිකා නිසංසලා




ගීත තුන්සිය පනහකට ආසන්න ප‍්‍රමාණයකට සිය ළයාන්විත හඬින් ප‍්‍රාණය ලබා දුන් සශිකා නිසංසලාගේ නවතම ගීත නිර්මාණය මේ වන විට රස නොවිඳි කෙනෙක් නොමැති තරම්ය. වසර හයක් නොකඩවාම හදවතේ ගායිකාව ලෙස ජනතා සම්මාන ලද ඇය බොහෝ කලකට පසු කළ එම නිර්මාණය ගැන කියන්නේ කුමක්ද. අපි ශෂිකාගෙන් අසමු.

 

 ඇත්තටම මම මගේ නිර්මාණයක් කරද්දි කාලයක් ඒ වෙනුවෙන් ගන්නවා. හේතුව මට හැම වෙලේම අවශ්‍ය වෙන්නේ රසිකයන්ට සාධාරණයක් කරන්න ඉක්මනින් නිර්මාණයක් එළියට දාලා ජනප‍්‍රිය වෙන අරමුණක් මට නෑ. ඒ නිසා අර්ථය රසය සංගීතය හොඳ පද සංකලනයක් ආදී හැම දේම ගැන හිතලා තමයි මම නිර්මාණයක් කරන්නෙ. චන්ද්‍රා පායන්න ගීතයත් ඒ විදියට කල් අරන් කරපු නිර්මාණයක්. කොරෝනා වසංගතය හා මගේ තිබුණ කාර්යබහුලත්වයත් එක්ක පොඩි කාලයක් ප‍්‍රමාද වෙලා තමයි රසිකයන්ට මේ ගීතය දෙන්න සිද්ධ වුණේ.

 

 ඔබේ හඬ වෙනුවෙන් බොහෝ ගී පද නිර්මාණය වෙද්දි මේ ගීතයම තෝර ගන්න විශේෂ හේතුවක් තිබුණද?

 ගීතයක් තෝරා ගද්දී සැලකිලිමත් විය යුතු කාරණා කිහිපයක්ම තියනවා. ගී පද ලස්සන වූ පමණින්ම සාර්ථක නිර්මාණයක් කරන්න බෑ. ඒ පද වලින් ගෙනෙන අර්ථය, එයට යොදන තනුව පිළිබඳවත් හිතලා තමයි ගීතයක් තෝරා ගත යුතු වන්නේ. ආදරය ගැන කියැවෙන ගීතයක් වුණත් මේ ගීතයේ තනුව, පද හැම දෙයක්ම නැවුම්. ලස්සන වචන ටිකක් එක්ක ගැඹුරු අර්ථයක් සමාජයට දෙන්න පුළුවන් ගීතයක් නිසා තමයි මම දෙපාරක් නොහිතාම මේ ගීතය ගායනා කරන්න කැමති වුණේ.

 

 


ගී පද රචනය හා සංගීතය ගැන සිදුකළේ?

  මේ ගීතයේ පද රචනය සිදු කළේ මනුරංග විජේසේකර. ගී තනු සහ සංගීතය දිනේෂ් ගමගේ විසින් සිදු කරනු ලැබුවා. ඔවුන් මේ ගීතය පටිගත කිරීම ආරම්භ කළ මොහොතේ සිට අවසානය දක්වාම මට ලබා දුන්න සහයෝගය අගය කළ යුතුයි.මුල් කාලයේ සිටම ඔබේ නිර්මාණවල විශේෂත්වය තමයි ගීතය සමඟ රූප රචනයක් ඉදිරිපත් වීම. ඒ ගැන සඳහන් කරන්න. ආදරය ගැන කියැවෙන ගීතයක් වුණත් මේ ගීතයේ රූප රචනය වෙනස් විදියකට කරන්න තමයි බලාපොරොත්තුව තිබුණේ. ගැමි පරිසරයක සිදුවීම් එක්ක අපූර්ව විදියට තමයි චමිල් පතිරණ රූප රචනය සිදු කළේ. රංගනයෙන් සහාය වුණේ ශේවියර් කණිෂ්ක සහ ප‍්‍රවීණා දිසානායක.

 

 ඔබට මේ තාක් සවියක් වූ පිරිස සිහිපත් කළොත්?

 

මේ ගීතය නිර්මාණය කිරීමට සහාය දුන් මගේ සැමියා ඇතුළු සියලූම දෙනාට ස්තුතිය පුද කර සිටිනවා. විශේෂම කාරණය හැමදාම මගේ නිර්මාණ වලට වැඩිම වටිනාකමක් දීලා මාව හදවතේ ගායිකාව විදියට සම්මානයට පාත‍්‍ර කළේ මගේ රසිකයන්. මේ හැම දේම ඔවුන්ගේ ආදරය නිසා. ඔවුන් දුන්න ආදරයට තුති පිදුමක් විදියට මගේ අලූත්ම නිර්මාණය මම රසිකයන්ට තිළිණ කරනවා.

 

 නිරෝෂා වාසල










Previous Post Next Post