මේ දිනවල විකාශය වන ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන සකුගේ ලෝකය නාට්‍ය තුළින් නව මුහුණක් පුංචි තිරයේ දකින්නට ලැබෙනවා. ඒ සකුගේ ලෝකය තුලින් ප්‍රේක්ෂක අපට සමීප වන දැහැමිගේ චරිතය තුළින්. චරිතයේ නම දැහැමි වුණාට නපුරු කටකාර යුවතියක් තමයි ප්‍රේක්ෂකයාට සමීප වෙන්නේ. ගයත්‍රී රාසින්ගොල්ල නම් නවක නිළිය තමයි චරිතයට පණ පොවන්නේ.
ගයත්‍රී අපිට මුලින්ම ඔයා ගැන කියන්න?
මගේ උපන් ගම නුවර. මම පවුලේ එකම දරුවා. නුවර ඉපදිලා මාස 8ක් වගේ වෙද්දී මාව අම්මා අප්පච්චි එක්ක යනවා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට. එතැනින් පස්සේ මගේ කුඩා කාලය ගෙවෙන්නේ එහෙ. ඊට පස්සේ මම නැවත ලංකාවට ඇවිත් 1 වසරේ සිට 6 වසර මුල් කාර්තුව දක්වා නුවර හිල්වුඩ් විද්‍යාලයේ ඉගෙන ගත්තා. ඔය අතරේ ආයේම මම ඒක්සත් අරාබි එමීර් රාජ්‍යයට යනවා. එතැනින් පස්සේ විශ්වවිද්‍යාලය දක්වා දිගටම ඉගෙන ගන්නේ එහේ. කළමනාකරණ උපාධියක් ලබාගැනීමෙන් පසු පශ්චාත් උපාධිය සම්පූර්ණ කරන්නේ මනෝ විද්‍යාව පැත්තෙන්. ඉන්පසු මම ඔස්ට්‍රේලියාවට ගිහින් මනෝ විද්‍යාව (Sicology) පැත්තෙන් විශ්වවිද්‍යාලයක රැකියාවක් කළා. ඊට පස්සේ ගිය වසරේ අග ලංකාවට ආවා. ඒ ආවම තීරණය කළා ලංකාවේ පදිංචි වෙනවා කියලා.
රංගනය ගැන තිබුණු සිහිනය ගැන ඇය මතකය ආවර්ජය කළා…
පොඩි කාලේ ඉඳන් නිර්මාණශීලි දේවල් වලට මගේ වැඩි කැමැත්තක් තිබ්බා. පාසල් කාලයේ සහ විශ්වවිද්‍යාලයේදී පවා මම සංගීතයට නර්තනයට සහ ක්‍රීඩාව වැනි බාහිර කටයුතු වලට සම්බන්ධ වෙලා හිටියා. රංගනයට තමා මට එතරම් අවස්ථාවක් නොලැබුණේ. නමුත් මම ඔස්ට්‍රේලියාවේ සිඩ්නිවල ඉන්න කොට මගේ ආසාවට මම රංගනය ගැන තියෙන වැඩමුළුවකට සහභාගි වුණා. එතැනින් පස්සේ රංගනයට තිබ්බ ආසාව තවත් වැඩි වුණා. ඒ නිසා හිතුවා ලංකාවට ආවට පස්සේ කොහොම හරි රංගනයට එන්න ඕනේ කියලා.
සකුගේ ලෝකයේ “දැහැමි” වෙන්න ඇයට වාසනාව ලැබුණේ මේ ආකාරයටයි.
මේ නාට්‍යයට අලුත් මුහුණු හොයනවා කියන දැන්වීමක් මට යාළුවෙක් තමා එව්වා. මම ඉතින් තිර පරීක්ෂණයට සහභාගි වුණා. ගොඩක් දෙනා ඇවිල්ලත් හිටියා. නමුත් මට ඒ අවස්ථාව ලැබුණා. තිර පරීක්ෂණයේ පටන් අද මේ මොහොත දක්වාම මට ගොඩක් දෙනා මුණ ගැහුණා. ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණ අය වගේම නවක දක්ෂ රංගන ශිල්පින් ශිල්පිනියන්. ඉතින් ලොකු අත්දැකීමක් ලබනවා. ගොඩක් සතුටුයි ප්‍රියන්ත කොළඹගේ සර්ගේ නිර්මාණයකට දායක වෙන්න ලැබීම ගැන.
දැහැමිගේ චරිතය නපුරු වුණත් ගයත්‍රී කියන්නේ සංවේදී කෙනෙක්…
ඒ ගැන විශේෂයෙන් කියන්න ඕනේ. දැහැමි කියන චරිතය සැර නපුරු චරිතයක්. මට ඒක ඇත්තටම ලොකු අභියෝගයක් වුණා. මොකද දැහැමි සහ ගයත්‍රී කියන්නේ හාත්පසින්ම වෙනස් චරිත දෙකක්. මම ඇත්ත ජිවිතේ ගොඩක් සංවේදී කෙනෙක්. ඒ නිසා මට ලැබුණු පළමු චරිතයම මට ලොකු අභියෝගයක්. හැබැයි මම ඒ චරිතයට කැමතියි. ඒ තුළින් මට මගේ රංගන හැකියාව පෙන්නුම් කරන්න පුළුවන් කියලා දැනෙනවා.
ගෙදරිනුත් ගයත්‍රීට ලැබෙන්නේ ලොකු සහයෝගයක්.
අම්මා, අප්පච්චි මට පොඩි කාලේ ඉඳලම නිදහස දුන්නා, යායුතු මාර්ගය පෙන්වා දුන්නා. ඒ අනුව මම පශ්චාත් උපාධිය දක්වා ඉගෙන ගත්තා. ඒ නිසා මම කරන දේ ගැන අම්මා අපපච්චි තුළ පැහැදීමක් තියෙනවා. ඒ වගේම මගේ හැකියාවන් ගැන අවබෝධයක් තියෙන නිසා මගේ ගමනට ලොකු සහයෝගයක් ලැබෙනවා.
රංගනයට වගේම ගයත්‍රීට ගායනා කරන්නත් පුළුවන්…
මම සංගීතය ඉගෙන ගෙන තියෙනවා. ඒ නිසා සින්දු කියන්නත් පුළුවන්. මේ වෙද්දී මගේම සින්දුවක් කළා. “දුකක් නැති අහසක්” ඒක ලිව්වේ කපිල එම් ගමගේ මහතා සංගීතවත් කරේ දර්ශන වික්‍රමතුංග අයියා. තව ඉස්සරහට සින්දු කිහිපයක් කරන්න අදහසක් තියෙනවා.
ආදරය ගැන ගයත්‍රී දකින්නේ ටිකක් වෙනස් විදිහට.
මට ආදරය ගැන තියෙන්නේ වෙනම ආකල්ප වගයක්. දැන් ආදරය කියලා ගොඩක් අය කරන්නේ අයිතිකර ගැනීමක්. මම කැමති නැහැ ඒ ආදරයට. ආදරයට හොඳම උදාහරණය යශෝධරා සිද්ධාර්ථනේ. ඒ වගේ ආදරයක් මේ කාලයේ හොයන්න බෑනේ. ඒ නිසා දැනට මම ආදරවන්තියක් නෙවෙයි. හැබැයි තනියම ඉන්න එක ගැන සතුටක් තියෙනවා.
නැවත විදෙස්ගත වෙන්න නම් ඇය තුළ අදහසක් නැහැ…
මම මේ වෙද්දී වැඩි කාලයක් හිටියේ රට. ලංකාවට ඇවිත් මාස අටක් වගේ වෙන්නේ. ඒ නිසා ආයේ මම රට යන්නේ නැති වෙයි. ලංකාව තුළ දිගටම ඉන්නවා කියන අදහස තමා තියෙන්නේ.
අනුෂා රණසිංහ