දැන් මං පාවිච්චි කරන්නේ මගේ 254 වැනි වාහනේ - බුද්ධික ජයරත්න



දක්ෂ රංගන ශිල්පී බුද්ධික ජයරත්නට ඉකුත් සති කිහිපය තුළ වෙනස්ම අන්දමේ ප්‍රතිචාර ලැබෙන්නට පටන් ගත්තේය. ඒ දෙවැනි ඉනිම ටෙලිසිතුවමේ ඔහු රඟන්නාවූ චරිතය වෙනුවෙනි. ඒවා අතරින් බුද්ධික වඩාත් සිතගත් අදහස මාත් සමග සමඟ බෙදා ගත්තේ සියුම් ආඩම්බරයක් රැඳී වචන ගලපමිනි.


 


බුද්ධික ඔබ මෙගා නාට්‍යවල රඟපාන්න නැහැ කියලා තීරණයක හිටියා නේද?


මෙගා නාට්‍ය.... නමුත් මම ඒක එහෙම වර්ග කරන්න කැමැති කෙනෙක් නෙමෙයි. දිගු කාලයක් විකාශය වන නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ නැතුව ඉන්නවා කියන තීරණයක මම හිටියා. ඒකෙන් මං අදහස් කරන්නේ නැහැ චරිතයක් තෝරා බේරාගෙන රඟපෑවා කියන එක. මෙහෙම කියන්නම්කෝ, මම ටෙලිනාට්‍ය චරිත ඉතා අල්ප වශයෙන් භාර ගත්තේ. නමුත් අපේ වෘත්තීය කාරණා මත අපට යම් යම් තීරණ වෙනස් කරන්න වෙනවා. ටෙලිනාට්‍යය කියන විෂය අමතක කරල ඉන්න අමාරුයි නළුවෙකු විදිහට. දෙවැනි ඉනිමේ දේශාන් කියන චරිතය මම භාරගත්තේ හේතු කාරණා කිහිපයක් මත. නළුවෙකු විදිහට මම ඉන්නවා කියන කාරණය ප්‍රේක්ෂකයින්ට හඟවන්න ඕනේ. මොකද අපිට අවුරුද්දකට චිත්‍රපටි දහයක රඟපාන්න හම්බ වෙන්නේ නැහැ. එහෙම ලැබෙනවා නම් සමහර විට මම ටෙලිනාට්‍ය නොකරම ඉන්න ඉඩ තිබුණා. වෘත්තීය ජීවිතය ඇතුළේ අපිට එහෙම ඉන්න බැහැ. එක්කෝ උඩුගම් බලා පීනන්නට ඕනේ. නැත්තම් එහෙම නොවී ඉන්න ඕන. මම හිතනවා දෙවැනි ඉනිම නාට්‍යයේ මම බුද්ධික ජයරත්න සලකුණ තැබුවා කියලා. අර කට වචනයෙන් කිව්වොත් ඒක නියමෙට පත්තු වුණා. මෙහෙම හිතන්නකෝ. නිර්මාණයක ප්‍රධාන චරිත රඟපාන නළු නිළියන්ට වැඩිය ඒකෙ වෙන කිසියම් හෝ චරිතයක් රඟපාන නළුවෙකුට හෝ නිළියකට අපේ හිතේ පට්ට ලව් එකක් ඇති වෙනවා. එහෙම වෙන්නේ නළුවා හෝ නිළිය කැමරාව ඉදිරියේ ඒ චරිතයේ ආත්මය දිග හැරීම. ඔහු හෝ ඇය ඒ චරිතයේ ජීවත් වෙනවා. ප්‍රේක්ෂකයෝ පට්ට ලව් කරන්නේ අන්න එතකොට.


 

ඔබ චිත්‍රපට නළුවක් ලෙස හඳුන්වා දෙනවට නේද වඩාත් කැමති?


එතෙන්දි මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙනවා. රංගනයට ඇබ්බැහි වුණා කියලා කියන්නේ ඒක හරියට අබිං කෑවා වගේ වැඩක්. මං අර කිව්ව වගේ අපිට අවුරුද්දකට චිත්‍රපට දහයක් ලැබෙන්නේ නැහැනේ. ලැබෙන්නේ එකයි හෝ වැඩිම වුණොත් දෙකයි. ඒ සීමාව පාවිච්චි කරලා කෙනෙකුට සිය හැකියාව ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරන්න අමාරුයි. තවත් විදිහකට කිව්වොත් බඩ කට පුරා රඟපාන්න මේ ලැබෙන චිත්‍රපටවලින් පමණක් අමාරුයි. අන්න එතෙන්දි අපිට ඒ නාට්‍ය මාධ්‍යයට එන්න සිදු වෙනවා නමුත් මම වඩාත් ප්‍රිය කරන්නේ සිනමා නළුවෙකු ලෙස ක්ෂේත්‍රයේ රැඳී සිටින්න.


 

ඔබ දැන් නිතර පෙනෙන නළුවෙක් බවට පත් වෙලා. මේ තත්ත්වය මත ඔබේ අගය අඩු වෙනව නේද කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්?


සමහර විට ඔය වගේ දේවල් මටත් ඇහිලා තියෙනවා. මෙතෙන්දි මට එකම උත්තරේ දෙයාකාරයකින් දෙන්න පුළුවන්. ඉතා සරලව අපේ කට වචනයෙන් කිව්වොත්, එහෙම ඔය වගේ කතන්දර කියන කවුරුවත් අපෙන් අහන්නේ නැහැ කෑවද බිව්වද කියලා. වෘත්තිමය කලාකරුවෝ විදිහට අපි නොයෙක් ප්‍රශ්නවලට මුහුණ දෙනවා ඒවා තනිවම විඳ දරා ගත යුතුයි. එහෙම කියලා සල්ලි ලැබෙන සෑම හැම නිර්මාණයකටම දායක වෙන්න මම අදහස් කරන්නේ නැහැ. නළුවෙකුට හෝ නිළියකට තමන් බැට් කරන ග්‍රවුන්ඩ් එක අදාළ වන්නේ නැහැ ඔහුට හෝ ඇයට වැදගත් වන්නේ ඒ තරගය පමණයි. තරගයේ ඇතුළෙ තමන් කොතෙක් අවධානයට පාත්‍ර කරගන්නවාද කියල තීරණය කරන්න ඕනේ තමන්මයි. නමුත් හැමදාම එකම තැන ක්‍රීඩා කරන්න හොඳ නැහැ.


 

ඔබ නොකියා කියන්නේ කාලෙකදි දෙවනි ඉනිම නාට්‍යයෙන් ඔබ ඉවත් වෙනවා කියලාද?


වෙන්න පුළුවන්. හැබැයි අද හිතලා හෙට තීරණය අරන් ගෙදර ගිහිල්ලා ෆෝන් ඕෆ් කරගෙන නෙමෙයි දෙවෙනි ඉනිමෙන් අයින් වෙනවා නම් අයින් වෙන්නෙ. ඒක කාලයක් තිස්සේ හොඳට සැලසුම් කරලා, මෙන්න මේ කාලෙදි මම අයින් වෙනවා කියලා සියල්ලම දැනුම්වත් කරලා ක්‍රමානුකූලව තමයි චරිතයෙන් ඉවත් වෙනවා නම් ඉවත් වෙන්නේ.


 

ඔබ  අධ්‍යක්ෂවරයකු ලෙසටද නිර්මාණ ඉදිරිපත් කළා. නමුත් කාලයක් ඔබ ඒ විෂය අතහැරලා හිටියා වගේ පේනවා?


නිර්මාණකරුවෙකු ලෙස මුල් යුගයේදී කළ නිර්මාණ පිළිබඳ අද හැරිලා බලද්දී පොඩි ලැජ්ජාවකුත් ඇති වෙනවා. නමුත් දුකක් නැහැ. කාලයක් තිස්සේ පරිණත වීම තුළින් එහෙම හිතෙනවා වෙන්න ඇති. බලමු... ඉදිරියේදී කිසියම්වූ නිර්මාණයක් ගෙන එන්නට බලාපොරොත්තුවකුත් තියෙනවා.


 

මා මේ කතාවේ මාතෘකාවට වෙනත් පැත්තකට යොමු කළොත්, ඔබ වඩාත් ප්‍රකටයි වාහන වලට ප්‍රිය කරන අයෙකු විදිහට. ඒ වගේම එක් වාහනයක් ඉතා කෙටි කාලයක් තමයි ඔබ පාවිච්චි කරන්න්නේ?


කිව්වට විශ්වාස කරන්න, මම මේ වෙලාවේ පාවිච්චි කරන්නේ මගේ 254 වැනි වාහනය. ඉතා කෙටි කලක් ඇතුළත මම වාහන ගන්නවා විකුනනවා. සමහර වෙලාවට ඒවා මොඩිෆයි කරනවා, මම සාමාන්‍යයෙන් ලීසිං අරන් හිර වෙලා සුපිරි වාහන පාවිච්චි කරන අයෙකු නෙමෙයි. පහසු මුදලට ඉතා සැප පහසුකම් ඇති වාහනයක් තමයි මම මිලදී ගන්නේ. ඉතින් මේක ව්‍යාපාරයක් විදිහටම නෙමෙයි මම කරන්න. යම් ආත්ම තෘප්තියකුත් මං ලබනවා වාහන අරන් විකිණීම තුළින්. බොහෝ අය කරන්නේ ඉතා ඉහළ මිලක් ඇති සැපපහසු වාහනයක් අරගෙන වාහනය පෞරුෂයෙන් තමන් බැබළෙන එක. නමුත් මම කරන්නේ ඒකෙ අනිත් පැත්ත. මගේ පෞරුෂයෙන් තමයි ඒ වාහනය බැබලෙන්නේ.


 

බුද්ධික ඔබ රඟපෑ චිත්‍රපට කිහිපයක්ම තිරගත වන්නට තිබෙනවා.. කොරෝනා වසංගත තත්ත්වය මත තව බොහෝ කාලයක් යාවි සිනමා ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත්වෙලා චිත්‍රපටය ප්‍රදර්ශනය වන්නට?


ඒක සිනමා නළුවෙකු විදිහට අපිට දැඩි බලපෑම් එල්ල කරන තත්ත්වයක්. ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ මිදුණු විශ්වය සහ ආචාර්ය සරත් වීරසේකර මහත්මයාගේ ශ්‍රී සිද්ධා ඇතුළු චිත්‍රපට හතරක් පමණ තියෙනවා මම රඟපාපුවා තිරගත වන්න. විශේෂයෙන්ම මිදුණු විශ්වය ගත්තොත් මම හිතනවා ඒක මගේ සිනමා ජීවිතයේ ටර්නින් පොයින්ට් එකක් වෙයි කියලා. නමුත් අභාග්‍යයකට ඒවා තිරගත වන දිනයක් පේන තෙක් මානෙකවත් නෑ. මම හිතනවා මේ කොවිඩ් වසංගතය අපිට ලොකු පාඩමක් ඉගැන්නුවා. මම හිතනවා මේක ස්වභාවිකවම ජන පාලනය කරන්නට සිදුවූ දෙයක් කියලා. නමුත් අපට එහෙම කියලා මේ පුංචි විසබීජයකට ජයගන්න ඉඩ දීලා බලාගෙන ඉන්න බෑ. අපි දැන් බලන්න ඕනෙ මේක ඉවර වෙලා නැවත ජීවිතය පටන් ගන්නේ කොතැන ඉඳලද කියලා. අපි හිතමු හිතමුකෝ කොරෝනාව යම් දවසක ඉවර වුණා කියලා එතකොට අපි විතරක් නෙවෙයි මුළු ලෝකෙම එක තැනක සිට තමයි නැවතත් ජීවිතය ආරම්භ කරන්නට සූදානම් වන්නේ. එතකොට ලෝකයම තනි ඉරක තියෙන්නෙ. එතැන ඉඳලයි අපේ reset වෙන්නට පටන් ගන්නේ.


 

කොවිඩ් නිසා සිනමාව තවත් අගාධයකට වැටුණා කියලා සමහරු කියනවා?


මම ඒක සියයට සියයක් පිළිගන්නේ නැහැ. අපේ සිනමාශාලා තුළ ප්‍රශ්න තියෙනවා කියලා සමහරු කියනවා. විශේෂයෙන්ම අඩුම තරමේ පහසුකම් සපිරි වැසිකිලියක්වත් නෑ කියලා තමයි කියන්නේ. හැබැයි මම දකින ප්‍රශ්නය ඔය එකක්වත් නෙවෙයි. මිනිස්සු මුත්‍රා බර ඉවසගෙන හරි හොඳ චිත්‍රපටයක් නම් ඒක ඉවර වෙනකම් නරඹාවි. හොඳ චිත්‍රපටි ප්‍රදර්ශනය වෙන්න ඕනේ. ඒකට හොඳ ක්‍රමවේදයක් සැකසිය යුතුයි. චිත්‍රපට හැදීම පිළිබඳව ප්‍රශ්නයක් කොහොමත් දීර්ඝ කාලීනව ක්ෂේත්‍රය තුළ තිබුණා. වර්තමානයේ තියෙන තත්ත්වය මත නිෂ්පාදකවරයෙකු ඉන්නව නම් ඕනෑම අයෙකුට චිත්‍රපටයක් හදන්න පුළුවන්. ඔබ මේ මොහොතේ දී මගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඔබත් එහෙම නේද කළේ කියලා මම කියන්නේ ඔව් කියන උත්තරේ. නමුත් මම කියන්නේ මේකයි. ඔබ හොඳීන් නිරීක්ෂණය කළොත් පේනවා අප රූපවාහිනී නාලිකාවන්හි ඉහළ ගුණාත්මකභාවයකින් යුතු ටෙලි නාට්‍යය අනන්තවත් විකාශය වෙනවා. ඒවා හොඳයි කියලා තීරණය කරන්නට විද්වත් කමිටුවක් තියෙනවා. මං අහන්නේ අපේ සිනමාපටයක් ප්‍රදර්ශනය කරන්න කලින් අන්න ඒ වගේ කමිටුවකින් පාස් වෙලාද ප්‍රදර්ශනය වන්නේ. අපේ සිනමාව අයාලේ ගිහිල්ලා තියෙන තැන එතැන. අනික මේ කොරෝනා වසංගතය යම්තාක් දුරට හෝ අවසන් වෙලා සිනමාපට ප්‍රදර්ශනය වෙන්න පටන් ගත්තායින් පසුව අපි වහාම ගම් මට්ටමට සිනමාව ගේන වැඩ පිළිවෙළක් සකස් කරන්න ඕන. ඉස්සර බලන්න අපේ ප්‍රාදේශීය මට්ටමෙන් තිබුණා ජෝති මිතුරු සමාජය, විජය මිතුරු සමාජය වගේ මිතුරු සමාජ. සමහරුන්ට හිතෙන්න පුලුවන් මේවා හරිම සරල දේවල් කියලා. නැහැ... ඔවුන් තමයි ඉස්සර චිත්‍රපටයක් ප්‍රදර්ශනය වෙන්න පටන් ගත්තට පස්සේ ඒවා මුලින්ම නරඹන්න යන්නෙ. ගිහිල්ලා චිත්‍රපටයට ඔවුන් කට වචනයෙන් නොමිලේම ප්‍රචාරය ලබා දෙනවා. ඒවා අහල තමයි ගොඩක් දෙනා ඉස්සර චිත්‍රපටි බලන්න ගියේ. අපි හැකිතාක් ඉක්මනටම ගම් මට්ටමෙන් සිනමාව දියුණු වන වැඩපිළිවෙලවල් සකසන්න ඕනේ.






Previous Post Next Post