රුසියාවේ පැවැති Miss Sapphire World 2021 රූ රැජින තරගයේ දෙවැනි ස්ථානය ලබා ගන්නට ශ්‍රී ලංකාවේ අපණ්ණකා සමත් වුණා. එම ජයග්‍රහණය ගැන ඇය පුවත්පතකට ෙම් විදියට විස්තර කියා තිබුනා.
අපණ්ණකා කියන්නේ කවුද?
ඉතාමත් සංවේදී, තමන්ගේ දෙපයින් නැගී සිටින්න කැමති කෙනෙක් .මගේ නම තිබ්බේ අප්පච්චි. ඒක ජාතක කතාවකින් එන නමක්. අප්පච්චිට ඕන වුණේ මාව පැති හයකින් බලන්න පුළුවන් කෙනෙක් කරන්න.
පවුලේ විස්තර ටිකක්?
පුංචි පවුලක් ඉන්නේ. අම්මා නම් දැන් රැකියාවක් කරන්නෙ නෑ. අප්පච්චි ලේඛකයෙක්, දේශකයෙක්, වාරි තාක්ෂණය ගැන දැනුමක් ඇති ඇවිදින පුස්තකාලක්. ඔහු ශ්‍රීපානන්ද කුලියාපිටිය. මුලින්ම මම මෝස්තර නිරූපණයට එනවට අප්පච්චි කැමති වුණේම නෑ. නමුත් එයා හැම වෙලේම මට කිව්වේ ධර්මය කියන දර්ශනය එක්ක ඉස්සරහට යන්න කියලා.
ශ්‍රී ලාංකිකයෙක් විදිහට ඔබ ලැබූ මේ ජයග්‍රහණය ගැන මොකද හිතෙන්නේ?
පෞද්ගලිකව මට ඒ ගැන ලොකු ආඩම්බරයක් තියෙනවා. ඉස්සර හරි ලජ්ජශීලී කෙනෙක්. හැබැයි දෙයක් හිතුවොත් මම ඒක කරනවාමයි. මම මානසිකව වැටුණු කෙනෙක්. ඒ දේවල් තමා මට ශක්තියක් වුණේ. ඒත් එක්කම රුසියාවේ බහුතරයක් අය හිතන්නේ ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ කොටසක් කියලා. එවන් විදෙස් රටකදී මෙවන් ජයග්‍රහණයක් ලැබීම ගැන සතුටුයි. දැන් ආයේ අපේ රට ගැන කතා කරනවා.
ජයග්‍රහණය ගැන ලැබුණු ප්‍රතිචාර?
ගොඩක් අය මට සුබ පැතුවා. දන්න අයත් කියනවා මේ ඔයාට ලැබුණු හොඳ අවස්ථාවක් කියලා. ඒ අතරේ හිත් රිදුණ තැනුත් තිබුණා. සමහරු අහලා තිබුණා මේ ජයග්‍රහණය ඇස් වහගනද දුන්නේ කියලා. සමහරුන්ට මාව දැක්කාම බය හිතෙනවා කියලා. ඒ මට විවේචන පුරුදුයි. ඒ නිසාම හිත් රිදීමක් මට දැනෙන්නෙ නෑ.
ඔබ ඇයි කලකිරීමෙන් කතා කරන්නේ?
ලංකාවේ සිද්ද වෙච්ච දේවල් ගැන ලොකු කලකිරීමක් තාමත් හිතේ තියෙනවා.
ලංකාවෙදිත් ඔබ නිරූපණ කටයුතු කළාද?
කළා. නමුත් ලංකාවෙදි මට ලැබුණේ ඉස්සරහට යන්න තරම් හොඳ තල්ලුවක් නෙවේ. ලංකාවේ අය හිතාගෙන ඉන්නේ මොඩ්ලින් කරන්න සුදු වෙන්න ඕන කියලා .
ඇයි එහෙම කියන්නේ?
ලංකාවේ අයට මගේ හම ප්‍රශ්නයක් වුණා. ගොඩක් අය කිව්වේ ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න නම් සුදු වෙන්න ඕන කියලයි.
ඔබ එහෙම කළාද?
මට එහෙම කරන්න තරම් අවශ්‍යතාවක් නෑ. මම කැමති ස්වභාවික ආකාරයටම වේදිකාවට යන්න. අද මම මුළු ලෝකයම ඉස්සරහට ගියේ ඒ ආකාරයට තමයි. මේ ජයග්‍රහණය මට ලැබුණේ මගේ ස්වභාවික පෙනුමට. මාව වෙනස් කරලා ලබන ජයග්‍රහණවලින් කිසිම ඵලක් නැහැ.
ලංකාව ගැන කලකිරීමක්ද තියෙන්නේ?
ලංකාවට මම ආදරෙයි. හැබැයි සමහරු හරිම ආත්මාර්ථකාමී විදිහට තමයි මට සැලකුවේ. මගේ දත්වලට පවා දොස් කිව්වා. නමුත් අද ඒ හැම දේකටම සාධාරණ උත්තරයක් ලැබිලා තියෙනවා.
ඔබ මේ තරගයට අයැදුම් කළේ කොහොමද?
ශාන්ත පීටස්බර්ග්වලට ආපු ගමන් අපි හැමෝටම කරන්න තියෙන්නේ පිරිසුදු කිරීමේ රැකියාවක්. භාෂාව බැරි නම් ටිකක් අපහසුයි. මම ඒ අතබරේ බැලුවා මෙහෙ නිරූපණ ක්ෂේත්‍රයේ තත්ත්වය ගැන. අපි වගේ අයට අවස්ථාවක් තියෙනවාද කියලා. මම ගුරු වෘත්තිය කරන ගමන් ඡායාරූප ශිල්පියෙක් හඳුනා ගත්තා. මම කරපු පළවැනි ඡායාරූප එකතුව නිසා ගොඩක් අය මාව දැන ගත්තා. නිරූපණ ක්ෂේත්‍රයේ ඉද්දි මට මගේ යාළුවෙක් තමා මේ තරගය ගැන කිව්වේ.
ඔබේ රුසියානු සරසවිය ගැන කියන්න…
ඇත්තටම පළවැනි වසර හොඳින් ගෙවුණා. නමුත් කොරෝනා අවදානම මැද මේ හැමදේම යන්නේ. මේ දවස්වල ආයේ ලොක්ඩවුන් එකක ඉන්නේ. තාම ඉස්සර වගේ හරියටම ආරම්භ වෙලා නෑ. ඒ වගේම නිරූපණ කටයුතු මම භාර ගන්නේ සති අන්තයේදී.
ඔබේ අනාගත බලාපොරොත්තු?
මගේ ලොකුම බලාපොරොත්තු මගේ කකුල් දෙකෙන් තනියෙන් නැගිටින එක. ඒ වගේම මගේ අම්මයි, අප්පච්චයි මට දුන්නු ආදරේ ඉහළයි. ඒ අයව කවදාහරි පුළුවන් විදිහට උපරිමෙන් මම බලාගන්න ඕන.
නිරූපණ ක්ෂේත්‍රයේ ලංකාව සහ රුසියාවේ දෙරටේ ඔබ දකින වෙනස?
ලොකු වෙනසක් තියෙනවා. ක්ෂේත්‍රයේ විතරක් නෙවෙයි, ප්‍රේක්ෂකයනුත් කලාවක් විදිහට තමයි මෙය දකින්නේ. හැමෝටම කලාව ගැන ලොකු අවබෝධයක් තියෙනවා. කිසිම කෙනෙක් අනවශ්‍ය ලෙස විවේචනයට ලක්වෙන්නේ නැහැ. නිරූපණ ක්ෂේත්‍රයේ අය හරි එකමුතුයි. පුංචි උදාහරණයක් කියන්නම්. එදා පැජන්ට් එක දවසේ එක් තරගකාරියකට සපත්තුවක ප්‍රශ්නයක් ආවා. හැබැයි ඒ ඉසව්වෙම තවත් තරගකාරියක් ඇයට සපත්තුව ගලවලා දීලා උදව් කළා.
ආදරය හා බැඳීම් ගැන මොකද හිතෙන්නේ?
අම්මගෙයි, තාත්තගෙයි, යාළුවන්ගෙයි උපරිම ආදරය ලැබෙනවා. මම ඉන්න රටේ මිනිස්සු හරිම ආදරණීයයි. රුසියානුවෝ ආගන්තුක සත්කාරය උපරිමයෙන් ඉටු කරනවා. ප්‍රශ්නයක් තියෙනවා නම් මූණටම කියනවා. ඒ වගේම කළු අය මෙහේ අඩුයි. එහෙම වුණා කියලා අපට වෙනසක් කරන්නේ නැහැ. මෙහේ ආපු දවසේ ඉඳලා පුදුමාකාර දුකක් වින්දා. හැබැයි සාර්ථකත්වය මට දැන් පේන තෙක් මානයේ තියෙනවා.
චතුර රණසිංහ