පී.සී.ආර්. කරලා ප්‍රතිඵල එනකම් හිතේ පුංචි බයක් දැනුණා - සංගීත් ප්‍රභූ

 


මේ දවස්වල විකාශය වන ජනප්‍රියතම ටෙලිනාට්‍යයක් තමයි ‘නාඩගම්කාරයෝ.’ ටෙලිනාට්‍යයේ මාලන්, සරා, කවඩියා ලෙසට චරිත නිරූපණය කළ රංගන ශිල්පීන් තිදෙනකුට කොරෝනා වැලඳී ඇති බව කටකතාවක් පැතිරී ගියා. ඒ සියලුම ශිල්පීන්ට ඉක්මන් සුවය හදවතින් ප්‍රාර්ථනා කරන අතර ‘කවඩියා’ ලෙසට චරිතය නිරූපණය කළ සංගීත් ප්‍රභූගේ සුවදුක් කොහොමද කියලා පුවත්පතකට මෙලෙස කියා තිබෙනවා. 




 ඉතින් කොහොමද සංගීත් ඔබගේ අසනීප තත්ත්වය?

එහෙම ඉතින් කියන්න තරම් ලොකු වෙනසක් මට දැනෙන්නේ නැහැ. වෙනදා වගේම සාමාන්‍ය විදියට ඉන්නවා. වෙනසකට තියෙන්නෙ ඉතින් වෙනම කාමරයක තනියම නිරෝධායනය වෙනවා. එයත් මට වෙනස්ම අත්දැකීමක්. හික්කඩුවේ හෝටලයක තමයි මමයි, සජිත නතර වෙලා ඉන්නේ. මට එහා පැත්තේ කාමරයේ තමයි සජිත ඉන්නේ.


 මුළු ලෝකයම වැලඳගත්ත වෛරසයක් වුණත් ඔබට එය වැලඳී ඇති බව දැනුණු විට මොනවගේ හැඟීමක්ද දැනුණේ?

හරි ඒකත් හැදුණා කියලා හිත හදාගත්තා. මම ලෙඩේට කොහොමත් බයක් තිබුණේ නැහැ. නමුත් ‘පී.සී.ආර්.’ කරලා ප්‍රතිඵල එනකම් හිතේ පුංචි බයක් දැනුණා.


‘නාඩගම්’ නටන්න ගිහින් අවසානයේ වුණුදේ නේද?

එහෙම හිතේ කලකිරීමක් නැහැ මගේ. මොකද මම, සජිත, කෝකිල අනෙකුත් ශිල්පීන් සියලුම දෙනා එකතුවෙලා කරපු වැඩක් තමයි ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යය. ඉතින් රටේ මේ වගේ තත්ත්වයක් තිබෙන බව දැන දැනත් අපි කලාව වෙනුවෙන් කැපවීමක් කළා. කරපු වැඩේ ගැන සතුටු වෙනවා ලැබෙන ප්‍රතිචාරත් එක්ක. මම, සජිත, කෝකිල අපි තුන්දෙනා තමයි නිරෝධායනය වෙන්නේ. වෙන කාටවත් එහෙම ප්‍රශ්නයක් නැහැ.


 ඔබ රඟපෑ චරිත අතරින් ‘කවඩියා’ චරිතයට විශේෂ තැනක් හිමිවෙනවා?

මම හිතුවෙත් නැහැ මේ චරිතය මේ තරම් ජනප්‍රිය වෙයි කියලා. මම මෙයට කලින් මෙහෙම චරිතයක් කරලා නැහැ. නළුවෙක් වුණාම ලස්සන චරිත තමයි රඟපාන්නේ. හැබැයි ‘කවඩියා’ ලස්සන නොවුණත් ඔහුගේ කතාවට, ගමන තුළින් මම ‘කවඩියා’ ලස්සන කිරීමට උත්සාහ කළා. සමාජයේ මමත් එක්ක ගැටෙන චරිත කිහිපයක් ආභාෂයට ගනිමින් ‘කවඩියා’ උපරිම ලෙසට කිරීමට මම උත්සාහ කළා.


ඔබේ ඒ උත්සාහයත් එක්ක මෙවර ඔබත් ජනප්‍රිය නළුවාට නිර්දේශ වෙලා?

‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයේ ‘කවඩියා’ චරිතය නිසා තමයි මම ඒ නිර්දේශ නාම අතරට එකතු වුණේ. මෙයට කලින් කිසිම සම්මාන උළෙලක මගේ නම නිර්දේශිත නම් අතරට එකතුවෙලා නැහැ. ඉතින් එය ගැන මට සතුටුයි.


වර්තමානයේ ටෙලිනාට්‍යවල ශිල්පීන් කොටුවීමක් අප දැක තිබුණත්, ඔබේ රඟපෑම තුළ වෙනසක් අපිට පෙනෙනවා?

මාව ගොඩදෙනෙක් දැන හඳුන ගත්තේ ‘සල් සපුනා’ ටෙලිනාට්‍ය හරහා. ලැබුණු ප්‍රතිචාරත් එක්ක මට දැනුණා මම ජනප්‍රිය වෙලා කියලා. ඒත් මම එය ගැන හිතන්නේ නැතුව වැඩ කළා. මගේ තිබෙන වාසනාවකට මට විවිධ චරිත ලැබුණා. හරියටම කිවුවොත් මැජික් එකක් වගේ. එකිනෙකට වෙනසක්. ඉතින් ඒ නිසාම මාව එකම චරිතයකට සීමාකර ගැනීමට නොහැකි වුණා. අනෙකුත් ශිල්පීන්ට වුණු දේම මටත් වුණා නම් මගේ දක්‍ෂතාවය තවත් එක තැනකට වෙලා හිරවෙලා තියේවි.


 ගොඩදෙනෙක් උඩට යනකොට එක්තරා රෝගයක් හැදෙනවා?

ඔබ ඔය අහන්නේ මුල අමතක වෙන එක ගැන වෙන්න ඇති. එහෙම පිරිසකුත් ඇති. හැබැයි මේ සංගීත් කවදත් මේ විදියමයි. ජනප්‍රිය වෙනවා කියන එක පහසු දෙයක් නෙවේ. හැබැයි ඒ වගේම ජනප්‍රියතාවය රඳවා ගන්නවා කියන එක එයටත් වඩා බැරෑරුම් වැඩක් කියලයි මම හිතන්නේ. අනෙක එහෙම වෙනස් වුණා කියලා අපිට ලැබෙන දේකුත් නැහැනේ.


 ඔබගේ ජීවිතයට මේ ලැබෙන දේවල් ගැන මොකද හිතෙන්නේ?

මම ජීවිතයේ වැටි වැටී නැඟිටපු කෙනෙක්. ඉතින් හැමදේම වෙන්නේ හොඳටයි කියලා සතුටින් හිනාවෙලා ජීවත් වෙන එක තමයි මගේ අරමුණ.


වසන්ත විතාරණගේ





Previous Post Next Post