නිවේදයකුගේ කාර්යභාරය නිවැරදි ලෙස හසුරුවන ඔහු ඇත්තෙන්ම දක්ෂ කලාකරුවෙක්. සමාජ මාධ්‍ය හරහා කුණුහරුපවලට, ඕපදුපවලට එහා ගිය බොහෝ දේ කළ හැකි බව සක්සුදක් සේ ඔප්පු කළ ඔහු සාමාජීය ප්‍රශ්න ඉස්මතු කරන ධනාත්මක ආකල්ප සමාජගත කරන තෝතැන්නක් නිර්මාණය කළා. ඔහු නමින් ළහිරු මුදලිගේ. ඒ නිහතමානි සන්නිවේදකයා මේ දවස්වල කරන වැඩ කටයුතු ගැන පුවත් පතකට මෙලෙස විස්තර කියා තිබුනා.
මේ දවස්වල අතිශය කාර්යබහුලයි. හරි TV නාළිකාවේ දැනට කරගෙන යන සහ ඉදිරියට කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න වැඩ කටයුතු සැලසුම් කරමින් ඉන්නවා. 'Stand by with Lahiru' වැඩසටහන මේ දවස්වල ඉතා හොඳින් කරගෙන යනවා.
ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසුණු මුල් කාලයේ ඉඳලම ඔබේ දක්ෂතාවට සරිලන මහපෙන්වීමක්, හැසිරවීමක්, යොමු කිරීමක් ඔබට ලැබුණා කියලා හිතනවද?
අනිවාර්යයෙන්ම ඔව්. මුලින්ම මම ළමා ශිල්පියෙක් විධියට මහනුවර කදුරට සේවයට සම්බන්ධ වුණා. මම අධ්‍යාපනය ලැබුවේ මහනුවර, වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලයේ. ඒ වකවානුවේදී නන්දා රඹුක්වැල්ල ,ප්‍රේමලාල් ජයසිංහ වැනි අයගේ ගුරුහරුකම් ලැබුණා. මට වයස අවුරුදු 6දී වගේ මම මුතුහරට සම්බන්ධ වුණා. එහිදී ලලිතා සිරිභද්‍ර ගුරුවරිය යටතේ බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ළමා පිටියට සම්බන්ධ වුණා. එහිදී හසිතා ගුණරත්න නැන්දාගේ ගුරුහරුකම් ලැබුණා. ඇය මාව පුහුණු කළා. ළමා නිවේදකයෙක් ලෙස සියලු තැන්හිදීම මට නිසි මඟපෙන්වීමක් ලැබුණා. හැමෝටම ඒ වගේ අවස්ථා සහ නිසි මගපෙන්වීමක් ලැබෙන්නේ නැහැ. නමුත් එතැනදී මම වාසනාවන්ත වුණා. වෘත්තීයමය ජීවිතයකට එළැඹුණු පසුව හේමනලිත් කරුණාරත්න මහතා මගේ මුල්ම ගුරුවරයා බවට පත් වෙනවා. ගුරු මුෂ්ටියකින් තොරව ඔහු මට සියලු දේ ඉගැන්වුවා. මාධ්‍ය ජීවිතය තුළදී බුද්ධික කුලසේස්කර, රංග කලංසූරිය, තනූජා ජයවර්ධන වැනි බොහෝ පිරිසක් මට ගුරුහරුකම් ලබාදුන්නා. ඔවුන් සියලුදෙනාගේ කැපවීම, ලංකාවේ ප්‍රධාන මාධ්‍යයට අභියෝග කළ හැකි එහෙමත් නැත්නම් ප්‍රධාන මාධ්‍ය තුළ තියෙන දේවල් සමාජ මාධ්‍ය වෙත ගේන්න පුළුවන් මට්ටමක් නිර්මාණය කරන්න හේතු වුණා කියලා මම විශ්වාස කරනවා.
ලංකාවේ ප්‍රසිද්ධ නාළිකාවක යම් කාලසීමාවක් වැඩ කරලා එක්වරම නාළිකාවෙන් ඉවත්වෙලා සමාජ මාධ්‍ය වෙත යොමු වෙන්න තීරණය කළේ ඇයි?
මම විශේෂයෙන්ම කියන්න ඕනි ළහිරු මුදලිගේ කියන පුද්ගලයාව නිර්මාණය කළේ ස්වර්ණවාහිනි නාළිකාව. ඔවුන් මගේ හැකියාවන් වැඩිදියුණු කරගන්න බොහෝ අවස්ථාවන් ලබාදුන්නා. අවුරුදු 13ක වගේ කාලයක් මම ස්වර්ණවාහිනියේ වැඩ කළා. ඒ තුළින් මට ගොඩක් දේවල් ලැබුණා. ඒ වගේම මට යම් දෙයක් කරන්න ඕනි නම් ඒකේ අවදානම ගන්න මම බය වෙන්නේ නැහැ. මොකද මට මං ගැන විශ්වාසයක් තියෙනවා. ස්වර්ණවාහිනිය මට ලබාදුන් දේවල් හා සමානව මම මගේ පූර්ණ දායකත්වය ඔවුන්ට ලබාදුන්නා. ඊට පස්සේ මම තීරණය කළා මගේම දෙයක් කරන්න ඕනි කියලා. මම බොහොම ගෞරවාන්විතව ස්වර්ණවාහිනියට සමු දිලා මගේ අභිප්‍රාය සපුරා ගත්තා. ඒ විදියට තමයි හරි TV Creation' කියන නිපාදන ආයතනය පටන් ගත්තේ .
ඒ හරහා ඔබට ආර්ථිකමය ලාභයක් ලැබෙනවද?
ආර්ථික ලාභයක් තියෙනවා. ලංකාවේ ප්‍රධාන මාධ්‍ය සඳහා තමයි විශාල අනුග්‍රාහකයන් පිරිසක් එකතු වෙලා ඉන්නේ. විශාල වෙළෙඳ දැන්වීම් ප්‍රමාණයක් ලබාදෙන්නේ. ඇතැම් මාධ්‍ය ආයතනවල ඒ වෙනුවෙන් වෙනම පිරිසක් යොදවලා තියෙනවා. ඒ දේවල් කළමනාකරණය කරගන්න. නමුත් හරි TV සමාජ මාධ්‍ය නාලිකාවක් වුණත් විශාල අනුග්‍රාහකයන් පිරිසක් අපි සමඟ ඍජුවම සම්බන්ධ වෙලා ඉන්නවා. ඔවුන්ගේ අනුග්‍රාහකත්වය ලබාදීලා තියෙනවා.
ඔබේ Youtube නාළිකාව තුළ අසභ්‍ය දේවල් සහ ඕපාදූපවලට එහා ගිය බොහෝ දේවල් කතාබහට ලක්වෙනවා. එහෙම කතාබහකට සුදුසු පුද්ගලයෙක් තෝරා ගැනීමේදී සලකා බලන විශේෂ කරුණු මොනවද?
මට හැමෝම කරන දෙයක් කරන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. මම සමාජ මාධ්‍ය තුළ වෙනසක් ඇති කළා. එහෙම කරපු නිසා තමයි අද ඔයා මේ ප්‍රශ්නය මගෙන් අහන්නේ. සමාජ මාධ්‍ය තුළ නමක් ගොඩනැඟුණේ, පිළිගැනීමක් ලැබුණේ, සමාජය විසින් ඉහළින්ම පිළිගත් චරිත මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නෙත් මේ තුළ තියෙන ගුණාත්මකභාවය, අන්තර්ගතය සහ ප්‍රමිතිය නිසා. වැඩසටහන සඳහා පුද්ගලයෙක් තෝරා ගැනීමේදී අපි ඔවුන් පිළිබඳව අධික්ෂි ණය කරනවා. ඒ සඳහා වෙනම පිරිසක් ඉන්නවා. ඔවුන්ගෙන් ලැබෙන තොරතුරුවලින් අපි සැලසුම් කරනවා මොනවද වැඩසටහන තුළ කතාබහ කරන්න ඕනි කියලා. ඇත්තටම ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ආයතනවලවත් එහෙම කණ්ඩායමක් නැහැ. නිෂ්පාදකවරයාට හිතෙන කෙනාව තමයි අඩුව පුරවන්න යොදාගන්නේ. අපි යම් චරිතයක් තෝරා ගත්තට පස්සේ ඔහු හෝ ඇය පිළිබඳව යම් ප්‍රමාණයක් කතා කරලා 50%ක් වගේ තියාගන්නේ සාමාජීය කරුණු සහ කාලින ගැටලු සම්බන්ධව.
ප්‍රේක්ෂක අවධානය යොමු වුණු පිරිසක් ඔබේ වැඩසටහන් සඳහා සම්බන්ධ කරගන්නේ නාළිකාව promote කරගන්නද?
ඒක මෙහෙමයි. ප්‍රේක්ෂක අවධානයට යොමු වුණු පිරිස වැඩසටහනට සම්බන්ධ කරගන්න උත්සාහ කරන්නෙ මගේ නාළිකාව විතරක් නෙවෙයි. ප්‍රධාන නාළිකාවලිනුත් උත්සාහ කරනවා. නමුත් ඔවුන් විශේෂයෙන්ම මගේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ මම අර කලින් කිව්ව හේතුව නිසා. මගේ නාළිකාව promote වෙනවා. නමුත් අපි නාළිකාව තුළ කතාබහ කරන්නේ නොවැදගත් දේවල් නෙවෙයි. නිරන්තරයෙන්ම කතා කරන්නේ අවධානය යොමු කළ යුතු, ප්‍රේක්ෂිකයන්ව උද්දීපනය කරන, අභිප්‍රේරණය කරන කරුණු පිළිබඳව. මේ වැඩසටහන් සමග සම්බන්ධ වුණු බොහෝ පිරිසක් බලාපොරොත්තු නොවූ විධියට ඔවුන්ගේ ප්‍රතිරූපයට ආකර්ෂණයක් එකතු කරගන්න සමත් වුණා.