මිනිස්සු එක්ක ඉන්නවට වඩා මම සත්තු එක්ක ඉන්න කැමැතියි - මංජුල පුෂ්පකුමාර

 


සිරස සුපර් ස්ටර් වැඩසටහන ඔස්සේ, ප්‍රේක්ෂක හදවත්වලට සමීප වෙමින්, සංවේදී කටහඬක් හිමි ගායකයකු ලෙස ජනාදාරයට පත් මංජුල පුෂ්පකුමාරව කාලයක් තිස්සේ  ක්ෂේත්‍රයේ වැඩකටයුතුවල දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් පසුගිය දවසක යෙදුණු ඔහුගේ ජන්ම දිනය දවසේ කළ සමාජ සත්කාරක ක්‍රියාවක් පිළිබඳව බොහොමයක් දෙනා කතා බහ කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි ඒ කර්තව්‍යය, ඔහුගේ අලුතින්ම පවත්වාගෙන යන ව්‍යාපාරය සහ ඔහුගේ කලා කටයුතු යන සියල්ල ගැන ඔහු පුවත්පකට විස්තර මෙලෙස කියා තිබුනා.


මංජුල පුෂ්පකුමාර මේ දවස්වල මොකද කරන්නේ?

කොරෝනා තත්ත්වය නිසා මේ දවස්වල සංගීත වැඩ කටයුතුවල නියැළෙන්නේ හරිම අඩුවෙන්. ඒ නිසාම මගේ ව්‍යාපාරය වෙනුවෙන් ප්‍රමුඛතාව දීලා වැඩ කරනවා. සම්පූර්ණ කාලයම ව්‍යාපාරය වෙනුවෙන් යොදනවා.


මේ දවස්වල සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් දක්වන දායකත්වය අඩු වෙලාද?

දායකත්වය කියන්නේ මගේ විතරක් නෙමෙයි හැමෝන්ගෙම දායකත්වය අඩුවෙලා මේ  කොවිඩ් තත්වය නිසා. දැන් වසරක තිස්සේ කාලයක ඉඳලා සියලුම සංගීත වැඩ කටයුතු අක්‍රියව තියෙන්නේ. ඉතින් ඒක තමයි ක්ෂේත්‍රයේ මාව වැඩිය දකින්න නැති වෙන්න හේතුව.


පැරණි ගීතයක් අලුත් කරන්න හදනවා කියලා පසුගිය කාලේ පොඩි කතා බහක් ඇති වුණා. ඇත්තටම ඒ වැඩේ මොකද වුණේ?

ඒක බාහිර පාර්ශ්වයකින් ආපු ඇරයුමක්. බොහෝ අය කිව්වා රීමේක් එකක් කරමු කියලා. ඉතින් ඒ ආරාධනාව එක්ක මම පැරණි ගීත 3ක්ම තෝරගත්තා ඒ සඳහා. මාස කිහිපයකට කලින් කරන්න හිටියත් ඒ වැඩ කටයුත්ත ප්‍රමාද වුණා. නමුත් ඉදිරියේදී ඒ ගීත තුනෙන් එකක් අනිවාර්යයෙන්ම රීමේක් එකක් විධියට එළියට දානවා. 


ඔබ වැඩි වශයෙන් විරහ ගීත ගායනා කරන්නේ ලංකාවේ වර්තමාන පරම්පරාව ඒ පැත්තට වැඩිපුර නැඹුරු වෙලා තියෙන නිසාද?   එහෙමත් නැත්නම් ලංකාව ඇතුළේ දුක, වේදනාව, විරහව මාකට් කරන්න පුළුවන් නිසාද? 

මම හිතලා විරහ ගීත නිර්මාණය කළා කියලා මම කියන්නේ නැහැ. ලංකාවේ කොහොමත් විරහ ගීත තමයි මාකට් වෙන්නේ. අලෙවි වෙන්නේ. අනිත් කාරණාව තමයි මගේ කටහඩ සංවේදී ස්වරූපයක් තියෙන නිසා මම හිතනවා විරහ ගීත සඳහා තමයි ඒක වඩාත් ගැළපෙන්නේ කියලා. නමුත් ඉතින් දැන්නම් විරහ ගීත කියන රැල්ල සෑහෙන්න සවුත්තු වෙලා තියෙන්නේ. දැන් හැමෝම අඩනවා. ඒ නිසා තමයි මම පොඩ්ඩක් ඒකෙන් අයින් වෙලා විවේකයක් ගත්තෙත්. කොහොම වුණත් විරහ ගීත කියන්නේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ ඕනම තැනක අලෙවි කරන්න පුළුවන් ප්‍රඩක්ට් එකක්.


ඉදිරියට මොනවද කරන්න හිතාගෙන ඉන්න අලුත් වැඩ?

ඉදිරියට නම් ඉතින් ගොඩක් සැලසුම් තියෙනවා. මම සහ මගේ බිරිය එකතුවෙලා කරන බිස්නස් එක තමයි ලොකුම දේ ඒ අතරින්. විශේෂයෙන්ම කියන්න ඕන මම සංගීතය නම් කරන්නේ මුදල් ඉලක්ක කරගෙන නෙමෙයි. ඉස්සර ඉඳලම මම සංගීතය කළේ විනෝදාංශයක් විදියට. ඉතින් සැලසුම් ගොඩක් තියෙනවා. ඒවා කියනවට වඩා කරලා පෙන්වන එක වටිනවා.


මොකද්ද ඇත්තටම ඔබට බල්ලන් සමඟ තියෙන සම්බන්ධතාව, ගනුදෙනුව?

පොඩි කාලේ ඉඳලම මම සත්තුන්ට ආදරෙයි. ඒක බොරු ආදරයක් නෙමෙයි. මම හිතනවා මගේ ඒ ආදරය තවත් වැඩි වුණා. මගේ බිරිය නිසා. ඇය සතුන්ට බොහොම කරුණාවන්තයි. අපේ ව්‍යාපාරයෙනුත් සැලකිය යුතු මුදලක් ඇය සතු වෙනුවෙන් අයින් කරනවා හැම මොහොතකම. ඉතින් හැප්පුණු සත්තු, තුවාල වුණු සත්තු ගොඩක් අපේ ගෙදර මේ වෙද්දි ඉන්නවා. සංඛ්‍යාත්මකව කිවොත් විසි ගණනක්. සතු අවංකයි. සත්තු අසරණයි. ඒ නිසා මම හැම වෙලාවෙම මිනිස්සු එක්ක ඉන්නවට වඩා සත්තු එක්ක ඉන්න කැමැතියි.


ඔබේ ජන්ම දිනය වෙනුවෙන් මහා පරිමාණයෙන් නොවුණත් විශේෂ දෙයක් කරලා තිබුණා. ඒ ගැනත් කතා කරමු?

මගේ උපන් දින්ට විතරක් නෙමෙයි හැමදාම මම සත්තු වෙනුවෙන් විශේෂ දෙයක් කරනවා. දෙනිකව සත්තු විසි ගණනකට කන්න දෙනවා. අපි රයිස් එකක් ගෙනාවොත් එයාලටත් රයිස් දෙනවා. අපි බිස්කට් ගෙනාවොත් එයාලටත් බිස්කට් දෙනවා. ඉතින් උපන් දිනය දවසෙත් මගේ ගෙදර සත්තු ටිකට හොඳින් කන්න බොන්න දුන්නා. සමහරු කියයි ඕවා කරලා FB දාන්නේ ඇයි කියලා. නමුත් මම දැම්මා. මම කියන්නේ ගොන් වැඩ කරලා ඒවා මිනිස්සුන්ට FB දාන්න පුළුවන් නම් ආදර්ශවත් වැඩක් කරලා ඒක FB දාන එක කොහොමත් අවුලක් නැහැ. ඒකෙන් දෙයක් ගන්න ඕන කෙනා ගනියි.


ඉදිරියේදී අසරන්න සතුන් වෙනුවෙන් සමාජ සත්කාරක කර්තව්‍යයක් කිරීමට බලාපොරොත්තු වෙනවද?

මම සහ මගේ බිරිය හොයන සල්ලිවලින් ගෙදර ඉන්න සත්තුන්ට, පාරේ ඉන්න සත්තුන්ට සලකන එක, කන්න බොන්න දෙන එක තමයි ඔබ ඔය සමාජ සත්කාරයක් විධියට හදදුන්වන්නේ. මම ආයතනයක් වගේ එකක් හදලා සත්තුන්ට සලකන්න අදහසක් නෑ. මොකද ලංකාවේ ගොඩක් සුරතල් සතුන් සම්බන්ධ ආයතන තියෙනවා. ඒවා සත්තුන්ට සත්කාර කරනවා. කොහොම වෙතත් සත්තු ඉස්සරහට දාලා හම්බ කරගන්න එක තමයි කරන්නේ. මට ඒ වැඩේ කවදාවත් කරන්න ඕන නෑ. එහෙම කරලා කැත නම ගාවගන්න ඕනෙත් නෑ.



ඔබේ වැඩකටයුතුවලට පවුලේ සාමාජිකයන්ගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?

පවුලේ සහයෝගය කියන්නේ මගේ හැම වැඩකටම උදවු කරන්නේ බිරිය තමයි. ව්‍යාපාර කටයුතුත් අපි දෙන්නා කරන්නේ හවුලේ. ඒ වගේම මගේ සංගීත වැඩ කටයුතුවලටත් සහාය දෙන්නේ ඇය. මමත් ඇයගේ ගමනට මගේ උපරිම සහාය දෙනවා. අපි දෙන්නට දෙන්නා හැම වෙලාවෙම සහයෝගයෙන් කටයුතු කරනවා.


ඇත්ත වශයෙන්ම ඔබට ලංකාවේ මාධ්‍ය පිළිබඳව විවේචනයක් තියෙනවද?

ඇත්තටම කිව්වොත් ලංකාවේ මාධ්‍යයකින් තමයි මම ආවේ. නමුත් මට මාධ්‍ය ගැන විස්වේචන නැතුව නෙමෙයි. ගොඩක් වෙලාවට ලංකාවේ මාධ්‍යවලින් එකම පිරිසක් තමයි හැමදාම උත්කර්ෂයට නගන්නේ. අර ලොක්කා එක්ක හොඳට සම්බන්ධ වෙන කෙනාව. මේ ලොක්කා එක්ක හොඳට සම්බන්ධ වෙන කෙනාව. ඒ ගැන කනගාටුවක් තියෙනවා. මාව ක්ෂේත්‍රයේ ගොඩක් වෙලාවට පේන්න නැතිවෙන්න හේතුවත් ඔන්න ඕක. මම කැමති නෑ අර ලොක්කා එක්ක ඉඳලා, මේ ලොක්කා එක්ක ඉඳලා චරිත රඟපාලා, වාසිය තකා වෙනම ප්‍රතිරූප නඩත්තු කරන්න.


අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නේ?

මීට වසර ගණනකට කලින් මාව කවුරුත් දැනගෙන හිටියෙ නෑ. නමුත් අද මම මෙතන ඉන්නවා. ඒ ගමන එන්න මට උදවු කරපු, කකුලෙන් ඇදපු හැමෝටම ස්තූතියි. ඒ වගේම මම ආපු ගමන ගැන මම ගොඩක් තෘප්තිමත්.


නිකේලා රණතුංග







Previous Post Next Post