ඇත්තටත් මං සුවච කීකරු ස්වාමිපුරුෂයෙක් - ගිරිරාජ් කෞශල්‍යය

 



"ඉසුරු භවනේ - කුරුනේරු", "සිහින පුරයේ - බන්ටි", "තක්සලාව - ලූකස් මුදලාලි", සකල ගුරු - පික්සරි පොඩි මහත්තයා" ආදී ලෙසින් එක් එක් කාලවලදී විවිධ වූ චරිතවලින් අපගේ සිත් කෙනෙහි ලැගුම්ගත් ඔහුව මේ දවස්වල වැඩිපුරම ටෙලිවිෂනයේ  දකින්නේ "නාඩගම්කාරයෝ" හි "කුකුලා ලකුණ" විලසිනුයි. ඔහු ගිරිරාජ් කෞශල්‍යයයි. ඉතිං ඔහුගේ කලා කටයුතු ගැන තොරතුරු පුවත්පතකට මෙලෙසින් කියා තිබෙනවා.


කොහොමද මේ දවස්වල ජීවිතේ?

මේ දවස්වල හිරු නාළිකාවේ විකාශය වන "අකුරු මැකී නෑ" ටෙලි නාට්‍ය වගේම ශ්වර්ණවාහිනියේ "නාඩගම්කාරයෝ" ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම නැවතත් "සකල ගුරු" ආරම්භ කිරීමට සූදානම් වෙනවා. එහිත් නුදුරේන්ම රූගත කිරීම් පටන් ගනීවී. 


ගිරිරාජ් කෞශල්‍ය කියන්නේ වේදිකාවෙත්, පුංචි තිරයෙත්, පුංචි තිරයෙන් රිදී තිරයත් ආක්‍රමණය කළ කෙනෙක්.  ඔබ කොහොමද මේ ත්‍රිත්වයේ ඇති විවිධත්වය දකින්නේ?


වේදිකා නාට්‍ය කියන්නේ හරිම සජීවී මාධ්‍යයක්. සමහර විට මංගල දර්ශනයයි කොටස් 50ක් අවසානයේදී දර්ශනයයි හාත්පසින්ම වෙනස් වෙන්න පුළුවන්. සම්පූර්ණ නාට්‍යයම වෙනස් නොවුණත් වේදිකා නාට්‍යයත් හරියට ගලාගෙන යන ගහක් වගේ තපරෙන් තත්පරය වෙනස් වෙනවා. ටෙලි නාට්‍යයටයි, සිනමාවටයි ටිකක් ළඟ සම්බන්ධයක් තියෙනවා. හැබැයි සිනමාවේ පුළුල් තිරයකින් දිවෙන නිසා භාවමය ඉරියව්වලට වැඩි අවධානයක් යොමු කරනවා.


බොහොමයක් නළු නිළියන් රංගනයට පිවිසෙන්නේ සැලසුම් සහගතව. හැබැයි ඔබ රඟපෑමට යොමුවන්නේ අහඹු සිදුවීමකින් එහෙම නේද?

මං මුලින්ම රඟපාන්නේ ප්‍රසන්නජිත් අබේසුන්දරගේ දුක්ගන්නාරාල' කියන වේදිකා නාට්‍යයේ. එහිදී නළුවෙක්ගේ අඩුවක් පුරවන්නයි වේදිකාවට පය තියන්නේ. ඒ වෙනකොටත් රඟපෑමේ සැලසුමක් මගේ ඇඟ ඇතුළේ තිබිලා තියෙනවා. නැත්නම් එක පාරට වේදිකා නාට්‍යයක රඟපාන්න පුළුවන් වෙයි කියලා මං හිතන්නේ නැහැ. මගේ අයියා ලලිත් ජනකාන්ත. ඔහු බොහෝ කාලයක් තිස්සේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණු කෙනෙක්. අයියා රගපාපු හැම නාට්‍යයක්ම මං බලලා තිබ්බා. ඒ දෙබස් ඒ ගීත මං හැමතිස්සෙම තනියෙන් මිමිණුවා. වේදිකා නාට්‍යවලට තිබ්බ ආදරය තමයි මාව රංගන  ශිල්පියෙක් කළේ කියලා මං විශ්වාස කරනවා.


රිදී තිරය, පුංචි තිරයට වඩා තාමත් වැඩියෙන්ම ආදරේ වේදිකාවටද?

මං වසර ගණනාවක් තිස්සේ වේදිකා නාට්‍ය කළා. හැබැයි පසුකාලීනව විවිධ ශාරීරික ආබාධතා නිසාත්, ඒ සඳහා අපට පහසුකම්වත් නොමැතිවීම නිසා වගේම හොඳ නිර්මාණ බිහි නොවීම නිසාත් මං එය අත්හරින්න තීරණය කළා. වේදිකා නාට්‍යවලට ඉස්සර ගොඩනැගුණු ප්‍රේක්‍ෂකාගාරය අද දකින්න නැහැ. බොහෝ වෙලාවට මං රඟපාපු වේදිකා නාට්‍යවලට පෝස්ටර් නිර්මාණය කළේ. ඒ දවස්වල මං රඟපාපු නාට්‍යවල ප්‍රසිද්ධ වුණ චරිතය මගේ නම ඉදිරියෙන් වරහන් තුළ දමලා. එතකොට මිනිස්සුන්ට අවශ්‍ය වුණේ රූපවාහිනියෙන් දැකපු නළු නිළියන්ට සජීවීව දැකගන්න මිසක් වේදිකා නාට්‍ය රසවිඳින්න  නෙවෙයි. ඒ වගේම වර්තමානයේ වේදිකා නාට්‍ය නිර්මාණය වුණේ හාස්‍ය රසයෙන් පමණයි. "



ඔබ නාට්‍යවල වැඩියෙන්ම පණ පොවන්නේ, බිරින්දෑවරුන්ගෙන් බැනුම් අහන සුවච කීකරු ස්වාමිපුරුෂයාගේ චරිතයට. ඒ චරිතයම ලැබෙන්න මොකක් හරි සුදුසුකමක් තියෙනවාද?

ඔය ප්‍රශ්නෙම අපේ ගෙදරිනුත් අහනවා. එතකොට මං කියන්නේ නාට්‍යයට සල්ලි ගෙවනවානේ. ගෙදරිනුත් සල්ලි ගෙවනවා නම් සුවච කීකරු ස්වාමිපුරුෂයෙක් වෙන්න පුළුවන් කියලා. ඇත්තටම කිව්වොත් මං සුවච කීකරු ස්වාමිපුරුෂයෙක් තමයි. එයාලා තමයි අපට තියෙන ලොකුම ශක්තිය.


රංගනයෙන් පියවරක් ඉදිරියට තියලා ඔබ අධ්‍යක්‍ෂණයට යොමුවෙනවා. ඒ අත්දැකීම ගැන කිව්වොත්?

ඒකත් අහම්බයක්. සිකුරු හතේ චිත්‍රපටය නිර්මාණ කරන්නේ නිව් ඉටීරියල් ටෝටීස් කියන ආයතනය. එහි සාමාන්‍යධිකාරි අනුරාධ ඩී. රැකව මට කතා කරලා පිටපතක් ලියන්න ආරාධනා කරනවා. වෙනත් අධ්‍යක්ෂකවරයෙක් ලවා අධ්‍යක්ෂණය කරන්න එය සැලසුම් කර තිබුණත් අවසානයේ එහි අධ්‍යක්‍ෂණයත් මටම හිමිවෙනවා. ඒ වෙනකොට මං සෝමරත්න දිසානායක මහත්මයා එක්ක සරෝජා, සූරිය අරණ, සමනල තටු වගේ චිත්‍රපට කිහිපයක දෙවැනි සහාය අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කරලා තිබුණා. ඒ වගේම ජයප්‍රකාශ් ශිව ගුරුනාදන් මහත්මයාගේ ටෙලි නාට්‍ය සහාය අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ඒ අත්දැකීම් නිසා සිකුරු හතේ මට අභියෝගයක් වුණේ නැහැ.


දක්ෂ නළු නිළියන්ට සම්මානයට පාත්‍ර වෙන්නෙ නැහැ කියලා කතාවක් තියෙනවා. ඒ කතාව ඇත්තක්ද?

එකම වර්ෂයක සම්මාන උළෙලවල් තුනක් පැවැත්වුවහොත් හොඳම නාට්‍ය විදිහට තේරෙන්න ඕනෙ එකම නාට්‍යය. හැබැයි ඒක එහෙම වෙන්නේ නැහැ. ඒක විවිධ පුද්ගලයගේ රුචිකත්වය අනුව වෙනස් වෙනවා. ඒ නිසා මට සම්මාන ගැන ලොකු විශ්වාසයක් නැහැ. කවුරු හරි කෙනෙක් මාව අගය කළොත් මං සතුටින් පිළිගන්නවා. අගය නොකළත් ඒක මට ගැටලුවක් නැහැ.



රංගන ජීවිතය තුළ ප්‍රහසන රංගන ශිල්පීන් ශිල්පිනියක් සැබෑ ජීවිතය තුළ ගොඩක් සීරියස් චරිත කියලා කතාවක් තියෙනවා.  ඒ කතාවේ සත්‍ය අසත්‍යතාවක් තියෙනවද?

පාරකට බැසත්, වාහනයක ගියත් ඇගේ ලේ කෝපවෙන සිද්ධිමන් ඇහෙන්නේ, දකින්නේ.. ඒ නිසා සමහර අවස්ථාවලදී කේන්ති යනවා. හැබැයි මං ගොඩක් සැරපරුෂ කෙනෙක් නෙවෙයි.


ඔබව වැඩිපුරම නිර්මාණවලට තෝරාගන්නේ ප්‍රහසන රංගනය සඳහා. ඊට හේතුවක් තියෙනවාද?

ඔව්. ඒකට ප්‍රධානම හේතුව මං ප්‍රහසන රංගනයට දක්‍ෂ වීම. ඒ කාරණය ප්‍රේක්‍ෂකයාට, මට වගේම නිර්මාණකරුවන්ටත් දැනෙන දෙයක්. ප්‍රහසන රංගන ශිල්පියෙක් කියලා මාව හඳුන්වාදෙන්න මං කිසි විටකත් ලැජ්ජා නැහැ. මොකද ප්‍රහසන රංගනය බොහෝ රංගන ශිල්පීන්ට කරන්න බැරි බොහොම අමාරු කාර්යයක්.


කොවිඩ් තත්ත්වය හමුවේ කිහිප වරක්ම ස්වයං නිරෝධායනයට ලක්වුණා කියලා ආරංචියි?


ඔව්. කලාකරුවන් විදිහට අපි හැමෝම ඉන්නේ ලොකු අවදානම් තත්වයක්. මොකද රංගනයේදී කිසිදු ආරක්‍ෂක සෞඛ්‍ය පිළිවෙතක් අපට පිළිපදින්න බැහැ. අනිත් කාරණය අප එකට වැඩ කරන්නේ, රෝග වාහකයන් එක්කද කියලා අපි දන්නෙත් නැහැ. මේ තත්වය මත මං තුන් පාරක් ස්වයං නිරෝධායනයට ලක්වුණා. කලාකරුවන් කියන්නේ රටේ සම්පතක්. ඇතැම් නළු නිළියන්ට කොරෝනා ආසාදනය වුණාම ඔවුන් පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබාගත්තා. නමුත් බොහෝමයක් රංගන ශිල්පීන්ට, ශිල්පිනියන්ට ඒ වගේ මූල්‍යමය හැකියාවක් නැහැ. එවන් කලාකරුවන් ගොඩක් අසරණ වෙනවා. ඒ නිසා ඔවුන් වෙනුවෙන් යම් රාජ්‍ය අනුග්‍රහයක් ලබාදෙන්න කියන්න මං මේක අවස්ථාවක් කරගන්නවා.


පවුලේ විස්තර කොහොමද?

මගේ බිරිය ඩබ්ලිව්. මංගලිකා ප්‍රනාන්දු. ඇයව මට මුණගැසෙන්නේ මහවැලි අධිකාරියේ ගිරාඳුරුකෝට්ටේ සී. කලාපයේ. මගේ ලොකු දුව කවින්ද නිලුපුලි. මගේ පොඩි දුව අමද්‍ය ඔන්මදී. මේ වෙනකොට මං පුංචි මිනිපිරියො දෙනෙක්ගෙ සීයා කෙනෙක්.






Previous Post Next Post