'මෙයා නම් මාර කික් එක ෂා…’ කියලා තවම කොල්ලො කෙල්ලො කියනවා - ආනන්ද වික්‍රමගේ



වේදිකාවත්, පුංචි තිරයත් උඩුයටිකුරු කළ රංගනවේදියකු වූ ‘ආනන්ද වික්‍රමගේ’ මඳ අසනීප ගතියකින් පසුවෙතැයි යන ආරංචියක් අහන්නට ලැබුනා  . ඉතින් ඔහුගේ අලුත් තොරතුරු ගැන වගේම ඔහුගේ අසනීප තත්ත්වය ගැනත් පුවත්පතට ඔහු මෙලෙස පවසා තිබුනා.



කොහොමද මේ දවස්වල ජීවිතේ?

වරදක් නම් නැහැ. නිස්කලංක ජීවිතයකට හුරුව සිටිනවා. ටික දවසක ඉඳන් මම අසනීපෙන් ඉන්න බව තමයි කියන්නට අලුත් ආරංචියකට තියෙන්නේ. කොරෝනා උවදුර නිසා මානෙලුත්, මගේ ලොකු පුතා ජනිතත් මාව හරියට පරෙස්සම් කරනවා. රංගන කටයුතුවලටවත් මෑතකදි සහභාගි වුණේ නැහැ. අවසානයට 2020 මුල්කාලේ සඳුන් රාජකරුණාගේ ටෙලිනාට්‍යයක රඟපෑවා. ඒකේ නම නම් හරියටම නිච්චි නැහැ.


 ඔබ කළ රංගන හරඹයේ පෙළගැස්ම  මොහොතකට නෙවෙයි, හැමදාමත්, හැම වේලාවෙම හිතේ හොල්මන් කරන්නේ ඒ අපූරු හරඹයන් තමයි. ඒ හරඹයෙහි පළමුව ඔබ අසල හිටගන්නේ ‘නෙයිනගේ සූදුව’යි?

මොනවා කියනවද? ඒ තේජවන්ත චරිතය මම කරන කොට ප්‍රේක්‍ෂකයෝ බලා හිටියේ තිගැස්සිලා වාගේ.., රස්තියාදුකාර මැරයෙක් විදියට ‘කොතලාවල මහත්තයා’ගේ චරිතය තම්බියෙක් විදියට වේදිකාවට එනකොට ඕඩියන්ස් එක දුන්නේ හිතට වදින ඇංකෝර් එකක්.


‘වැනීසියෝ වෙළෙන්දා’ නාට්‍යයට ඔබ ආවේ ඩග්ලස් රණසිංහගේ පුරප්පාඩුවට?

ඔව් මාව එතැනට දමන්නැයි යෝජනාව ටෝනි රණසිංහට සහ බන්ධුල විතානගේට කළේ ‘පෝෂියාට’ රඟපෑ මානෙල් වානගුරුයි. ඒ දවස්වල ටෝනි සහ බන්ධුල ‘ෂේක්ෂ්පියර්’ නාට්‍ය කණ්ඩායම කියලා හරිම සංවිධානාත්මක ගෲප් එකක් හදාගෙන තිබුණා. මානෙල්ගේ යෝජනාවත් සමඟ මමද එහි ක්‍රියාකාරී සාමාජිකයකු වූවා.


 ලස්සන පෝෂියා, ඔබේ බිරිය ලෙස වේදිකාවෙන් කුලගෙදරටත් ආවේ ඒ හැඳුනුම්කම නිසයි?

ඔව් මිතුරුකමක් වූ අපේ බැඳීම පෙම් පලහිලව්වක් වී විවාහයෙන් කෙළවර වීමේ ආරම්භය දුන්නේ වැනීසියේ වෙළෙන්දා තමයි.


 ටෙලි තිරයට ඔබේ පැමිණීම සිදුවූ ආකාරය?

එය සිදුවූයේ ‘තාරා දේවි’ ටෙලිනාට්‍යට ලූෂන් බුලත්සිංහල කළ ආරාධනය මතයි. ටෙලිනාට්‍යවල ආරම්භය ඇති වන කොට ඒ සඳහා ඉදිරිපත් වූ නිර්මාණකරුවන් රංගනය සඳහා නළු නිළියන් තෝරා ගත්තේ වේදිකාවෙන්. මමද ඒ අතර එක් අයෙක් වුණා.


 වේදිකාවේ වටිනා තැන් ටෙලි කලාව නිසා ඔබට මඟහැරුණේ නැතිද?

‘තාරාදේවි’ වෙනුවෙන් ලූෂන් සමඟ ගිවිසුම් ගහනකොටත් මම වේදිකාව තුළ වටිනා මතකයන් තබා හමාරයි. රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේ පවා මම ඒ වනවිටත් සම්මානයට පාත්‍රව සිටියා. ‘තාරා දේවිය’ගෙන් පසු මට ටෙලිනාට්‍ය දිගින් දිගටම ලැබුණා. මම වේදිකාව අතහැරියේ නැහැ. කාලය මඳකම නිසා ඇතැම් නිර්මාණකරුවන් මා වෙනුවට විකල්ප සොයා ගත්තා. හැබැයි මම ඒ ගැන දුක් වෙන්නේ නැහැ. මොකද ටෙලි තිරය තුළ මා රඟපෑ චරිතයන් හැමදාමත් ප්‍රේක්‍ෂකයන් අතර කතාබහට ලක්වුණා. මඟතොටදී ඔවුන් මට ඒ වෙනුවෙන් දුන් අගය මිලකරන්න බැහැ.


හැමදාමත්  ඔබ කළේ කතාබහට ලක්වන චරිත?

සත්තකින්ම.., රඟපාන්න බැරි වුණු කාලෙක අපට තියෙන එකම සතුට ඒ මතකය තමයි.


ප්‍රවීණයකු ලෙස නවකයන්ට දෙන්න පණිවුඩයක්?

විවිධ රූපවාහිනී සේවාවන්ට තමන් සතු නිර්මාණ හැකියාව මෙහෙයවන්න අයිතිය දෙන්න එපා. නිර්මාණය ඔබේ නම්, එය විකාශනය වන කොටස් ගණන සහ එය නිමාවන තැන කොතැනදැයි කියන අයිතිය ඔබ සතුව තබාගන්න කියා ඔවුනට කියනවා මම.



දමයන්ති රේණුකා ප්‍රනාන්දු




Previous Post Next Post