කළුයි කියලා ෆේල් නොවුණු කළු කෙල්ල - ගීතා කාන්ති ජයකොඩි



 ‘ජයකොඩි’ යනු බොහෝ විට කලාව තුළ මුල්බැස ගත් නාමයකි. ‘යශෝරාව’යෙහි ‘බලදේවගේ බිරිය’ ලෙස රූපවාහිනී තිරයෙහි රස මැවූ ගීතා කාන්ති ජයකොඩි ‘පූජා’ චිත්‍රපටයෙහි ධනවත් සල්ලාල පෙම්වතා හමුවේ අසරණ වන අහිංසක පෙම්වතියක ලෙස කළ රංගනය අතිවිශිෂ්ට විය. මඳ විරාමයකට පසුව සුමිත් රත්නායකගේ ‘මහපොළොව’ තුළින් නැවැතත් ටෙලි තිරය කලඹාලන්නට පැමිණි ඒ විශිෂ්ට රංගවේදිනිය ඇගේ මේ අලුත් තොරතුරු පිළිබදව පුවත්පතකට විස්තර කියලා තිබුනේ මෙලෙසයි.  


ඉතින්, ගීතා කොහොමද මේ දවස්වල ජීවිතේ?

කොරෝනා උවදුර හමුවේ නැවැතත් කලාකරුවන් කාර්යබහුල වෙලා. ඒ අතර සිටින එක් අයෙක් වීමට ලැබීම ගැන මට ආඩම්බරයි.


‘මහපොළොව’ ටෙලි කතාව තුළ ඔබ කළ රංගනය අතිවිශිෂ්ට බවයි ආරංචිය?

ඊට කලින් අතීතයට පොඩ්ඩක් ගිහින් එමුද?  මට හරි ආසයි ගුවන්විදුලියේ ‘හඳ මාමා’ වැඩසටහනට පැමිණි පුංචි කළු කෙල්ල ගැන කතා කරන්න.


හොඳයි  කොතැනින්ද පටන් ගන්නේ?

අපි යමු හැත්තෑව දශකයට. ඒ කාලේ ටී.වී. නෑනේ… ප්‍රේක්‍ෂකයන් ආදරය කළේ විවිධ කලාකරුවන්ගේ හඬ ස්වරයට. මම ‘හඳ මාමා’ සහ ‘ළමා මණ්ඩපය’ යන වැඩසටහන්වලට ආවේ සින්දු කියන්නයි. එතකොට නිළියක වන හැඟීමක් හිතකවත් තිබුණෙ නැහැ. එයට එක් හේතුවක් වුණේ මම තද කළුපාට කෙල්ලක වීමයි. ඒ දවස්වල අද වාගේ මතකයි. ගුවන්විදුලියේ විශේෂාංගවලට එන නිරංජලා සරෝජනී වාගේ අය දිහා බලලා මම හරියට දුක් වෙනවා… ‘අනේ ඇයි ඒ තරමට මම සුදු පාට නොවුණේ කියලා…’ ඔය හැඟීම මත නිළියක වීමේ උනන්දුවක් මගේ හිතට ආවේ නැහැ… නිළියක වෙන්න පුළුවන් සුදුපාට හමක් තියෙන අයට විතරය කියන සිතුවිල්ල මගේ හිතේ තදට තිබුණා.


කළු වුණාට ඔබ හැඩට හිටියා. හරි ලස්සන කටහඬක් ඔබට තිබුණා?

මුහුණේ ෆීචර්ස් ගැන එතරම් වැටහීමක් මට තිබුණේ නැහැ. ‘කළු නිසා මම ෆේල්’ කියන එක විතරයි මට දැනුණේ. හැබැයි කෙමෙන් කෙමෙන් යෞවනියක වන විට මගේ හඬ හරිම ෂෝක් කියා මට දැනෙන්නට ගත්තා. ඒ කාලේ ළමා රංග පීඨයේ ‘මනකල් හද විල්තලයේ’ ගීතයට කෝරස් එක කියන්න තෝරා ගත්ත යොවුන් දැරියෝ අතර මම හිටිය එක මට මහා ආඩම්බරයක් වුණා.


ටී. වී. නැති ඒ කාලේ ඔබ ගුවන්විදුලිය දෙවනත් කළා?

මොනවට කියනවද ඒ ගැන. ළමා සංගීත සන්ධ්‍යාව, හඳ මාමා සහ සරස්වතී සංගීත මණ්ඩපය යන වැඩසටහන් හරහා මම ඉබේම නාට්‍යවලට මැදි වුණා. සත්තකින්ම හඬ දුන් නාට්‍ය ගණන ගණන් කරන්නත් බැරි තරමයි.


තාරුණ්‍යය ඔස්සේ ඔබ වඩාත් ජනප්‍රිය වුණේ ආනන්ද සිරිසේනගේ ‘වජිරා’ හරහා?

හරියටම හරි.., ‘වජිරා’ කියන්නේ තරුණ තරුණියන් වාගෙම වැඩිහිටියන්ද අසීමිත කැමැත්තකින් සවන් දුන් කදිම ගුවන්විදුලි නාටකයක්. ටෙලි තිරය හරහා ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණියෙත් ‘වජිරා’ ටෙලිනාට්‍යයෙන්. ගුවන්විදුලියෙහි ‘වජිරා’ වූ මම ටෙලිනාට්‍යයෙහි වජිරා වීමට ලැබීම ලොකු සතුටක් වුණා.


‘රන් දොරටුව’ ටෙලිනාට්‍යයට දොරටුව විවර වුණේ එතැනින්ද?

ඇත්තෙන්ම විජය ධර්මශ්‍රී වැනි උසස් නිර්මාණකරුවකු මා වෙත පැමිණ කළ ඒ ආරාධනයෙන් මම විස්මිත වුණා. මහපොළ ශිෂ්‍යත්ව සංකල්පය යටතේ කළ ‘රන් දොරටුව’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑම තුළින් මම සම්මානයට පවා පාත්‍ර වුණා. ‘රන් දොරටුව’ කියන්නේ මට වාසනාව ගෙනා නිර්මාණයක්.


ඒ වන විට ‘මා කළුපාට කෙල්ලකැයි’ කියන හැඟීම ඔබ තුළින් තුරන්ව තිබුණද?

ඒ හැඟීම තුරන් වුණේ ‘කැලණි පාලම’ වේදිකා නාට්‍යයේ සුරංගනීගේ චරිතය සමඟයි. ‘කැලණි පාලම’ කියන්නේ මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යයි. රූපවාහිනී තිරය මත එය විකාශනය වීමෙන් මම තව තවත් ප්‍රේක්‍ෂකයන් අතර ජනප්‍රිය වුණා.


සිනමාවට පිවිසෙන්නට ‘රන් දොටු’ විවර වුණේ එතැනින්ද?

ඔව්.  ඩී. බී. නිහාල්සිංහගේ ‘රිදී නිම්නය’ චිත්‍රපටයේ සනත් ගුණතිලකගේ පෙම්වතිය වීමෙන් මම සිනමාවට පිවිසුණේ කැලණි පාලමෙහි මා තුළ රංගනය ගැන ඔහු තුළ ඇති වූ පැහැදීමෙන්.


‘පූජා’ චිත්‍රපටයෙහි ඔබේ චරිත නිරූපණය විචාරකයන්ගේ කතාබහට ලක්වුණා?

හොඳම නිළිය සඳහාද මා නිර්දේශ වුණා. ඒ නිර්දේශිත්වය සිදුවූයේ ගීතා කුමාරසිංහ සහ අනෝජා වීරසිංහ වැනි ප්‍රවීණ අති දක්‍ෂ රංගවේදිනියන් සමඟයි. සම්මානය මට අහිමි වුණත් ඒ නිර්දේශය වීම තුළ මා ලද සතුට අපමණයි.


ගුවන්විදුලියෙන් දැන් ඔබ ඈත්වෙලා නේදැයි කියා ඇහුවොත්?

‘ඔව්…’ කියන එක තමයි උත්තරය. ටෙලිනාට්‍ය චිත්‍රපට සහ විදේශීය ටෙලිනාට්‍යවල හඬ කැවීම් නිසා මට ගුවන්විදුලිය අතෑරුණා මං හිතන්නේ.


කාලයකට පසුව ඔබ ‘මහපොළොව’ හරහා දුෂ්කර චරිතයකට මැදිවුණා?

සත්තකින්ම ඔව්… සුමිත් රත්නායක මාව මැදි කළේ හරිම දුෂ්කර සීමාවකටයි. හැබැයි ඒ දුෂ්කර බවට මම හරිම කැමතියි. ඒ වාගෙම සුමිත් මාව මෙහෙයවපු ආකාරයද පුදුමාකාරයි. මටවත් අදහාගන්නට බැරි වටිනාකමක් ඔහු ‘මහ පොළොව’ තුළ මට ලබා දුන්නා.


ඔබ කියන්නේ ඔබේ චරිත නිරූපණය මුවහත් වූයේ ඔහුගේ මෙහෙයවීම නිසා කියලද?

මට හිතෙන හැටියට එහෙම කියනව නම් එය සුමිත්ට කරන සාධාරණයක්. කොහොමත්… ඕනෑම නිර්මාණයක තාත්වික බව සහ සාර්ථකත්වය පිහිටන්නේ බොහෝ දුරට තිර රචනයෙහි සහ අධ්‍යක්‍ෂණයෙහි ගැම්ම මතයි. ‘මහ පොළොව’ එයට හොඳම නිදසුනක්. ඒ වාගේම සුමිත් රත්නායකගේ තිර රචනය සහ මෙහෙයවීම මත ‘මහ පොළොව’ට එක්වූ සෑම රංගන ශිල්පියෙක් මෙන්ම ශිල්පිනියක්ම තම මෙහෙවර ඉතාම සාර්ථකව ඉටුකළා.













-දමයන්ති රේණුකා ප්‍රනාන්දු-


Previous Post Next Post