මිහින්තලය විශ්වවිද්‍යාලයට අලියෙක් ඇවිත්

මිහින්තලය කටුකැලියාව කැලෑ ප්‍රදේශයේ සිට අනපේක්ෂිත මොහොතක ගම්වැදුණු අඩි දහයකට වඩා උසින් යුතු විශාල වන අලියෙකු මිහින්ලන්තය විශ්ව විද්‍යාල භූමියේ ආරක්ෂක වැට බිඳ ඊට ඇතුළු වී නගරය ආසන්නයේ නිවෙස් ඉදිරිපිටින් ගමන්කර මිහින්තලය මහකනදරාව වැව දෙසට ගමන්කළ බව මිහින්තලය
නගරවාසීහු පිරිසක්

පැවැසූහ.  වන අලියා කටුකැලියාව වන රක්ෂිත ප්‍රදේශයේ සිට ඊයේ (09) උදෑසන හයට පමණ එක්වරම අඹතලාගම ගම්මානයට පැමිණි බව ගම්වැසියෝ කියති.

ගම්මානයේ නිවෙස් කිහිපයක තිබූ කෙසෙල් ගස් සැලකිය යුතු ප්‍රමාණයක් ආහාරයට ගෙන තලා පොඩිකර දමා අඹතලාගම ගම්මානය හරහා මිහින්තල අනුරාධපුර ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වී අතුරු මාර්ගය ඔස්සේ රජරට විශ්ව විද්‍යාලය දෙසට ගමන් කර ඇත.  පසුව වන අලියා මිහින්තලය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක වැට බිඳ එහි ඇතුළු වී අනෙක් අන්තයේ ආරක්ෂක වැටද බිඳ දමා විශ්වවිද්‍යාල භූමියෙන් පිටවී මිහින්තලය වැව දෙසට ගොස් නිවාස පිහිටි අතුරු මාර්ගයන් ඔස්සේ ගමන්කර සිවිල් ආරක්ෂක බළකා කඳවුර ආසන්නයෙන් ඒ - 9 ප්‍රධාන මාර්ගයට පිවිස මිහින්තලය පොලීසිය පිටුපස පිහිටි වෙල් යායෙන් මහ කනදරාව වැව දෙසට ගමන්කළ බව සිද්ධිය දුටු වැසියෝ පවසා තිබිණි.

මීට සති තුනකට පමණ ඉහතදීත් වන අලියකු නගර පුරා සැරිසැරූ බවත් පැවැසූහ. වන අලියා පැමිණි සෑම අවස්ථාවකම නගරයේ හා ගම්මානවල ජන ශුන්‍ය වීම නිසා කිසිදු අනතුරක්  සිදුනොවූ බවත් ඔවුහු පැවැසූහ. මේ දිනවල ප්‍රදේශයට පවතින වැසි රහිත කාලගුණ තත්වය හා වන සතුන්ට ආහාර හිගවීම නිසා වන අලින් ගම්මානයට පැමිණෙන බව ප්‍රදේශවාසීහු පවසති.

-බුද්ධික මහේෂ් විජේසුරිය-
Previous Post Next Post