රණවිරුවන්ගෙන් පලිගැනීමේ උත්සාහය පරදවමු -මහින්දගෙන් නිවේදනයක්

යුද ජයග්‍රහණයෙන් වසර 9 ක් පිරෙන දිනය වෙනුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එය පහත පරිදිය.

ලක්වාසී ජනතාව ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත් රණවිරුවන් සිහිපත් කරමු.


ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් අපගේ මාතෘ භූමිය නිදහස් කරගෙන මේ වන විට වසර නවයක් වේ. එබඳු විජයග්‍රහණයක් රටකට ලැබිය හැක්කේ ඉතාමත්ම කලාතුරකිනි. 2005 දී මා මුල්වරට ජනාධිපති ධූරයයට පත්වන විට, එවක පැවති ආණ්ඩුව රුඳුරු කොටි සංවිධානයේ බලපෑමට යටත්ව සටන්
විරාම ගිවිසුමක් ඇති කරගෙන, අපගේ ප්‍රශ්නයට ජාත්‍යන්තරයද ඈදාගෙන තිබුණි. අපේ වෙරළෙන් තුනෙන් දෙකක් හා භූමියෙන් තුනෙන් එකක් පමණ  ප්‍රදේශයක්ද පාලනය කෙරුණේ ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණය යටතේය.

ලොව ඉතාම දියුණු, නාවික බලයක් හා ගුවන් බලයක්ද සහිත ත්‍රස්තවාදී සංවිධානයට එරෙහිව අප නැගී සිටියේ ලොව කවර රාජ්‍යයකටවත් නොතිබුණු තරමේ අප්‍රතිහත ධෛර්යකිනි. මරණ භයෙන් නිදහස් වීමේ එම සටනට මුලු මහත් ජාතියම එක්සත්ව එක්සිත්ව නැගී සිටියේ දැඩි අධිෂ්ඨානයකිනි. එම සටනේදී ත්‍රිවිධ හමුදාවේ පොලීසියේ සහ සිවිල් ආරක්‍ෂක

බලකායේ රණවිරුවන් දහස් ගණනක් දිවිපිදූ බව සිහිපත් කළ යුතු වේ. තවත් දහස් ගණනක් ආබාධිත වූහ. උතුරු පලාතටත්, නැගෙනහිර පලාතටත් ප්‍රජාතන්ත්‍රවාදය ලැබුණේ ත්‍රස්තවාදයේ අවසානයත් සමඟය. ත්‍රස්තවාදීන් මහ පොළවේ වැළලූ සිය දහස්  ගණන් බිම් බෝම්බ ඉවත් කර ජනතාවට පොළවේ පය ගැසීමට ඉඩ ලැබුණේ එතැන් සිටය. මහා මාර්ග, රෝහල්, පාසැල් පමණක් නොව නිදහසේ මරණ භයෙන් තොරව උතුරටත් දකුණටත් හුස්ම ගැනීමට ලැබුණේ එතැන් සිටය.

රටක ජනතාවකට නිදහසත්, ජීවත් වීමේ අයිතියත් ලබා දීමට තම ජීවිතය පිදූ, ඇස් ඉස්මස් ලේ පිදූ, කැප වූ සියල්ලෝ උදාර මනුෂ්‍යයෝය. එහෙත් අද එබඳු උදාර මානුෂික සත්කාර්යයක යෙදුණු විරුවන් සංහාරයක යෙදුණු අය ලෙස ත්‍රස්තවාදයට අනුකම්පා කරන්නෝ ප්‍රකාශ කරති. ජනතාවගේ ඡන්දයෙන් පත් වූ රජයද එය සංහාරයක් ලෙස පිළිගැනීම මේ යුගයේ සිදු වූ අශීලාචාරම පාවාදීමය. රටට ද්‍රෝහී ප්‍රකාශ කරන, රණවිරුවන් පාවාදෙන අය තේරුම් ගත යුත්තේ දෙමළ ජනතාවත් අද නිදහසේ උතුරේ බියෙන් සැකයෙන් තොරව ජීවත් වන්නෙත්, දෙමළ තරුණ තරුණින්ට යුද්ධය නොව සාමය ලැබී ඇත්තෙත්, අප රණවිරුවන් කළ කැප කිරීම නිසා බවය. යුද්ධයට බිලි දීමට තම දරුවන් කොටි සංවිධානය විසින් බලහත්කාරයෙන් පැහැරගෙන නොයන නිසා අද උතුරේ මාතාවන්ටද ඇත්තේ මහත් අස්වැසිල්ලකි.

එබැවින් ලක්වාසී ජනතාවට මරණ භයෙන් තොරව ජීවත් වීමට නිදහස ලබාදුන් රණවිරුවන් අප ඉතාමත් ගෞරවයෙන්, අභිමානයෙන් යුතුව සිහිපත් කළ යුතුය. ඔවුන්ව දඩයම් කිරීමටත්, ඔවුන්ගෙන් පළිගැනීමටත් දරණ උත්සාහය පරාජය කිරීමට අප පෙළගැසිය යුතුය. මව්බිමේ එක්සත් භාවයත්, නිදහසත් රැක ගැනීමට අප සියල්ලෝ යළිත් නැගී සිටිය යුතුය.


මහින්ද රාජපක්‍ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති
Previous Post Next Post