රඟපාන චරිත තුළ ප්‍රේක්ෂකයාට මාව දකින්න ලැබෙන්නේ නෑ -අභිෂේක් ප්‍රමුදිත

gossiplanka image 1
 

අභිෂේක් ප්‍රමුදිත කියන්නේ මේ දිනවල තාරුණ්‍යය අතර අතිශය ජනප්‍රිය චරිතයක්. ඔහු රංගනයෙන් දායක වන නවතම ටෙලි නිර්මාණ දෙකක් මේ වෙද්දී විකාශය වෙනවා. ඒ ධනංජය සිරිවර්ධන අධ්‍යක්ෂණය කරන ‘තාප්පෙන් පැන්නා‘ සහ ශාන් ජයරත්නගේ ‘අසංධිමිත‘ නාට්‍යයි. විශේෂත්වය වන්නේ මේ නාට්‍ය දෙකේම ප්‍රධාන නළු භූමිකාව හිමි වෙලා තියෙන්නේ අභිෂේක් ප්‍රමුදිතට.


කෙටි කාලයක නිහැඬියාවකින් පසුව නිර්මාණ දෙකකම ප්‍රධාන චරිතවලින් ප්‍රේක්ෂකයින් අතරට එන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ ?


‘ලවර්ස් ලීප්’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් අවසන් වෙලා පොඩි කාලයකට පසුව තමයි මේ නිර්මාණ සඳහා මට ඇරයුම් ලැබෙන්නේ. මේ ටෙලිනාට්‍ය දෙක හාත්පසින්ම එකිනෙකට වෙනස් ශානරවල නිර්මාණ.


ස්වාධීන රූපවාහිනියේ සතිඅන්ත දිනවල දී විකාශය වෙන ශාන් ජයරත්නගේ ‘අසංධිමිත’ ටෙලිනාට්‍යයේ මාධව ලෙසත්, ධනංජය සිරිවර්ධනගේ ‘තාප්පෙන් පැන්නා’ ටෙලිනාට්‍යයේ සඳා ලෙසත් මම චරිත නිරූපණය කරනවා. ඒ චරිත දෙකම මට ලැබුණ තීරණාත්මක අභියෝග දෙකක්.



‘අසංධිමිත’ නාට්‍යයේ ‘මාධව’ වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ ?


‘අසංධිමිත’ වෙනුවෙන් මට ආරාධනා කරන්නේ ශලනි තාරකා විසින්. මේ ඇය රචනා කළ මුල්ම ටෙලිනාට්‍ය පිටපත. ඉන්පසුව අධ්‍යක්ෂ ශාන් ජයරත්න සහ ශලනි සමඟ පිටපත ගැන සාකච්ඡා කරලා මට ලැබුණ ‘මාධව’ කියන චරිතය පිළිබඳ හොඳ අවබෝධයක් අරගෙනයි, එහි රූගත කිරීම් වෙනුවෙන් සම්බන්ධ වුණේ.



එතකොට ‘තාප්පෙන් පැන්නා’ ටෙලිනාට්‍යයේ ‘සමරසිංහ මුදලිගේ සමුදිත සඳකැලුම් බණ්ඩාර’ ගැන කතා කළොත්?


‘සමුදිත සඳකැලුම්’ කියන්නෙ මට ලැබුණ පුදුමාකාර අත්දැකීමක්. ‘තාප්පෙන් පැන්නා’ පිටපත චාමර කොඩිතුවක්කු අයියගේ අපූරු රචනයක්. අධ්‍යක්ෂ ධනංජය සිරිවර්ධන අයියා තමා මට මේ වෙනුවෙන් ආරාධනා කළේ. තිර පරීක්ෂණයකින් පසුව ‘සඳා’ ලෙස රඟපාන්න මාව තෝරගත්තා. මේ නිර්මාණය මට නැවුම් අත්දැකීමක්, ඊටත් වඩා ප්‍රේක්ෂකාගාරයට ‘තාප්පෙන් පැන්නා’ අමතක නොවෙන අත්දැකීමක් වෙයි කියලා හිතනවා.



‘අසංධිමිත’ සහ ‘තාප්පෙන් පැන්නා’ නිර්මාණ දෙක තුළ බොහෝමයක් ප්‍රවීණයන් රංගනයේ යෙදෙනවා. ප්‍රවීණයන් සමඟ තිරය බෙදාගැනීමේ අත්දැකීම මොනවගේද?


ඒ ගැන කතා කරද්දි ‘නෙතලි නානායක්කාර’ කියන අතිදක්ෂ ශිල්පිනිය පිළිබඳ නොකියා බැහැ. මේ නිර්මාණ දෙක තුළම මට මිත්තණියක ලෙස ඇයව මුණගැසෙනවා.


නෙතලි ආන්ටි කියන්නෙ හරිම ආදරණීය චරිතයක්. ඇය සමඟ රඟපානකොට, මට මගේ කිරිඅම්මගෙන් ලැබුණු ආදරයත් මතක් වුණා. අවුරුදු 92’දිත් මේ තරම් සූර ලෙස රඟපාන නෙතලි ආන්ටිගෙන් අපිට ඉගෙන ගන්න තව තවත් බොහෝ දේ තියෙනවා.


ධනංජය සිරිවර්ධන කියන්නේ ‘නළු අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ මෙහෙයවීම ඔබට කවරාකාර අත්දැකීමක් ද?


මම මීට පෙරත් ‘නළු අධ්‍යක්ෂවරු’ යටතේ රඟපාලා තියෙනවා. ධනංජය අයියා හරිම නිදහසේ රඟපාන්න ඉඩහසර හදලා දෙනවා. ඒ වගේම පිටපත, මගේ චරිතය සහ අවස්ථා සිද්ධි සම්බන්ධයන් ගැන පවා හොඳට පැහැදිලිව තේරුම් කරලා දෙනවා.


සඳාගේ චරිතය හරිම සංයමයෙන් ගොඩනැගිය යුතු, ස්වභාවිකත්වය පිටපත විසින්ම යෝජනා කරන චරිතයක්. එනිසා අධ්‍යක්ෂවරයා ලෙස ධනංජය අයියා මේ චරිත නිරූපණය ඇතුළේ මට දෙන සහය අමතක කරන්න බෑ. ඒවගේම මේ පසුපස ඉන්න සමස්ත කණ්ඩායමම මෙහිදී ආදරෙන් මතක් කරනවා.



අභිෂේක්ව වැඩියෙන්ම දකින්න ලැබෙන්නේ මාධවගෙ චරිතයේද නැතිනම් සඳාගේ චරිතයේද?


රංගන ශිල්පියෙක් හැම වෙලාවෙම තමාට ලැබෙන චරිතය ගොඩනඟන අතරේ තමන්ව තිරයෙන් නොපෙන්වා ඉන්න උත්සාහ ගන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. එනිසා පිටපත තුළ නිර්මාණය වෙලා තියෙන, අධ්‍යක්ෂවරයාගේ මනසේ ඇඳුන චරිතයට උපරිම සාධාරණයක් කරන්න මම උපරිම මහන්සි වෙනවා. මට හිතෙනවා ඒ නිසා දැනට රඟපාන චරිත තුළ ප්‍රේක්ෂකයාට මාව දකින්න ලැබෙන්නේ නෑ කියලා.



මෙවර සුමති ටෙලි සම්මාන උලෙළේ නැඟී එන නළුවා සම්මානය සඳහා නිර්දේශ වීම ගැන කතා කළොත්?


මේ මගේ පළමු ටෙලි සම්මාන අත්දැකීම. ඒ නිසා ඒ ගැන ලොකු සතුටක් තියෙනවා. රනිල් කුලසිංහ අයියගේ ‘ලවර්ස් ලීප්’ ටෙලිනාට්‍යයේ රන්දුණුගේ චරිතය වෙනුවෙන් මට සහය වුණ හැම කෙනෙක්ටමත්, සුමති සම්මාන උලෙළට සහ ජූරියටත් ස්තූතිවන්ත වෙන්න මම මෙය අවස්ථාවක් කරගන්නවා. නිර්දේශවීම ම මට සම්මානයක් හා සමාන ආශිර්වාදයක්.


මේ වෙද්දී සිනමාවටත් ආරාධනා ලැබුණ ද?


ඔව්. ජයශිකා පද්මසිරි විසින් අධ්‍යක්ෂණය කළ ‘මෙරකි සූත්‍ර’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා රංගනයෙන් දායක වුණා. එය සිනමා අත්හදා බැලීමක් විදිහට හඳුන්වන්න පුළුවන් නිර්මාණයක්. මම එහි කරන්නේ දෙබස් රහිත අභියෝගාත්මක චරිතයක්.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5

Comments

Popular posts from this blog

දීපිකා පදුකෝන් එළියට විසිවෙලා

ස්පයිඩර්-මෑන් Box Office වාර්තා අලුත් කරයි