ජාත්‍යන්තර වේදිකාවක සම්මානයට පාත්‍ර වීම විශාල සතුටක් -මහේන්ද්‍ර පෙරේරා

gossiplanka image 1
 

මෙවර මැලේසියාවේ ක්වාලාලම්පූර්හි පැවති නව වැනි මැලේසියානු අන්තර්ජාතික සම්මාන උලෙළ ශ්‍රී ලාංකේය සිනමා වංශ කතාවේ තවත් පිටුවක් රනින් සරසවන්නට සමත්වීය. ලොව ප්‍රධානපෙළේ සිනමා සම්මාන උලෙළ කිහිපයක් නියෝජනය කරමින් සම්මාන පිට සම්මාන ලැබූ ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ ‘රිවස්ටන්’ සිනමාපටයේ රංගනය වෙනුවෙන් ප්‍රවීණ රංගන ශිල්පි මහේන්ද්‍ර පෙරේරා හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූ අතර ප්‍රවීණ රංගන ශිල්පි ප්‍රියන්ත සිරිකුමාර හොඳම සහය නළුවා ලෙස සම්මානයට පාත්‍ර විය.


ශ්‍රී ලාංකේය සිනමාවට මහත් ආඩම්බරයක් එක්කළ ඔවුන් දෙපළ සමඟ අත්වැල් බැඳගත් නව පරපුරේ රංගන ශිල්පි රන්දික ගුණතිලක ද හොඳම නළුවා ලෙස නිර්දේශ වීම ශ්‍රී ලංකාවට මහත් ගෞරවයකි. හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර රචනය, හොඳම නළුවා සහ හොඳම සහය නළුවා ලෙස සම්මාන පහක් සඳහා නිර්දේශ වූ රිවස්ටන් සිනමාපටය මේ වනවිට අන්තර්ජාතික සම්මාන උලෙළ කිහිපයක් නියෝජනය කරමින් ජාත්‍යන්තර සම්මාන 14කින් පිදුම් ලැබීමට සමත් වී ඇත. ‘රිවස්ටන්’ ප්‍රභාත් රෝෂන් සහ නිමන්ති පෝරගේගේ නිෂ්පාදනයකි.


36 වැනි සිංගප්පූරු ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේදී ආසියානු වෘත්තාන්ත චිත්‍රපට අංශය නියෝජනය කළ ‘රිවස්ටන්’ හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම රංගනය වෙනුවෙන් සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට ද සමත්වීය. එහිදී හොඳම රංගනයට හිමි සම්මානය දිනාගත් ප්‍රවීණ රංගන ශිල්පි මහේන්ද්‍ර පෙරේරා මෙවර මැලේසියාවේ පැවති මැලේසියානූ ජාත්‍යන්තර සම්මාන උලෙළේ හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමම ඔහුගේ අසහය රංගන ප්‍රතිභාව නැවත නැවතත් ලොවට විදහාපාන බව අවිවාදයෙන්ම පිළිගත යුතු ය. මැලේසියානූ අන්තර්ජාතික සම්මාන උලෙළේදී ලැබූ සම්මානය අතැතිව ප්‍රවිණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා අප හා මෙසේ සතුට බෙදාගත්තේය.


“මේ චරිතයට මාව තෝරාගැනීම සම්බන්ධයෙන් රිවස්ටන් සිනමාපටයේ අධ්‍යක්ෂ ලලිත් රත්නායකට මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ‘රිවස්ටන්‘ සඳහා සම්මාන දිනාගත් දෙවැනි වතාව. මීට කලින් සිංගප්පූරු සිනමා සම්මාන උලෙළේ හොඳම රංගනය වෙනුවෙන් සම්මානය දිනාගත්තා.


මෙවර මැලේසියානු සිනමා සම්මාන උලෙළේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තා. තරගකාරී රටවල් රාශියක් හමුවේ තරග කරමින් මේ වගේ ජාත්‍යන්තර වේදිකාවක සම්මානයට පාත්‍ර වෙනවා කියන්නේ විශාල සතුටක්. අධ්‍යක්ෂ ලලිත් රත්නායකට වගේම කැමරාකරණය කරමින් නිෂ්පාදනය කළ ප්‍රභාත් රෝෂන් සහ නිමන්ති පෝරගේටත් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා.


ලෝකය පිළිගත් කෑන්ස් වැනි සිනමා සම්මාන උලෙළවල නිර්දේශ වුණු තරගකරුවන් සමඟ තරග කරමින් ලැබූ මේ ජයග්‍රහණයේ සතුට කියලා නිම කරන්න බෑ. ඒ සියල්ලටම වඩා මගේ විෂය හරහා මේ රටට කීර්තියක් අත්කර දෙන්න හැකිවීම ගැන නිහතමානී සතුටක් දැනෙනවා වගේම එහිදී ඉන්දියාවේ මහා කලාකරු අනුරාග් කාශප්ගේ හමුවීමත් මගේ ජීවිතේට වටිනාම අවස්ථාවක් වුණා. ඔහුගේ පුදුමාකාර අගය කිරීම වගේම මාව ඔහුගේ කැමැතිම නළුවෙක් බව ප්‍රකාශ කිරීමත් මට අදහාගත නොහැකි අවස්ථාවක් වුණා.


ඔහු රචකයෙක්, අධ්‍යක්ෂවරයෙක්, නළුවෙක්, නිෂ්පාදකවරයෙක් විදිහට කලාවට ලොකු මෙහෙවරක් කළ පුද්ගලයෙක්. ඒ වගේ කෙනෙකුගෙන් ලැබුණු පිළිගැනීම සහ හිතාගන්න බැරි තරම් විශාල ඇගයීම අර සම්මානය තරමටම මට වටිනාකමක් එක්කළා.


ඔහු කැමැතිම නළුවෙක් කිව්ව එක මට නම් සම්මානයක් දිනුවා හා සමාන අත්දැකීමක්.


මට විතරක් නෙවෙයි ලලිත් රත්නායක, ප්‍රියන්ත සිරිකුමාර වගේම රන්දිකවත් ඔහුගේ අගැයීමට ලක්වුණා.


රන්දික ගුණතිලක වගේ අලුත් පරම්පරාවේ රංගන ශිල්පියෙක් මාත් එක්ක හොඳම නළුවාට නිර්දේශ වීමත් ලොකු සතුටක්. ඔහු අලුත් පරම්පරාවේ කෙනෙක්.


හොඳම සහය නළුවාට හිමි සම්මානය දිනාගත් ප්‍රියන්ත සිරිකුමාර කියන්නේ අවුරුදු තිස්පහක හතළිහක කාලයක් තිස්සේ මාත් එක්ක එකට වැඩකරගෙන ලොකු කට්ටක් කාලා එකටම ආපු කෙනෙක්. ඒ වගේ ගමනක අවසානයේ මේ වගේ අන්තර්ජාතික සිනමා උලෙළ වේදිකාවකදී එකම වේදිකාවේ ඉඳන් එකම නිර්මාණයකට හොඳම කැටගරියෙන් සම්මානයට පාත්‍රවීම ගැන කියාගන්න බැරි සතුටක් තියෙනවා.


මේ වෙද්දි මම අන්තර්ජාතික සම්මාන උලෙළ දෙකකදී සම්මානයට පාත්‍ර වෙලා තියෙනවා. ඊට අමතරව තවත් දෙකකට නිර්දේශ වෙලා තියෙනවා. ප්‍රසන්න ජයකොඩිගේ ‘28’ සිනමාපටයේ රංගනය වෙනුවෙන් ආසියා පැසිෆික් ස්ක්‍රීන් අවෝර්ඩ්ස් සඳහා හොඳම නළුවාට නිර්දේශ වුණා. ඒ වගේම ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘පැරඩයිස්’ සිනමාපටය වෙනුවෙන් මුම්බායි ක්‍රිටිස් අවෝර්ඩ් විචාරක සම්මාන උලෙළේ හොඳම සහය නළුවාට නිර්දේශ වුණා.


මේ වගේ ජාත්‍යන්තර වේදිකාවක නිර්මාණයක් සඳහා නිර්දේශ වීමත් එක්තරා විදිහක සම්මානයකට පාත්‍ර වීමක් කියලයි මට හිතෙන්නේ. ඉදිරියේදී ‘රිවස්ටන්’ තව තවත් අන්තර්ජාතික සම්මාන උලෙළ නියෝජනය කරමින් ජයග්‍රහණ ලබාවි කියන බලාපොරොත්තුවත් තියෙනවා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5

Comments

Popular posts from this blog

දීපිකා පදුකෝන් එළියට විසිවෙලා

ස්පයිඩර්-මෑන් Box Office වාර්තා අලුත් කරයි