කළු චරිතයක් වුණත් නුරාන්ව හසුරුවන විදිහට ප්‍රේක්ෂකයා කැමැතියි-විරාජ් පෙරේරා

gossiplanka image 1
 

 ජනප්‍රියම ටෙලි නිර්මාණය ලෙසින් අඛණ්ඩව වසර කිහිපයක්ම සම්මානයට පාත්‍රවුණු ‘පාට කුරුල්ලෝ’ ටෙලි නිර්මාණයේ නුරාන්ගේ භූමිකාවට පණ පොවන විරාජ් පෙරේරා මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වන චරිතයයි. බැණුම් පිට බැණුම් අසමින් ප්‍රේක්ෂකාගාරයට වැඩිපුරම බලපෑමක් එල්ල කරන නුරාන් බොරුව, වංචාව, රැවටීම ජීවිතයම කරගත් භූමිකාවකි. නුරාන් සැබෑවටම තමන්ට ආරූඪ කරගනිමින් තාත්වික රංගනයක යෙදෙන විරාජ් නුරාන්ගේ චරිතයට සාධාරණයක් ඉටු කරන බව ඉතාම පැහැදිලිය. අද කතාබහ විරාජ් පෙරේරා සමඟිනි.


විරාජ්ට මේ තරම් හොඳට නුරාන්ව ආරූඪ කරගන්න පුළුවන් වුණේ කොහොමද?


නුරාන් කියන්නේ මේ සමාජයේම එක්තරා පැතිකඩක්. ඒ වගේ චරිත අද සමාජයේ ඕනෑ තරම් ඉන්නවා. බොහෝ අය බොරුවෙන් වංචාවෙන්මයි ජීවත් වෙන්නේ. පන්සලට ගියත් කරන්නේ රඟපෑම. ආරක්ෂකයන් පිරිවරාගෙන දේශපාලනඥයෙක් වගේ හැසිරෙන නුරාන්ට අමුතුවෙන් අත්දැකීම් ඕන නෑ. අද සමාජයේ ඕනෑ තරම් දකින්න ලැබෙනවා. ඒ වගේම කෙල්සි එක්ක තියෙන සම්බන්ධය බිඳ වැටීමත් එක්ක ආදරයෙන් පැරදුණු ප්‍රේමවන්තයෙක් වගේ හැසිරෙන නුරාන් මේ සමාජයේම දකින්න ලැබෙන චරිතයක්. එතැනදි නුරාන් කියන කපටි මිනිහගෙ චරිතයෙන් මිදිලා සාමාන්‍ය පරාජිත පෙම්වතෙක් විදිහට සාමාන්‍ය හඬින් කතා කරනවා. ඒ වෙලාවට නුරාන් ගැන දන්න මිනිස්සු දකින්නේ කපටිකමෙත් හිණිපෙත්තටම ගිය මිනිහෙක් විදිහට. ඒ විදිහට නුරාන්ගේ චරිතයේ පැහැයන් ගොඩක් තියෙනවා.


නුරාන් නිසා මෙවර ජනප්‍රියම නළුවා සඳහාත් නිර්දේශ වුණා නේද?


ඔව්. කිසිම කැම්පේන් එකක් නැතුව සුමති ටෙලි සම්මාන උලෙළේ ජනප්‍රියම නළුවා තුන්වැනි ස්ථානයට ආවා. ඇත්තටම මම හිතුවෙ නැහැ ජනප්‍රියම කාණ්ඩයට තේරේවි කියලා. මම හිතාගෙන හිටියේ ගමනෙ ආරම්භය නොවෙයි මේ ගමනේ අවසානය හොඳම කාලය වෙන්න ඕන කියලා. මේ ගමන ඉවර වෙන දවසක දක්ෂතම නළුවා විදිහට නිමාවක් දෙන්නයි මට ඕන වුණේ. නමුත් නොහිතුව විදිහට මෙවර ජනප්‍රියම කාණ්ඩයට තල්ලු වුණා.




කොහොමද ලැබෙන ප්‍රතිචාර?


ඉතාම හොඳයි. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. මං ගැන දන්නෙ නැති අයගෙ පවා අවධානය ලැබුණා. නුරාන් කළු චරිතයක් තමයි. නමුත් නුරාන්ගේ යටගියාව ගැන කවුරුත් දන්නෙ නැහැ. ඔහු මේ වගේ තත්ත්වයට පත්වෙන්න සාධාරණ හේතුවක් ඇති. ඒ කිසිවක් නොදැනයි මිනිස්සු ඔහුට බණින්නේ. ඉදිරියේදී මොන පැත්තකට යාවිද කියලා අපි දන්නෙ නැහැ. කොහොම නමුත් ලොකු වෙනසක් වේවි කියලා හිතෙනවා. ඒ වගේම නිමාවට පත්වුණු කොටු ටෙලි නිර්මාණයේ ලෝයර් ශක්තික විදිහටත් ලස්සන කැරැක්ටර් එකක් කළා. කොහොම නමුත් මේ සියල්ල අතරින් නුරාන් තමයි හැරවුම් ලක්ෂ්‍යය වුණේ. ඔහු නිසාම පහුගිය 31 වැනි සුමති ටෙලි සම්මාන උලෙළ මගේ ජීවිතේට ලොකු ආලෝකයක් ගෙනාවා.


කළු චරිතයක් ජනප්‍රිය කාණ්ඩයේ සම්මානයකට නිර්දේශ වෙනවා අඩුයි නේද?


කළු චරිතයක් වුණත් මම නුරාන්ව හසුරුවන විදිහට තමයි ප්‍රේක්ෂකයා කැමැති. ලැබෙන ප්‍රතිචාරවලින් ඒ බව හොඳටම පැහැදිලියි. මගෙත් යම්කිසි හැකියාවක් ඇති. නමුත් බුද්ධික සේමසිංහ නුරාන්ව ගොඩනඟන විදිහ හරිම ප්‍රබලයි. නුරාන්ව බිහිකිරීමේ සම්පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ ඔහුට. ඒ වගේම නුරාන්ව හැසිරවීමේ සම්පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන්ට. ඔහුට මම සදාකාලික ණයයි. සම්පූර්ණයෙන්ම මගේ රංගන ජීවිතය වෙනස් කරපු, මම දැකපු, මට පෙනුණු දෙවියා ඔහු. නිෂ්පාදක චාමර සමරවික්‍රම කියන්නෙත් සහෝදරයෙක් වගේ මාව විශ්වාස කරන කෙනෙක්.


ඔබත් පුංචි තිරයේ නිතර දකින චරිතයක්?




ඔව්. පාට කුරුල්ලෝ සුපුරුදු විදිහටම සතියේ දිනවල අඛණ්ඩව විකාශය වෙනවා. ඊට අමතරව අලුතින් මේ දිනවල සිරස නාළිකාවේ නීල සමනලී විකාශය වෙනවා. ඒකත් සුවිශේෂී චරිතයක්. නාත් දොඩම්තැන්න කියන ව්‍යාපාරිකයාගේ චරිතය සමහර විට නුරාන්ටත් අභියෝගයක් වෙන්න පුළුවන් කතාකරන චරිතයක්. ඒ වගේම ‘සිත නිදි නෑ‘ සහ ‘මුතුසාලේ‘ තවමත් විකාශය වෙනවා. ‘මුතුසාලේ‘ ටෙලි නිර්මාණයේ වයසක චරිතයක්. වයසක චරිතයක් කරනවා කියන්නේම ලොකු අභියෝගයක්. එය සියලුම පැතිවලින් වෙනස් වෙන්න ඕන. ඇවිදින, කතාකරන, හැරෙන, අතපය ක්‍රියා කරන විදිහ පවා වෙනස්. කලින් කරපු ටෙලි නිර්මාණයකුත් මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වෙනවා. මේ වෙද්දි මම හැම ජාතියකම වගේ චරිත කරලා තියෙනවා.


දැන් ඔබට සිනමාවටත් බොහෝ ආරාධනා ලැබෙනවා නේද?


පාට කුරුල්ලෝ ෂූටින් යන අතරේම අරුණ ජයවර්ධනගේ රැජිනියේ සිනමාපටයේත් වැඩ කෙරීගෙන යනවා. මම එහි ප්‍රවීණ සංගීතඥ සරත් දසනායකගේ භූමිකාවට පණ පොවනවා. ඔහුගේම පිස්ZOO සිනමාපටයටත් සම්බන්ධ වුණා. ඒ වගේම ශලනි තාරකාගේ ප්‍රේමියේ චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් කළා. තව පතිකුලය කියලා සිනමාපටයක් කළා. මේ දිනවල සිනමා නිර්මාණ කිහිපයකටම දායක වෙන්න අවස්ථාව ලැබුණා. තවත් ආරාධනයක් ලැබිලා තියෙනවා.


හොඳ කලාකරුවෙක් බිහිවෙන්න නම් මානසික නිදහස අත්‍යවශ්‍යයි. කොහොමද ඇගෙන් ලැබෙන සහය?


ඇය චතූ විජේසිංහ. ඇයගෙන් ලැබෙන හයියෙන් තමයි මගේ සම්පූර්ණ කලා ජීවිතය හසුරුවන්නේ. ඇයට හොඳ ඇහැක් තියෙනවා. කලාවටත් සම්බන්ධයි. නිර්මාණයේ ප්‍රධානීන් හැරුණම මං මගේ වැඩ ගැන කතා කරන්නේ ඇයත් සමඟ. ඇය මගේ බිරිය විතරක් නොවෙයි පාසල් කාලයේ ඉඳන්ම මගේ හොඳම මිතුරිය.

 

gossiplanka image 1
gossiplanka image 2


gossiplanka image 3
gossiplanka image 4

Comments

Popular posts from this blog

දීපිකා පදුකෝන් එළියට විසිවෙලා

ස්පයිඩර්-මෑන් Box Office වාර්තා අලුත් කරයි