රඟපානවට වඩා දැන් කැමැති නිදහසේ ඉන්න - චම්පා ශ්‍රියාණී

gossiplanka image 1
 


ටෙලිනාට්‍ය කලාවේ ස්වර්ණමය යුගය පැවති 1980-90 දශකයේ විකාශය වූ ‘ගංගා සහ නිස්සංක, හිමි අහිමි, හිරුට මුවාවෙන්, බැද්දෙ ගෙදර, වනවදුලේ වසන්තය, අඹු දරුවෝ’ වැනි නිර්මාණවලින් ප්‍රේක්ෂක සිත්සතන් ආදරයෙන් වැලඳ ගත් ප්‍රවීණ රංගන ශිල්පිනියක වන චම්පා ශ්‍රියාණි කලකට පසු මේ දිනවල පුංචි තිරය ඔස්සේ අප හමුවට පැමිණෙන්නීය. ඒ ‘සිත් අතර හිස්තැනක්’ ටෙලිනාට්‍යයේ නර්මදා ලෙසිනි. සිය නවතම රංගනය ගැනත් එම නිර්මාණය ගැනත් ඇය කීවේ මෙවැනි කතාවකි.


“‘සිත් අතර හිස්තැනක්’ හි නර්මදා කියන්නේ දරුවන් වෙනුවෙන් කැපවූ මවක්. මුදල් පොලියට දීමෙන් ආර්ථිකය ශක්තිමත් කරගැනීමට උත්සාහ දරන ධෛර්යවන්ත කාන්තාවක්. ඇගේ සැමියා රෝගී තත්ත්වයෙන් පසුවන්නේ. නර්මදාට තරුණ දුවක් සහ පුතෙක් ඉන්නවා. නර්මදා සංකීර්ණ චරිතයක්. මේ චරිතයේ හැඩයට මම කැමැතියි. බොහෝ කලකට පසුවයි මම මේ නිර්මාණයට එක් වුණේ. ”


චම්පා ශ්‍රියාණිට මෙහි රංගනය ප්‍රතික්ෂේප කිරීමට නොහැකි වූ බව ද කියා සිටියාය .


“මේ ටෙලිනාට්‍යය නිෂ්පාදනය කරන්නේ සන්ධ්‍යා බුද්ධිපාල සහ ලක්ෂ්මන් තෙවරප්පෙරුම දෙදෙනා. අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රියන්ත ප්‍රනාන්දු. මේ නිෂ්පාදකවරු දෙදෙනා ‘හිරුට මුවාවෙන්’ විකාශය වන කාලයේ සිටම මගේ fansලා. මා සමඟ බොහෝ හිතවත්. එයාලා අධ්‍යක්ෂගෙන් ඉල්ලීමක් කර තිබුණා මාව මෙයට දායක කරගන්න කියලා. එනිසා මට මේ චරිතය භාර නොගෙන ඉන්න බැරිවුණා. මම දැන් තරමක් විවේකීව පොතක් පතක් කියවමින්, දියණියන්ගේ කටයුතුත් සමඟ නිදහසේ ඉන්න කැමැති කෙනෙක්. ”


ප්‍රියන්ත ප්‍රනාන්දු මීට පෙර අධ්‍යක්ෂණය කළ ‘ සකර්ම, සසංකාරා’ ටෙලිනාට්‍ය සඳහා ද චම්පා රංගනයෙන් දායක වූවාය.


“ප්‍රියන්ත ප්‍රනාන්දු කියන්නේ වසර ගණනක් ප්‍රවීණ අධ්‍යක්ෂවරුන් යටතේ සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස වැඩ කළ කෙනෙක්. ඔහුගේ ‘සකර්ම’ මම එක් වුණේ ශාන්ති දිසානායකගේ ‘පරඬැල්’ නවකතාවට කැමැති නිසයි. ‘සසංකාරා’හිත් මා ගැමි චරිතයක් කළේ. මම හැමවිටම බලන්නේ චම්පා ශ්‍රියාණිට වඩා වෙනස් චරිතයක් තෝරා ගන්න. ‘සසංකාරා’හි ‘සිංගි අම්මා’ත් මට දුරස් චරිතයක්. රංගනයේදී මම ඒ අයගේ හැඩතල ගන්නවා . ‘සිංගි අම්මා’ට සුමති හා රයිගම් ටෙලි සම්මානත් හිමි වුණා.”


චරිතයක් භාර ගැනීමේදී පළමුවත් දෙවනුවත් තෙවනුවත් පිටපත ගැන සැලකිලිමත් වන බව පැවසූ චම්පා, වැඩිදුරටත් මෙසේ ද කීවාය.


“මුල,මැද, අග සහිත පිටපතක් තමයි මම භාරගන්නේ. ඒ වගේම අධ්‍යක්ෂවරයා ගැනත් සිතනවා. අධ්‍යක්ෂවරයා අපට ඉහළින් දැක්මක් සහිත කෙනෙක් විය යුතුයි. මට ඒ චරිතය විඳින්න පුළුවන්නම් තමයි චරිතය භාරගන්නේ. නවකයන්ටත් මම කියන්නේ මුලින්ම චරිතය තමන් විඳින්න කියලා. එසේ භාරගත්තම මම මගේ උපරිම කැපවීම ඒ වෙනුවෙන් කරනවා. ඒක මා සමඟ වැඩකරන අය දන්නවා. මුලින්ම චරිතය ගැන මම සතුටු විය යුතුයි. සුදත් රෝහණගේ ‘කටු ඉඹුල’ හි ‘සෙයිදා’ මට ලැබුණු අභියෝගාත්මක චරිතයක්.”


චම්පාගේ රංගන දිවිය ඇරඹුණේ 1985දීය. එකල උසස් පෙළ හදාරමින් සිටියදී ඒකාංගික ටෙලිනාට්‍යයක රූගතකිරීමකට ඇගේ පාසලට පැමිණි තිමති වීරරත්න, චම්පා ළමයකුගේ සුළු චරිතයකට එක් කරගෙන තිබේ. ඉන් පසු 1987දී සෙනරත් ජයවර්ධන අධ්‍යක්ෂණය කළ ‘හිමි අහිමි’ ටෙලිනාට්‍යයේ ‘මානවී‘ හෙවත් ‘සුදු හාමිනේ’ චරිතය රඟපෑමට අවස්ථාව උදා වෙද්දී ඇගේ වයස අවුරුදු 20කි. අනතුරුව 1988දී පමණ ‘ගංගා සහ නිස්සංක’ හි ‘ගංගා’ ලෙස ප්‍රේක්ෂක ආදරය අසීමිතව දිනාගත් චම්පාව ශ්‍රියාණි ‘හිරුට මුවාවෙන් (ප්‍රීතිමාලි ), වනවදුලේ වසන්තය (මැණිකා), බැද්දෙ ගෙදර (යසවතී), ස්වර්ණ තිසරාවි (නිමාලි), ලෝකාන්තය (සඳලි), අඹුදරුවෝ (බබුං), උතුවන්කන්දේ සරදියෙල් (පිචෝ හාමි ), කටු ඉඹුල (සෙයිදා), මිල්ලෑව වලව්ව (ආනම්මා), සකර්ම (සිරියාවතී), සසංකාරා (සිංගි අම්මා) ‘ ආදී ටෙලිනාට්‍ය රැසක විවිධාකාර වූ චරිත රැසකින් ලාංකේය ටෙලි ප්‍රේක්ෂකයා හමුවේ නොමැකෙන මතක සනිටුහන් කළාය. චම්පා ලද පළමු ටෙලි සම්මානය ‘බැද්දෙ ගෙදර’හි රංගනය උදෙසා හොඳම සහය නිළිය සම්මානයයි.


ජයන්ත චන්ද්‍රසිරිගේ ‘වෙස් මුහුණ’ ටෙලිනාට්‍යයේ චම්පාට රඟපෑමට තිබූ අවස්ථාව අහිමි වූයේ ඇගේ වැඩිමහල් දියණිය ලැබීමට නියමිතව තිබූ හෙයිනි. වසර ගණනාවකට පසු ජයන්ත චන්ද්‍රසිරි අවසානයට අධ්‍යක්ෂණය කළ ‘නන්නත්තාර’හි රංගනයට ද ලද අවස්ථාව ද අහිමි වූයේ එදා ඇයට ලැබීමට සිටි දියණියට පුතා ලැබීම හේතුවෙනි.


කිසිදු සිනමා නිර්මාණයකට දායක වී නොමැති චම්පා ශ්‍රියාණිට ආචාර්ය ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, උදයකාන්ත වර්ණසූරිය වැන්නන්ගේ චිත්‍රපට සඳහා ආරාධනා ලැබුණද යම්යම් හේතු මත ඒවා ද අහිමි වී ගොස් තිබුණි. ඒ නිර්මාණ ඇයට ‘හිමි අහිමි’ ම විය.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4

Comments

Popular posts from this blog

දීපිකා පදුකෝන් එළියට විසිවෙලා

ස්පයිඩර්-මෑන් Box Office වාර්තා අලුත් කරයි