ප්‍රේක්ෂකයන් මාව පිළිගන්නා තුරු සිනමාව මගේ ජිවිතේ -හේමාල් රණ­සිංහ

gossiplanka image 2
නූතන පරම්පරාවේ අතිදක්ෂ ජනප්‍රිය සිනමා තරුව වන හේමාල් රණසිංහ ගැන ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ. හේමාල් රංගනයෙන් දායක වන ජයන්ත චන්ද්‍රසිරි මහතා අධ්‍යක්ෂණය කරන ලද දේවි කුසුමාසන චිත්‍රපටය මේ දිනවල තිරගත වනවා. එහි කොනප්පු බණ්ඩාරට ජිවය දෙන හේමාල් රණසිංහ සමඟයි මේ කතාබහ.

කොනප්පු බණ්ඩාර වෙන්න ඇරියුම කොහොම ද?


මීට අවුරුදු කිහිපයකට කලින් නිමල් ෆ්‍රැන්සිස් කියන ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ සහාය අධ්‍යක්ෂවරයාගෙන් ලැබුණු දුරකතන ඇමතුමෙන් ඔහු කිවුවා මාව ඊළඟ චිත්‍රපටයට ගන්න හිතාගෙන ඉන්න බව. මේ වැඩේ ජයන්ත චන්ද්‍රසිරිගේ කියලා විතරයි කිවුවේ. මම කිව්වා මේ ඇමතුම එනකම් මම අවුරුදු 26ක් බලන් හිටිය බව. මට එතනින් එහාට වැඩි විස්තර කතා කරන්න අවශ්‍ය වුණේ නැහැ. මම කිවුවේ කොන්දේසි විරහිතව මම කැමතියි කියන එක. ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂවරයාව මට ප්‍රථමයෙන්ම දැනුණේ දඬුබස්නාමානය හරහා. අපි පාසල් යන කාලේ පිස්සුවෙන් වගේ බලපු ටෙලි නාට්‍යයක්. මම ඒ පුංචි කාලේ ඉඳන් හීන දැක්ක දැවැන්ත අධ්‍යක්ෂවරයාගේ නිර්මාණයක රංගනයෙන් දායක වෙන්න ලැබෙනවා කියන දේ ඇහුණු වෙලාවේ හැඟුණු හැඟීම වචන වලින් කියන්න බැරි තරම්.


අධ්‍යක්ෂවරයා එක්ක සමීපව ගනුදෙනු කරද්දී ඔහු මොන වගේ චරිතයක් ද?



මට අනුව ඔහු philosopher කෙනෙක්. වෙනම තලයක ජීවත් වන විරල මනුස්සයෙක්. බොහොම සංවේදී අධ්‍යක්ෂකවරයෙක්. ඔහු කෙන­‍කුට සැර කළා නම් කළේ ඔහුගේ නිර්මාණයේ ගුණාත්මක බව වැඩි කර ගැනීමට පමණයි. ඔහු ඔහුගේ නිර්මාණශීලිත්වය ඇතුළේ කතා රසයට ගැළපෙන විදිහට ඉතා සුක්ෂ්මව තමන්ගේ නළු නිළියන් මෙහෙයවන්න දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. කාලය මොන තරම් හරස් වුණත් දවසේ සියලු රූගත කිරීම්වලට පෙර ඒ ඒ දර්ශනයට අදාළ අවස්ථා සම්බන්ධය සාකච්ඡා කිරීමට ඔහු කාලය වෙන් කර ගන්නවා. ඔහු ඒ දේ කරන්නේ ඔහුත් රංගන ශිල්පියෙක් සහ රංගනය සම්බන්ධයෙන් පුහුණු ගුරුවරයෙක් නිසා වෙන්න ඕන. ඒ වගේම ඔහු රංගන ශිල්පියාට ඔහුටම ආවේණික වූ ප්‍රමුඛත්වයක් ලබා දෙන්න කටයුතු කරනවා.


කොනප්පු බණ්ඩාරට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


සමාජ මාධ්‍යය ඔස්සේ පමණක් නෙවෙයි, මම නිතර සමාජය එක්ක ගැවසෙන නිසා ඔවුන්ගේ ප්‍රතිචාර මට නිරන්තරයෙන් ලැබෙනවා. කොනප්පු බණ්ඩාර චරිතය අපේ ඉතිහාසයේ එන සුවිශේෂී, සැඟවී ගිය වීරත්වයක් තියෙන යුද විශේෂඥයෙක්. ඒ ගෞරවය රැකගෙන ඔහුගේ වීරත්වය සහ ශ්‍රේෂ්ඨත්වය ඉහළට ඔසවා, අනාගතයේ දිනක දරු දැරියන්ට කොනප්පු බණ්ඩාර මෙවැනි ශ්‍රේෂ්ඨ චරිතයක් කියලා අවබෝධයක් ගන්න පුළුවන් හොඳම නිදසුන විදිහට මේ චරිතේ පත් කිරීමයි මගේ එකම වගකීම වුණේ.


චිත්‍රපටයේ එන දර්ශන සහ දෙබස් කාණ්ඩ අතරේ හිත ගත් කොටස මොකක් ද?



දේවී කුසුමාසන චිත්‍රපටයේ තවත් සුවිශේෂීම ලක්ෂණයක් තමයි, අවස්ථා සම්බන්ධයන්ට ගැළපෙන මේ සුවිශේෂී දෙබස්. ඒඅතරින් මම පෞද්ගලිකව ප්‍රිය කරන, එන දෙබස් කීපයක් මම එකින් එක කියන්නම්,


‘අපි සොල්දාදුවො ඇන්ඩ්‍රි, හැබැයි ඊටත් වඩා අපි ආදරවන්තයෝ‘


‘ප්‍රේමය නඩු අහන්නෙ නෑ, ප්‍රේමය කිරුළු දරන්නෙත් නෑ.‘


‘සිංහයෝ නැති රටේ සිංහයෙක්, යක්කු නැති රටේ යකෙක්‘


මේ කිහිපයක් විතරයි. චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයින්ට තමන්ගේ රුචිකත්වයට අනූව තව තවත් දෙබස් ඛණ්ඩ අහුවේවි.


මා වඩාත් ප්‍රිය කරපු දර්ශනයක් කොනප්පු බණ්ඩාර සහ ඔහුගේ පියා වීරසුන්දර බණ්ඩාර අතර පැවති අවසාන සංවාදය. වීරසුන්දර බණ්ඩාර වුණේ ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධික ජයරත්න. ඔහු මා බොහෝසේ ප්‍රිය කළ චරිතයක් වුවත් මගේ පියාගේ චරිතයක් කරයි කියන එක මම කවදාවත් මීට කලින් හිතලා තිබුණේ නැහැ. අධ්‍යක්ෂවරයාගේ මූලික මඟපෙන්වීමත් සමඟම අපි දෙදෙනාත් මේ මොහොත පිළිබඳව ගොඩක් සාකච්ඡා කළා. ඒ නිසාම අපි දෙන්නා අතර හොඳ අවබෝධයක් තිබුණා. අවසානයේ ප්‍රේක්ෂකයාට විතරක් නොවෙයි එදා දවසේ දර්ශනතලයේ හිටිය බොහෝ දෙනකුට පවා සංවේදී වන ආකාරයට ඒ ඉදිරිපත් කිරීම කරන්න අපට හැකිවුණා.



ඒ වගේම මේ චිත්‍රපටයේ සාර්ථකත්වයට අධ්‍යක්ෂවරයාට අමතරව තමන්ගේ වගකීම අකුරටම ඉෂ්ට කරපු සෑම රංගන ශිල්පියෙකුටම ස්තුතිවන්ත වෙන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ සටන් අධ්‍යක්ෂවරයා හා රංගන ශිල්පී වසන්ත කුමාරවිල. මම කොනප්පු බණ්ඩාර චරිතය නිර්මාණය කරන මූලික අදියරේ සිට ඔහු මට දුන් සහයෝගය විශේෂයි. මේ කාර්යය තව තවත් තීව්‍ර කරන්න ඔහු ඔහුගේ ගුරුතුමා වන රංජිත් පීරිස් මහතාවත් අපට සම්බන්ධ කළා. එතුමන්ටත් මේ විශේෂ ගෞරවය හිමි විය යුතුමයි.



මා සමඟ උරෙන් උර ගැටෙමින් රංගනය ඉදිරිපත් කළ මගේ අනෙකුත් ශිල්පීන්වත් අගය කළ යුතුමයි. මේඝ, දිනෙත් මේ දෙදෙනාම එකිනෙකාට පරස්පර චරිත දෙකක්. ඔවුන් දෙදෙනාම තමන්ගේ චරිත ස්වභාවයන් හොඳින් වටහාගෙන තිබුණා. ඇන්ඩ්‍රි සහ දොන් පිලිප් චරිත දෙක සංයමයකින් ඉදිරිපත් කරන්න ඔවුන්ට හැකි වුණේ ඒ අවබෝධය නිසාමයි. ඒක දක්ෂ රංගන ශිල්පින්ගේ ලක්ෂණයක්. උදාරි තමන්ගේ දක්ෂතාවයෙන්, කුසුමාසන දේවියටත්. දිව්‍යශාරිකා, එමැනුවෙලාගේ චරිතයට තමන් ඒ චරිතයට ගැළපෙනම කෙනා බවටත් ඔප්පු කරලා තියෙනවා. ඉතා කුඩා දර්ශන කාලයන් තුළ වුවද තමන්ගේ හැකියාවන් උපරිමයෙන් විහිදුවා තමන්ගේ චරිතයේ ලොකු පොඩිකම තියෙන්නේ චිත්‍රපටයේ ධාවන කාලය තුළ තමන්ගේ චරිතයට ලැබෙන දර්ශන කාලයට නොව, තමන් ඒ චරිතයට දෙන සාධාරණය තුළ යන්න ඔප්පුකර පෙන්නු මගෙ අනෙකුත් සහෝදර ශිල්පීන්වත් අගය කළ යුතුමයි. මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස්, මෑතදී අප අතරින් වෙන්වී ගිය වසන්ත විට්ටච්චි ප්‍රවීණ රංගන ශිල්පියාවද ගෞරවයෙන් මතක් කරන අතරම චිලී, මිලින්ද, චමීර, රයන්, ගැවින්, සහන්, සෙනා ජයනාත්, දුමී මේ කිසිම කෙනෙක් අමතක කරන්න බෑ..දිනෙශ් සුබසිංහගේ විශේෂ සංගීත සංයෝජනය හා ඔහුගේ රංගනයත් සුවිශේෂීයි.‍


යසයි කියන වචනයට නම් ඔබේ ජීව්තෙට සම්බන්ධ අතීත කතාවකුත් තියෙනවා නේද?


ඔව්. ඒ වගේ වචනයක් පිටපතකට එන්නෙත් ජයන්ත චන්ද්‍රසිරිගෙන්ම තමයි. මගේ ලොකු අත්තා, ඒ කියන්නේ මගේ අම්මගේ තාත්තා. නමින් විනී ආනන්ද මැදිවක, සේවය කරලා තිබුණේ ශ්‍රී ලංකා පොලීසියේ සාජන්වරයෙක් විදියට. එවකට ඔහු ලංකාවේ boxing all island champion. ඔහු මගේ මුල්ම සටන් ගුරුවරයා. ඔහුගේ මුවේ නිරන්තරයෙන් තිබුණු වචනයක් තමයි යස යස කියන එක. ඔහුගේ මුවින් යස යස වචනය පිටවනවට අපි පුංචි කාලේ ඉඳන් හරි ප්‍රියයි. ඔහු අද ජීවතුන් අතර නැතත් ඔහු නිසාම ඒක අපේ පවුලේ වචනයක් වෙලා. ඒක පිටපතේ දැක්කම ලොකු සතුටක් ආවා. කොනප්පු බණ්ඩාර සහ දොන් පිලිප් ආවේගාත්මක සංවාදයේදී යසයි කියන වචනය භාවිත වෙනවා ඒ මොහොතේ එම සිදුවීමට අදාළව. ඉතින් යසයි කියන වචනය පුදුම විදිහට ප්‍රේක්ෂකයින් අතරත් අද ජනප්‍රිය වෙලා තියෙනවා.


දේවි කුසුමාසන බැලුවද… යසයි..


දේවි කුසුමාසන තිරයට එන්නේ ඉතිහාස කතා නම් ඇති කියන කාලයක,


පසුගිය කාලය තුළ ඉතිහාසය දේශපාලනී කරණය වීම එයට හේතුවයි. ඒ නිසයි රජවරු සහ ඉතිහාසය කියන කතා ප්‍රතික්ෂේප වෙන රැල්ලක් නිර්මාණය වුණේ. දේවි කුසුමාසන ඉතිහාසය ගැන විතරක් කතා කරන චිත්‍රපටයක් නෙවෙයි. ඒ ඒ චරිත ස්වභාවයන් තුළ දේශපාලනය, ආගම, සෙනෙහස, ආදරය,පරිත්‍යාගය, උත්සාහය, පාවාදීම්, තීක්ෂණ බුද්ධිය හා ගෞරවය වැනි කාරණා ගැඹුරින් කතා කරන, සමස්තයක් හැටියට මුළු චිත්‍රපටයම කෙනෙකුට යමක් අධ්‍යයනය කළ හැකි චිත්‍රපටයක් ලෙස මෙය නම් කළ හැකියි. ඉහත රැල්ල නිර්මාණය කරන්න උත්සාහ කළේ ඉතිහාස විරෝධීවනේ. අපි ඒ වචනය අයින් කළොත් මේක සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වූ චරිතාපදානයක්. ලෝකේ එහෙම චිත්‍රපට අපි ආසාවෙන් නරඹනවනේ.



“අපරාදේ ඉන්දියාවේ ඉපදෙන්න තිබ්බ නළුවෙක් ලංකාවේ ඉපදිලා” සමාජ මාධ්‍යවල ප්‍රේක්ෂකයින් එහෙම කියනවා?



මම හරි වාසනාවන්තයි ප්‍රේක්ෂක ආදරේ ගැන කතා කරද්දී. ඒ අයගේ මතය සමාජ මාධ්‍ය එක්ක බෙදා හදා ගන්න ආකාරය මමත් දකිනවා. ඒ හැම මතයකටම මම ගරු කරනවා. මට මේ වෙලාවේ මතක් වෙනවා ඉරාන චිත්‍රපට අධ්‍යක්ෂ අබ්බාස් කියරොස්තාමි කියපු කතාවක්. ඔහුගෙනුත් දවසක් මාධ්‍යවේදියෙක් අහනවා දැන් ඔබට හොලිවුඩ් සිනමාවට යන්න පුළුවන්නේ කියලා. එතැනදී ඔහු හරි ලස්සන උත්තරයක් දෙනවා. ඒ උත්තරේ අදහස වුණේ මේ පොළවේ තියෙන පැළේ වෙනත් පොළවක පැළ කළොත් ඒ පොළවේ හටගන්නා මල් සහ පල, උපන් පොළවේ හටගන්නා මල් සහ ඵල තරම් සශ්‍රීකව බලාපොරොත්තු වෙන්න බැහැ කියන එක. ඊට වඩා වෙනස් කියන එක. ඒ වගේ එකක් තමයි මටත් කියන්න තියෙන්නේ මේ මගේ පොළව, මේ මගේ මිනිස්සු, මේ මගේ වටපිටාව මේක තමයි මගේ පාරාදීසය. කවදා හරි අපේ රටේ සිනමා කර්මාන්තය අපි කතා කරන උසස් සිනමාව දක්වා ගෙනියන්න පුළුවන් නම් තමයි මගේ සතුට. මට අවශ්‍ය මේ රටේ දෙයක් ලෝකෙට ගෙනියන්න මිසක්. ලෝකේ තියෙන ඕනෑම දෙයක් මේ රටට ගේන්න නෙවෙයි. නමුත් මම මගේ ප්‍රේක්ෂකයිගේ ආදරණීය අදහස්වලට හිස නමා ආචාර කරනවා. ඔවුන්ගේ අදහස් මාව තව තවත් ධෛර්යවත් කරනවා.


මෙරට සම්මාන උලෙළ ගැන කතා කරද්දී ඔබ ඉන්නේ?


සම්මානවලට හැමදාම ගරු කිරීමක් ආදරේ කිරීමක් තියෙනවා. අපි දැකලා තියෙනවනේ හොලිවුඩ්වල ඔස්කා හෝ ඇකඩමි සම්මානයක් ගත්තම ඒ ශිල්පීන්ට ඇඩෙනවානේ. හැබැයි අපේ රටේ සම්මාන උලෙළ කියන එක පසුගිය කාලේ බිස්නස් එකක් වෙලා. සමහර අයගේ ප්‍රොෆයිල් හොයල බලද්දී ඒ අයගේ බිස්නස් එක සම්මාන උලෙළ සංවිධාන කිරීම. ඒ අය සම්මාන උලෙළකට මුවා වෙලා වෙන අරමුණු ඉටු කර ගන්නවා. මම ඒක දකින්නේ මේ කර්මාන්තයටම කරන නිග්‍රහයක් විදිහට. ඔස්කා හෝ ඇකඩමි සම්මාන උලෙළවල් 15ක් විතර අවුරැද්දකට තිබ්බා නම් ඒ සම්මානයේ වටිනාකමක් දැනේවිද?


මෙච්චර පොඩි රටක, පොඩි කර්මාන්තයකට මොකටද මෙච්චර සම්මාන උලෙළ? ඒකෙන් වෙන්නෙ සම්මානයේ ගෞරවය නැතිවෙන එක. අපි වගේ රටකට පිළිගත් සම්මාන උලෙළ විතරක් තියලා අනිකුත් සම්මාන උලෙළ ප්‍රතික්ෂේප කරන්න ඕනේ කියන තැනයි මම ඉන්නේ. ඒ ප්‍රතික්ෂේප කිරීම මත තමයි අපිට ගුණාත්මක බව ආරක්ෂා කර ගත හැක්කේ.


සමාජ සේවය වෙනුවෙන් සම්මාන උලෙළ කරන්න ඕනේ නැහැ. සමාජ සේවය වෙනුවෙන් කරන්න ඕනේ තරම් දේවල් තියෙනවා. ඒ නිසයි සමහර සම්මාන උලෙළ මම ප්‍රතික්ෂේප කළේ. යම් කිසි වගකීමක් එක්ක කරන සම්මාන උලෙළ වලට මම උදවු කරනවා. මම සම්මාන උලෙළකට යන්නේ මට සම්මාන ගන්න බලාගෙන නෙවෙයි. අපේ කර්මාන්තය වෙනුවෙන් නියැලී ඉන්න හැමෝම වෙනුවෙන් කරන මේ දිරිගැන්වීමට මගේ දායකත්වය ලබා දෙන්න. හරි විදිහට හරි දෙයක් කරද්දී කොන්දේසි විරහිතව මම මගේ සහයෝගය ලබා දෙනවා.


මම එයාට ආදරේට කියන්නේ දේවි, ඒ කුසුමාසන දේවිහි කොනප්පු බණ්ඩාරනේ, හේමාල් රණසිංහ ආදරේ දකින්නේ කොහොමද?



ආදරේ කියන දේ දකින්නේ ආදරේ විදිහටම තමයි. ඒක උත්තරීතර හැඟීමක් වගේම ක්‍රියාවක්ද විය යුතුයි. ආදරේ අඳුනන්න ආදරේ දෙන්න නම් ඇය දේවතාවියක් වගේ වෙන්නම ඕනේ. එත් දේවතාවියෝ හොයන එක ලේසි නැහැ


දේවතාවියක් ඉන්නවද?


දේවතාවියක් කැප දේවතාවෙකුටයි. මනුස්ස මට කොහෙන්ද දේවතාවියක්..


සිනමාවම ද ජීවිතේ?


මේ වෙනකම් සිනමාව තමයි ජීවිතේම. මම හිතනවා ඉදිරියටත් ඒක එහෙම වෙයි කියලා. ප්‍රේක්ෂකයින් මාව පිළිගන්නා තාක්කල් සිනමාව මගේ ජීවිතේ කරගෙන ඉන්නවා. මාව ප්‍රේක්ෂකයින්ට එපා වුණු දවසක මේ සියල්ල අත්හරින්න පුළුවන් මානසික මට්ටමක මම ඉන්නවා.


හේමාල් රණසිංහ මොන වගේ කෙනෙක් ද?


ඇත්තම කියනවා නම් මමත් තාම මාව හොයනවා.

gossiplanka image 1
Previous Post Next Post