ලංකාව ඉන්දියාවට අරන් ගිය අපේ නයිට්ස්

gossiplanka image 1
සංගීතය විශ්ව භාෂාවක් බව නැවත නැවතත් ඔප්පු කරමින් ශ්‍රී ලංකාවේ “නයිට්ස්”‍ සංගීත කණ්ඩායම ඉන්දියාවේ මුම්බායි නුවර පැවති “බැටල් ඔෆ් ද බෑන්ඩ්ස් - ඉන්ටර්නැෂනල්”‍ තරගාවලියේ අනුශූරතාවය (1st Runner Up - Second Place) දිනා ගැනීමට පසුගිය දා සමත් වුණා. ශ්‍රී ලාංකික කණ්ඩායම් සංගීත ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක් ලෙස මේ මොහොත නම් කරන්න පුළුවන්. ඒ නිසාම මේ ඓතිහාසික මොහොත හා ඊට පසුබිම් වූ තොරතුරු අප ඔබ සමඟ බෙදාගන්න තීරණය කළා.


ලොව පුරා රටවල් ගණනාවකින් පැමිණි සංගීත කණ්ඩායම් 30කට අධික සංඛ්‍යාවක් අතරින් තරග වැදුණු නයිට්ස් සංගීත කණ්ඩායම, තරග වට හතක් සාර්ථකව පසු කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේ සෑම ශ්‍රී ලාංකිකයකුගේම අලු‍ත් බලාපොරොත්තුවක් ඇති කරමින්. ශූරතාවය අහිමිවුණත් දක්ෂතාවය සහ විශිෂ්ටත්වයේ ගෞරවය සිය මව්බිමට රැගෙන එන්නට නයිට්වරු අවසානයේ දී සමත් වුණා.


නයිට්ස් සංගීත කණ්ඩායම බිහිවෙලා වසර දෙකහමාරක පමණ කාලයක් මේ වෙනකොටත් ගතවෙලා තියෙනවා. කණ්ඩායමේ සාමාජිකයන් හත් දෙනෙක් ඉන්නවා. ප්‍රධාන ගායකයා වන තරිඳු නිර්මාණ කරුණානායක අයියා මේ කණ්ඩායමේ නායකත්වය දරනවා. මේ කණ්ඩායම විශිෂ්ටත්වයට රැගෙන යාම පිටුපස, තරිඳු කළ මෙහෙය මෙතෙකැයි කියන්න බෑ. ලංකාවම මේ තරගාවලිය පිළිබඳ දැනගත්තේ, තරිඳු සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳ අපිට කියපු නිසා.

කණ්ඩායමේ ඉන්න අනිත් නයිට්වරුත් සුපිරි දක්ෂයන් බව නොකියාම බැහැ. ඒ හැමදෙනාම රට හඳුනා ගන්න ඕනෑ.


- අරුන් ජෙරමි - ගායකයා

- දනිදු පෙරේරා - බේස් ගිටාර් වාදක

- ගීසර විජේකෝන් - ලීඩ් ගිටාර් වාදක

- කවිෂ්ක අශාන් - කීබෝඩ් වාදක

- රුක්ෂාන් සිල්වා - ඩ්‍රම්ස් වාදන ශිල්පී

- චිරන්ත ෆර්නැන්ඩු - කීබෝඩ් වාදක


හැබැයි මේ තරගාවලියට යද්දි මේ කණ්ඩායමට යම් කැපකිරීමක් කරන්න සිද්ධ වුණා. ඒ තරග රෙගුලාසි අනුව සාමාජිකයන් පස්දෙනකුට පමණක් තරගයට සහභාගී වීමට අවසර තිබූ නිසා. අරුන් සහ චිරන්තට තරගයට සහභාගී වීමට අවස්ථාව හිමිවුණේ නෑ.


“බැටල් ඔෆ් ද බෑන්ඩ්ස් - ඉන්ටර්නැෂනල්”‍ තරගාවලිය ඉන්දියාවේ දූර්දර්ශන් නාලිකාව ඔස්සේ විකාශය වුණා. දූර්දර්ශන් කියන්නේ ඉන්දියාවේ ප්‍රමුඛතම රූපවාහිනී නාලිකාවක් කියන එක අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ. ඒ වගේ නාලිකාවක් ඇතුළේ සංවිධානය කරන ගෝලීය වශයෙන් වටිනාකමක් තියෙන තරගාවලියක් තමා “බැටල් ඔෆ් ද බෑන්ඩ්ස් - ඉන්ටර්නැෂනල්”‍ කියන්නෙ.


මේ තරගාවලියේ අරමුණ බවට පත්වුණේ ලෝකයේ හොඳම සංගීත කණ්ඩායම තේරීම. මෙම තරගාවලියට ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, මාලදිවයින, රුසියාව, සිංගප්පූරුව වැනි රටවල් රැසකින් සංගීත කණ්ඩායම් සහභාගි වුණා. ඉන්දියාව කියන්නේ ලෝක සංගීතයේ මහ ගෙදර වගේ. ඒ නිසාම මේ වැඩේ විනිශ්චය කරන්න පැමිණියේ වර්තමාන භාරතීය සංගීතයේ විශිෂ්ටතමයන් කිහිප දෙනෙක්.


විනිශ්චය මණ්ඩලයේ ශ්‍රද්ධා පණ්ඩිත් සහ රාජා හසන් වැනි ප්‍රවීණ කලාකරුවන් කැපී පෙනෙන චරිත බවට පත් වුණා. ඔවුන් අපේ සංගීත කණ්ඩායමට ලබා දුන් විවරණ ධෛර්යය අපේ හදවත් හැම ආඩම්බරයට පත් කළ බව සිහිපත් කරන්න ඕනෑ. මේ අය විතරක් නෙවෙයි, ඉන්දියාවේ විශිෂ්ටයන් වන අනූ මලික්, අභිජිත් භටාචාර්යා, සලීම් මර්චන්ට් වැනි ප්‍රසිද්ධ කලාකරුවන් ආරාධිත විනිශ්චයකරුවන් ලෙස සහභාගි වුණා. ඇඟ හිරිවැටෙන අපේ සංගීතය ගැන ඔවුන් ලබා දුන්න සමහර විවරණ අපිට කවදාවත් අමතක කරන්න බැරි වේවි.


නයිට්ස් සංගීත කණ්ඩායම තරග වට හතක් සාර්ථකව පසු කරමින් තමා අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ. අවසානයේ 1st Runner Up (දෙවැනි ස්ථානය) දිනා ගැනීමට අපේ අයට හැකි වුණා. පළමු වටයේදීම “හොඳම සංගීතමය ඉදිරිපත් කිරීම”‍ ලෙස ද ඔවුන් පිළිගැනීමට ලක් වූ මොහොත පිළිබඳවත් සිහිපත් කරන්නම ඕනෑ. ලංකාවේ සමාජ මාධ්‍යවල ඒ මොහොත වෛරල් වුණා. අපි හැමෝම අලු‍ත් බලාපොරොත්තුවක් සහ ආඩම්බරයක් හිතේ රඳවාගෙන මේ තරගාවලියත් එක්ක එකතු වුණේ නිසා.


අවසානයේ තම ජයග්‍රහණය පිළිබඳව සංගීත කණ්ඩායම සිය ෆේස්බුක් පිටුවේ මෙසේ සඳහන් කරලා තිබුණා.

“දිනන පරදින එක අපි හැමෝටම පුරුදු දෙයක්. අපි අපේ උපරිම කළා. ඒත් වෙන දේවල් නවත්තන්න අපිට බෑ. අපි 1st Runner Up ගන්න බැරි වුණා. හැබැයි අපි 1st Runner Up.. Second Place. රටවල් ගාණක bands අතරින් 2nd කියන එක අපිට ගොඩක් ලොකු දෙයක්.”‍


මෙම ජයග්‍රහණය හුදෙක් සංගීත කණ්ඩායමක ජයග්‍රහණයක් පමණක් නෙවෙයි. ශ්‍රී ලංකාවේ සංගීත කලාවේ ජයග්‍රහණයක් ලෙස සලකන්න පුළුවන්. ලෝක වේදිකාවක ශ්‍රී ලාංකික සංගීතය නියෝජනය කිරීමට හැකිවීම රටේ කලා ක්ෂේත්‍රයේ වර්ධනයට මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් ලැබීමට ලොකු හේතුවක්. පසුගිය කාලය පුරාවටම ඉන්දියානු මහා සංගීත සම්ප්‍රදායන් ඇතුළට ‘කමෙන්ටුවෙන්’ ශ්‍රී ලාංකිකයන් රිංගන බව පෙනුණා. අපේ අනන්‍යතාවය ආරක්ෂා කරගෙන මහා භාරතයේ පතාක යෝධයන් එක්ක උරෙන් උර ගැටෙමින් අපේ කලාකරුවන් රටට රැගෙන ආවේ ආඩම්බරයක්. ඒ නිසාම සමස්තය තුළ ශ්‍රී ලාංකීය සංගීතය කුමක්ද කියන එක ඉන්දියාවට දැනෙන්න සැලැස්සුව මොහොතක් විදිහට මේ අවස්ථාවත් අපිට හඳුන්වන්න පුළුවන්.


සංගීත කණ්ඩායමේ නායක තරිඳු නිර්මාණ කරුණානායකගේ නායකත්වය යටතේ, නයිට්ස් සංගීත කණ්ඩායම අනාගතයේදී තවත් ජාත්‍යන්තර වේදිකා රැසක ශ්‍රී ලාංකීය නාමය ජය කෙහෙළි නංවන බව ඉඳුරාම කියන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය දක්ෂතාවය, හැකියාව වගේම අවබෝධය සහ පුහුණුවත් මේ පිරිසට තියෙනවා.


තරිඳු නිර්මාණගේ වචනවලින්ම කිවහොත්, “සංගීතය කියන්නේ විශ්වයේ භාෂාවක්”‍ බව මෙම ජයග්‍රහණය තුළින් තවදුරටත් තහවුරු වෙලා හමාරයි. නයිට්ස් සංගීත කණ්ඩායමට මෙම සාර්ථකත්වය වෙනුවෙන් අපගේ උණුසුම් සුබ පැතුම් එක් කරන්න හදසර අද දවසෙදි අමතක කරන්නෙ නෑ.


සුබ පැතුම් නයිට්ස්වරුනි, ඉදිරියටම යන්න!


• චමිඳු නිසල්


Previous Post Next Post