අම්මාගේ ගීත ගායනා කරලා ජනප්‍රිය වෙන්න මට අවශ්‍ය නෑ - දිනිති පරණගම

gossiplanka image 2
මව්පිය උරුමයෙන් කලා ක්ෂේත්‍රයට පිවිසෙන දරුවන් වර්තමානය වන විට සුලභව දක්නට ලැබේ. ඇතැම් දූ දරුවන් රංගනයට, ගායනයට මෙන්ම කලා ක්ෂේත්‍රයේ විවිධ අංශවල නියැළෙමින් දස්කම් පාමින් සිටී. බෝගොඩ පරම්පරාව යනු සංගීත ක්ෂෙත්‍රයේ ඉහළින් වැජඹෙන පිරිසකි. විශාරද චන්ද්‍රදාස බෝගොඩ , රංජිත් බෝගොඩ, ඉන්ද්‍රානි බෝගොඩ සහ චන්ද්‍රා බෝගොඩ සංගීත පරපුරේ දෙවෙනි පරම්පරාවද මේ වනවිට සංගීත ක්ෂේත්‍රයට පා තබා ඇත. අපේ රටේ දක්ෂ ගායිකාවක වන ඉන්ද්‍රානි බෝගොඩ මහත්මියගේ ආදරණීය දියණිය දිනිති පරණගම අද වන විට ගායිකාවක් බවට පත්වී ඇත. ඇයව සරසවියට මුණ ගැසුණේ අපූරු අවස්ථාවකය. හෙළ කලාකෙත පෝෂණය කළ තම මව්පියන්ගේ උරුමය සහ ඔවුන්ගේ මතකයන් ඉදිරියට ගෙන යාමට පිහිටුවා ගත් තරු දරුවෝ පදනමේ සුහද හමුවේදීය. එදින තරු දරුවෝ පදනමෙන් විශේෂ උපහාර තිළිණයක් ප්‍රවීණ ගායිකා ඉන්ද්‍රානි බෝගොඩ මහත්මියට පුදකෙරිණි. එදින එතුමිය කැටුව පැමිණි දිනිති තම මෑණියන්ගේ ගීත කිහිපයක් ගායනා කරමින් උත්සවය ප්‍රබෝධවත් කළාය. ඇයගේ හඬ ඉන්ද්‍රාණි බෝගොඩ මහත්මියගේ හඬ මෙන් මිහිරිය. එහෙත් දිනිති සෑම විටම උත්සාහ දරන්නේ තමන්ටම ආවේණික ශෛලියකින් ගීත ගායනා කිරීමටයි. පසුගිය දිනෙක දිනිති සරසවිය හමුවට පැමිණියාය. ඇගේ වතගොත සරසවිය හමුවේ දිගහැරෙන පළමු වතාවයි මේ.


මම පදිංචි වෙලා ඉන්නේ මහරගම. මගේ අම්මා සමඟ. මම මුලින්ම අධ්‍යාපනය ලැබුවේ මහරගම විද්‍යාකර බාලිකාවට. හය වසරේ සිට අධ්‍යාපනය ලැබුවේ අනුලා විද්‍යාලයේ. මම පුංචි කාලේ සංගීතයට ඇලුම් කළ කෙනෙක් නෙවෙයි. අම්මා ගුවන් විදුලියේ වැඩසටහන් වලට මාව එක්කන් ගියේ බලෙන් වාගේ. සමහර වෙලාවට මම යන්න බෑ කියලා බිම වාඩි වෙනවා. ඒත් තරුණ වියට පා තබන විට මම තේරුම් ගත්තා මමත් ගීත ගායනා කළ යුතුයි කියලා. අම්මා දක්ෂ ජනප්‍රිය ගායිකාවක්. ඒත් මට අවශ්‍ය වුණේ නැහැ අම්මාගේ ගීත ගායනා කරමින් සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය වෙන්න.


මම හොඳීන් සංගීතය හැදෑරුවේ මහරගම විද්‍යාකර බාලිකාවේ ඉගෙන ගත්ත කාලේ. සමස්ත ලංකා තරඟවල ප්‍රාථමික අංශයෙන් පළාත් , දිස්ත්‍රික් , සමස්ත ලංකා යන අංශ තුනෙන්ම ප්‍රථම ස්ථානය මට හිමිවුණා. හය වසරේ සිට මම ගියේ නුගේගොඩ අනුලා විද්‍යාලයට. එහිදී මට සංගීතයට යොමු වෙන්න අවස්ථා ලැබුණේ නැහැ. එයට හේතුව ඒ පාසැලට මම නවක සිසුවියක් වූ නිසා. මම උසස් පෙළ කළේ ජීව විද්‍යා අංශයෙන්. උසස් පෙළින් පසුව මම පරිගණක මෘදුකාංග පිළිබද උපාධිය ලබා ගත්තා. පසුව හිටාචි ආයතනයේ කළමනාකාරිනියක් විදිහට සේවයට එක්වුණා. ඒ සමඟම ගීත ගායනයටත් යොමු වෙන්න හිතුණා. අමරසිරි පිරීස් මාමා අපේ පවුලේ සමීප හිතවතෙක්. ඔහුත් සමඟ මට ගීතයක් ගැයීමට අවශ්‍ය වුණා. අමරසිරි මාමා කවදාවත් අහලවත් දැකලවත් තිබුණේ නැහැ. මම ගීත ගායනා කරනවා. මම අමරසිරි මාමාට මගේ අදහස ඉදිරිපත් කළා. ඔහු කිසිවක් නොකියාම එක පාරටම කැමැත්ත දුන්නා. ඉස්සර ආරාධනා ස්වර දැහැනට යද්දී අපි යන්නේ එකට.ඒ තරම් හිතවත් කමක් අපේ පවුල් දෙක අතර තියෙනවා. ඔහු මට හොඳ සහයක් දුන්නා ගීතය සාර්ථක කර ගන්න. අමරසිරි මාමා මගේ ගායන විලාසය ඇහුවෙත් ගීතය පටිගත කරන වෙලාවේමයි. එම ගීතය තාත්තා සහ දියණියක් අතර කියැවෙන ගීතයක්. එය සංගීතවත් කළේ දර්ශන රුවන්. රචනා කළේ අමිල තේනුවර. අමරසිරි මාමා මා සමඟ ගීතය ගායනා කළාට කිසිදු මුදලක් අයකළේ නැහැ. ඒ ගීතයට මියුසික් වීඩියෝ එක කරද්දීත් අමරසිරි මාමා ඇවිත් සහය දුන්නා. ඔහු ප්‍රවීණයෙක් වුණත් නව පරපුරට උදව් කරන කෙනෙක්.


මම ගීත දහයක් පමණ කරල තියෙනවා. ලැබෙන හොඳ ප්‍රතිචාර අතර දොස් කියල ලැබෙන ප්‍රතිචාරත් තියෙනවා. මම ගායනා කරන පැටළුණා කියන ගීතයට සමහර අය බැනලා තියෙනවා. එහි මියුසික් වීඩියෝ එකේ තියෙනවා සියදිවි නසා ගැනීමේ දර්ශනයක්. ඒ නිසා තමයි සමහර අය දොස් කිව්වේ.


ගීත සඳහා මියුසික් වීඩියෝ කරද්දී මට ප්‍රශ්න මතුවුණා. මට අවශ්‍ය වුණේ ගීතය ජනප්‍රිය කර ගන්න විතරයි. මියුසික් වීඩීයෝ නිර්මාණය කරන ඇතැම් අවධ්‍යක්ෂවරු අපි අඳින ඇඳුම් පිළිබඳ බලපෑම් කරනවා. බොහෝ අය හිතන්නේ බටහිර ආරෙකට ගීතයක් ගයනවා නම් ඇඟ නිරාවරණය විය යුතුයි කියලා. මියුසික් වීඩියෝ සඳහා මට අවශ්‍ය පරිදි මට ගැලපෙන විදිහට ඇඳුම් නිර්මාණය කළේ රැෆෙල්ලා ප්‍රනාන්දු. මම ගායනා කරන ම් නධන ගීතයත් ඉතා ජනප්‍රිය වූ ගීතයක්. ඒ ගීතය ලිව්වෙත් මම. ඒත් එය මම මාධ්‍ය ආයතන වලට ලබා දුන්නේ නැහැ. මම අමරසිරි මාමාත් සමඟ ගායනා කරන ගීතය ජාතික මාධ්‍යයකට දුන්නත් මේ වනතුරු ප්‍රචාරය වී නැහැ. ඒ නිසා තමයි ම් නධන ගීතයත් මම මාධ්‍ය ආයතන වලට නුදුන්නේ. වර්තමානයේ සමාජ මාධ්‍ය තියෙන නිසා අපේ ගීත අපිටම ප්‍රචලිත කරගන්න පුළුවන්. සමාජ මාධ්‍යය පාවිච්චි කරන දෙවිදිහක් තිබෙනවා. නෙගෙටිව් මාකටිං සහ පොසිටිව් මාකටිං . සමහර අය තමාගේ ජීවිතය ගැන සෘණාත්මක දෙයක් අදාළ කරගෙන ඒ හරහා ජනප්‍රිය වෙනවා. මම එසේ නැහැ. මම නිතරම මගේ ගීත සමාජ මාධ්‍ය හරහා ජනප්‍රිය කරගන්නේ ධනාත්මක විදිහට හිතලා.


මම ජනප්‍රිය වෙනවා නම් ජනප්‍රිය වෙන්නේ මම ගායනා කරන ගීතයෙන්. වර්තමානයේ ඇතැම් ගායිකාවන් ප්‍රසංග වේදිකාවේදී ජනප්‍රිය වෙන්න හදන්නේ ගීත ගායනා කරල නෙවෙයි. අඟ පසඟ වැඩිපුර පෙනෙන ඇඳුම් ඇදල ඉක්මනින් ජනප්‍රිය වෙන්න ඔවුන් උත්සාහ කරන්නේ. වේදිකාවට නැඟලා ගීතයේ කොටස් පමණයි ගායනා කරන්නේ. මයික්‍රෆෝනය යොමු කරන්නේ ප්‍රේක්ෂකයන්ට. ඔවුන් මුල්තැන දෙන්නේ ඇඳුම් විලාසිතා වන්නට පමණයි. ගායනය ගැන සිතන්නේ නැහැ. එසේ වියයුතු නැහැ කියලයි මට හිතෙන්නේ. කටහඬ, ගායනය සහ තමන්ගේ දක්ෂතාවය තමයි සමාජයට පෙන්විය යුත්තේ.


මගේ තාත්තා ධර්මදාස පරණගම. ඔහු රූපවාහිනී සංස්ථාවේ පර්යේෂණ අංශයේ හිටපු අධ්‍යක්ෂකවරයෙක්. තාත්තා නැති වෙන්න කලින් මම ම් නධන ගීතය නිර්මාණය කලේ. තාත්තා ගිය අවුරුද්දේ ජීවිතයෙන් සමුගත්තා. ඒ නිසා මම ගායන කටයුතු ටිකක් නතර කළා. මේ මැයි මාසෙට තාත්තා නැතිවෙලා වසරක් සපිරෙනවා. මම එදා නතර කරපු තැනින් ආයෙමත් පටන් ගන්නවා. මේ අවුරුද්දේ මම විශේෂ දෙයක් කරන්නත් බලාපොරොත්තු වෙනවා.


මම රැකියාව කරන ආයතනයෙන් මගේ සංගීත වැඩ කටයුතු වලට උපරිම සහයක් දෙනවා. හිටාචි කියන්නේ ජපන් සමාගමක්. ඔවුන් මගේ ගී නිර්මාණ අගය කරනවා. ආයතනයේ ඉහළ කළමනාකාරීත්වයත් මගේ ගායනය කටයුතු සඳහා විශාල සහයක් ලබා දෙනවා. ආයතනයේ විශේෂ උත්සව අවස්ථාවලදී මගේ ගීත ප්‍රචාරය කරනවා.


මම මුලින්ම සඳහන් කළා වගේ මට අවශ්‍ය වුණේ මගේම ගීත ගායනා කරල ගායිකාවක් වෙන්න. මට පහසුවෙන්ම පුළුවන්කම තිබුනා මගේ අම්මගේ ගීත ගායනා කරල ඉදිරියට යන්න. ම් නධන වැනි තවත් නිර්මාණ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ නිර්මාණ කෙරෙන්නේ ලංකාවේ අසන්නන්ට රස විඳීන්න පුළුවන් විදිහට.


මම නිතරම සංගීත කටයුතු කරන්නේ අපේ අම්මා ඇතුළු බෝගොඩ පරපුරට හානියක් නොවන විදිහට. එහෙත් නව ආරෙක ගීත ගයන්න මට අවශ්‍යයි. මටම ආවේණික වූ ශෛලියකට මම ගීත ගායනා කරන්නේ. ඒ නිසා මට දෝෂාරෝපණ පවා එල්ල වූ අවස්ථා තිබෙනවා.


පසුගිය දිනයක මගේ අම්මාට උපහාරයක් පුද කෙරුණා තරු දරුවෝ පදනමෙන්. අතීත ප්‍රවීණ කලාකරුවන්ගේ මතක, ඔවුන්ගේ උරුමයන් ඉදිරියට ගෙනයාමේ අරමුණින් ඔවුන්ගේ දූ දරුවන් විසින් පිහිටුවා ගත් සංවිධානයක් තමයි තරු දරුවෝ පදනම. එය ඇත්තටම වටිනා දෙයක් . මට එයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ සාධානා රණතුංග අක්කා නිසා. ඇය මට කතා කරල කිව්වා අම්මත් සමඟ මට ඒ අවස්ථාවට සම්බන්ධ වෙන්න කියලා. අපේ අම්මලා තාත්තලා සිනමා නළු නිළියන් සමඟත් සමීප සම්බන්ධතා පැවැත්වූවා. ඒ නිසා ගායන, රංගන සහ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා සිටි ප්‍රවීණයන්ගේ දරුවන් එකට එකමුතු වීම අගය කළ යුතුයි. මටත් එහි සාමාජිකාවක් වෙන්න ලැබීම වාසනාවක්. මට සරසවියේ මේ අවස්ථාව ලැබුණෙත් තරු දරුවෝ පදනම කළ ඒ ආරාධනාව නිසා. සරසවිය පුවත්පතට මා බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. නව ගී නිර්මාණ කිහිපයක් රැගෙන ඉදිරියේදී නැවතත් රසිකයන් අතරට එන්න බලාපොරොත්තු වෙනවා.


ඇයටම ආවේනික වූ ශෛලීන්ගෙන් ගී ගයන දඟකාර සුන්දර යොවුන් ගායිකා දිනිති පරණගමට ගායිකාවක් ලෙස දිගු කලක් සංගීත ක්ෂේත්‍රයේ රැඳී සිටීමට ශක්තිය ලැබේවා.


anjalidehipitiya@gmail.com

gossiplanka image 1
Previous Post Next Post