බොහෝ දෙනා හිතුවේ මං ලංකාවේ නෑ කියලා -ගයා ක්‍රිෂානි

gossiplanka image 1
සංගීතය මෙන්ම නර්තනය ද ඇයට මවුපිය උරුමයෙන් ලැබුණු හැකියාවන්ය. ඉන් ඇය වඩාත් ආදරයෙන් වැලඳ ගත්තේ පිය උරුමයෙන් ලද විශ්ව භාෂාවක්වන් සංගීතයයි. අද ඇය එහි සංගීත් නිපුන්, සංගීත් භූෂණ දක්වාම ස්පර්ශ කර අවසන්ය. ප්‍රේක්ෂක ආදරය දිනා ගනිමින් ඇය රංගනයේද දිගු ගමනක් පැමිණ සිටින්නීය. වේදිකාව, පුංචි තිරය, රිදී තිරය මෙන්ම ප්‍රසංග වේදිකාවට ද ආධුනික නොවන ඇය ගයා ක්‍රිෂානිය. සංගීත ආචාරිනියක ද වන ඇය කලා ක්ෂේත්‍රය තුළ සිටින එකම සංගීත් නිපුන් රංගන ශිල්පිනිය ද වන්නීය. මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන කෝඩුකාරී ටෙලි නිර්මාණයෙන් ඔබ හමුවට එන ඇය සමඟයි මේ කතාබහ.


ගයා ක්‍රිෂානි කියන්නේ ක්ෂේත්‍ර කිහිපයකම කියැවෙන නමක් වුණත් සංගීත ක්ෂේත්‍රය තුළ දිවෙන ඔබේ පරාසය වැඩියි නේද?


ඇත්තටම ඔව්. මට පුංචි කාලෙ ඉඳන්ම කලාවේ ආභාසය ලැබුණා. සංගීතය සහ නර්තනය කියන පැති දෙකම මට ගෙදරින්ම ලැබුණා. මගේ තාත්තාගෙන් මට සංගීතය ලැබුණා. ඔහු ඩබ්.ප්‍රේමරත්න සොයිසා. අම්මා ජී.කේ.‍ප්‍රේමලතා. ඇය නර්තනයේ දක්ෂයි. පුංචි කාලෙ ඉඳන් නිතරම මට ඇහුණේ තාත්තගෙ සංගීතය. ඒ ආභාසයත් එක්කම තමයි මට කලාවට ඇල්මක් ඇති වුණේ. සංගීතය පැත්තෙන් ගත්තොත් මේ වෙද්දි මං සංගීත් නිපුන්, සංගීත් භූෂණ සම්පූර්ණ කරල තියෙන්නේ. කලා ක්ෂේත්‍රය තුළ සිටින එකම සංගීත් නිපුන් රංගන ශිල්පිනිය මම. ගායනයට අමතරව මට ඕනෑම සංගීත භාණ්ඩයක් වාදනය කරන්නත් පුළුවන්. සංගීත් නිපුන් වගේම සංගීත් භූෂණ සඳහාත් මං යොදාගත්තේ වයලීනය. ඊට අමතරව සිතාරය වගේම තබ්ලාවත් මට හොඳට වාදනය කරන්න පුළුවන්. කාලෙක ඉඳන්ම මං සංගීතය විෂය උගන්වන ගුරුවරියක්.


එතකොට ගයා රංගනයට පිවිසෙන්නේ කොහොමද?


පුංචි කාලෙදිම මං තාත්තත් එක්ක හඳ මාමා, නැවුම් මිහිර වගේ ගුවන්විදුලි වැඩසටහන්වලට සම්බන්ධ වුණා. ඒ වගේම ජාතික රූපවාහිනියේ ඔකෙස්ට්‍රා එකේ වයලීන් වාදනය කළා. මුලින්ම මං තාත්තාගේ නාට්‍යවල වගේම පාසල් වේදිකාවේත් නර්තනය, රංගනය, ගායනයෙන් සම්බන්ධ වුණා. ඊට පස්සේ තමයි ප්‍රසිද්ධ වේදිකාවට සම්බන්ධ වුණේ. මාතෘ, සකිසඳ මඬල, සිකුරා, සාරංගා නැවෙන් ඇවිත්, මාර හොරු වගේ ජනප්‍රිය නාට්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වේදිකාවට සම්බන්ධ වුණා. මාර හොරු රාජ්‍ය සම්මාන උලෙළේ දෙවැනි ස්ථානය හිමිකර ගත්තා. ඒ වගේ වේදිකා නිර්මාණයක් පුහුණුවෙන අතරේ 2008දී තමයි මට සිවගුරුනාදන් මහත්මයාගෙන් සික්කා කියන හාස්‍යජනක ටෙලි නිර්මාණයේ විලාසිනීගේ චරිතයට ආරාධනා ලැබෙන්නේ. ඒත් එක්කම ගොඩක් ටෙලි නාට්‍යවලට, වේදිකා නාට්‍යවලට ආරාධනා ලැබුණා. වස්සාන සිහිනය, පවන සේ ඇවිදින්, සිටුමැදුර, අම්මාවරුනේ, අහස් ගව්ව, බොනිකර තරු, සුජාතා, මතු සම්බන්ධයි වගේ නාට්‍ය ප්‍රේක්ෂකයින් අතරට ගියා. මේ වෙද්දි ටෙලි නිර්මාණ 30කට විතර දායක වෙලා තියෙනවා. මේ දිනවල සම්බන්ධ වෙලා ඉන්නේ දෙරණ නාළිකාවේ විකාශය වන කෝඩුකාරී ටෙලි නිර්මාණයට.


සියල්ල අතරේ ඔබ උසස් අධ්‍යාපනයත් කරගෙන යනවා නේද?


ඔව්. මියුසික් තෙරපි සහ සයිකොලොජි කියන විෂයන් එක්ක මං මගේ පී. එච්. ඩී. එක කරන්නේ ළමයින්ට සංගීතය උගන්වන අතරේ. උසස් අධ්‍යාපනය පැත්තට මූලිකත්වය දීලා පහුගිය දවස්වල රංගනයෙන් පොඩ්ඩක් ඈත් වෙලා හිටපු නිසා බොහෝ දෙනෙක් හිතුවේ මං ලංකාවේ නෑ කියලා. නෑ නෑ මං ලංකාවේ ඉන්නවා. ආරාධනා ලැබෙන සංගීත සංදර්ශනවලටත් සහභාගි වෙනවා.


ඔබේ සංගීත නිර්මාණ ගැන කතා කළොත්?


‘සිතු සේ’ කියලා හින්දි තනුවකට නිර්මාණය වුණු මගේ ගීතයක් මේ වෙද්දිත් යූටියුබ් එකේ ප්‍රචාරය වෙනවා. මගේ අලුත් ගීතයක් වගේම දුවත් එක්ක ගායනා කරන ගීතයකුත් ඉදිරියේදී එන්න තියෙනවා. ඊට අමතරව මං සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වුණු ටෙලි නිර්මාණයක් එන්නත් තියෙනවා. වෙළෙඳ දැන්වීම්වල සහ ටෙලි නාට්‍යවල පසුබිම් සංගීතයෙන් දායක වෙන්නත් අවස්ථාව ලැබුණා. මගේ සංගීත ගුරුවරයා වන නුවන් ශ්‍රී මේඝ සතරසිංහ සර්වත් මේ වෙලාවේ විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන.


ඔබ ඉන්දියානු සිනමා නිර්මාණයක් ඔස්සේ සිනමාවටත් සම්බන්ධ වුණා?


මං සංගීත් නිපුන් කරන කාලේ බොලිවුඩ්වල බොම්බේ වෙල්වට් සිනමා නිර්මාණයට ආරාධනාවක් ලැබුණා. හින්දි භාෂාව හැසිරවීමේ හැකියාව තිබුණු නිසා ඔවුන් මා ගැන විශ්වාසයක් තියන්න ඇති කියලා හිතනවා. ඒ අවස්ථාවේ ජනප්‍රිය ඉන්දීය රංගන ශිල්පී රන්වීර් කපූර් එක්ක රංගනයෙන් දායක වෙන්න ලැබුණා. සිද්ධාර්ථ ගෞතම සිනමා නිර්මාණය කළෙත් ඉන්දීය ශිල්පීන් එක්කමයි. සිනමා නිර්මාණ 6කට විතර මේ වෙද්දි සම්බන්ධ වෙලා තියෙනවා.


මවගේ ආභාසයෙන් ඔබට නර්තන හැකියාව තිබිලත් ඇයි ඔබ ඒ පැත්තෙන් යන්න උත්සාහ නොකළේ ?


මට නර්තන හැකියාව නැතුව නොවෙයි. සංගීතය කරන අතරේ ඉන්දියාවේදී මට කථක් නර්තනය හදාරන්න අදහසක් තිබුණා. ඒත් ඒ වෙලාවෙ ඒක කරගන්න බැරි වුණා. සංගීතය පැත්තට විතරයි සම්පූර්ණ කාලය යොදා ගත්තේ. ඒත් වේදිකාවේදී වගේම ප්‍රසංග වේදිකාවේදීත් මම මගේ නර්තන හැකියාව යොදා ගන්නවා.


සියල්ලටම සහාය දෙමින් සෙවණැල්ල වගේ ඔබේ ළඟ ඉන්න ඔහු ගැනත් කියමු?


මගේ මහත්තයා ජනක රූපසිංහ. ඔහු ව්‍යාපාරිකයෙක්. ඔහු කලාවට සම්බන්ධ නොවුණත් නිතරම මාව උනන්දු කරමින් මගේ ගමනට ලොකුම සහායක් දෙනවා. ඒ වගේම මගේ දුවයි පුතායි දෙන්නටත් කලා හැකියාව තියෙනවා. ඉදිරියේදී රිලීස් වෙන්න තියෙන ගීතය ගයන්නෙ මගේ දුවත් එක්ක.


ඡායාරූප – තුෂාර සංජීව

gossiplanka image 2
Previous Post Next Post