
කොහොමද මේ දවස්වල ජීවිතේ?
මේ දවස්වල ඉවෙන්ට් ටිකක් වැඩියි. ඒවත් එක්ක තරමක් කාර්යබහුලයි.
ඔබ වෘත්තීය ජීවිතය තුළ හරි අපූරුවට ගලාගෙන ගිය විදිහ අපි මුලින්ම කතාබහ කරමු?
මගේ වෘත්තීය ජීවිතයට වසර විසි හතක් පමණ වෙනවා. උසස් පෙළ නිම කරලා 1998 අවුරුද්දේ හිරු නාලිකාව හා සම්බන්ධ වෙනවා. මම පූර්ණ කාලීන මාධ්‍ය ජීවිතයෙන් ඈත් වන්නේ 2016 දීයි. ඒ වන විට මම සිරස එෆ්. එම්. අලෙවි හා ප්‍රවර්ධන කළමණාකරුවෙකු ලෙසයි සේවය කළේ. එදා පටන් මම නිදහස් මාධ්‍යවේදියෙක් ලෙස වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම ‘අසංග ලයිව් යූ ටියුබ්‘ නාලිකාව හා ගී පද රචනා වැඩ කටයුතු කරනවා. ඊට අමතරව චන්දිමාල් ජයසිංහගේ උත්සව හා වැඩසටහන්වල නිලලත් මෙහෙයවන්නා ලෙසත් කටයුතු කරනවා.
CJ අවුරුදු කුමරා කුමරිය තරගාවලිය ඔබට අමතක නොවන දිනයක් වෙන්න ඇති නේද
ඔව්. අනිවාර්යෙන්ම. CJ අවුරුදු කුමරා කුමරිය තරඟාවලිය පවතින අතරවාරයේ හදිසියේ ඇතිවූ ගින්න ගැන මම ආරම්භයේදීම දැනුම් දුන් නිසා එතැන සිටි හත්සීයක් පමණ දෙනාගේ ජීවිත බේරුණා. එක වචන පේළියකින් ඒ සෑම දෙනාගේම ජීවිත බේරීම සම්බන්ධයෙන් බොහෝ දෙනා මට ස්තූති කළා. මම යම් වෘත්තිය කටයුත්තක් කරන විට මගේ අවධානය සම්පූර්ණම යොමුවී තිබෙන්නේ ඒ කාර්යටයි. අඩුම තරමේ මම දුරකතනයවත් එවිට පාවිච්චි කරන්නේ නැහැ. ඒ මොහොතෙත් මගේ අවධානය ගිලිහුණා නම් ලොකු විනාශයක් වෙන්න තිබුණා.
නිවේදන කාර්යය තුළ ඔබ ලැබූ වෘත්තිය පුහුණුව කෙබඳුද?
මම අධ්‍යාපනය ලැබුවේ කොළඹ අශෝක විද්‍යාලයේ. එම පාසල තුළ මම නිවේදකයෙක් ලෙස කටයුතු කළා වගේම විවාද කණ්ඩායමෙත් පූර්ණකාලීන සාමාජිකයෙක් ලෙස සිටියා. එහි විදුහල්පතිතුමා වගේම ආදි ශිෂ්‍ය සංගමය මට සුවිශාල සහයෝගයක් ලබා දුන්නා. සාමාන්‍ය පෙළ දක්වා වසර 11ක් නිහඬ දරුවෙක් ලෙස සිටි මම ක්‍රියාශීලී වන්නෙ උසස් පෙළ පන්තියේදීයි. ඒ වසර දෙක තුළ ලැබූ පන්නරය තුළයි, උසස් පෙළ නිමවූ සැණින් එනම් 1998 දී හිරු එෆ්. එම්. නාලිකාව හා සම්බන්ධ වන්නේ. 2000 වර්ෂයේ දී ජන සන්නිවේදන ඩිප්ලෝමාව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් හදාරා සහකාර නිෂ්පාදකවරයෙක් ලෙස ස්වර්ණවාහිනියට සම්බන්ධ වීම මගේ ටෙලිවිෂන් හීනය සැබෑ කිරීමක් යැයි කිව්වොත් නිවැරදියි. සේද මාවතෙහි සහාය නිෂ්පාදකවරයෙක් ලෙස වැඩ කර ලයිව් ඇට් එයිට් වැඩසටහනේ මුල් සාමාජිකයෙක් ලෙස එකී කණ්ඩායමට එක් වෙනවා. ඉන්පසු ෂා fm නාලිකාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රවර්ධන නිලධාරියකු ලෙසත් අයි. ටී. එන් හා ලක් හඬ තුළ එළිමහන් සංගීත සංදර්ශන නිවේදකයකු ලෙසත් විවිධ අංශයන් තුළ කැපී පෙනෙන්නට මට අවකාශ ලැබුණා.
ධර්මෝදය කියන දහම් පාසල් පුවත්පත ඉන්පසු මම ආරම්භ කරනවා. අනතුරුව නෙත් එෆ්. එම්. ඇතුර එෆ්. එම්. යන නාලිකාවල වැඩ කටයුතු කර මාගේ ප්‍රධානීත්වයෙන් රිදම් එෆ්. එම් නාලිකාව ආරම්භ කරනවා. 2012 වර්ෂයේ දී Y F.M හි මාධ්‍ය කළමනාකරු ලෙස සේවය කර 2013 දී සිරස fm වැඩසටහන් කළමනාකරු ලෙස මම සේවයෙන් උසස් වෙනවා. එකී තනතුරෙනුත් ප්‍රවර්ධන කළමනාකරු ලෙස මම උසස්වීමක් ලබන්නේ 2016 වර්ෂයේ දීයි. 2016න් පසුව මම පූර්ණ කාල මාධ්‍ය භාවිතයෙන් ඉවත්වී නිදහස් මාධ්‍යවේදියකුගේ භූමිකාව තුළ ඉදිරියට යනවා.
ගායකයන්, රංගන ශිල්පීන්, අවුරුදු කුමර කුමරියන් ආදී එකී මෙකී නොකී සියලු දෙනාම නිවේදක භූමිකාව කරනවා. ඇත්තටම එය එතරම්ම සරල සුන්දර දෙයක්ද?
එය එතරම් සීනි බෝල දෙයක් නොවෙයි කියන්නට හොඳම උදාහරණය පසුගිය දිනවල සී.ජේ. අවුරුදු කුමර කුමරිය තරගාවලියේ ගිනි ගැනීමේ සිද්ධියයි. ඒ මොහොතේ මගේ වෘත්තිය වගකීම පෙන්නුම් කිරීම තුළ ජීවිත ගණනාවක් බේරුණා. මම විනෝදයෙන් කමෙන්ට් වලට රිප්ලයි කරමින් නිවේදන කළා නම් එම සිද්ධිය එතරම් සරලව නොවිසදෙන්න තිබුණා. නිවේදන කාර්යය පිළිබඳ කිසිම දැනීමකින් තොරව අහසින් වැටුන වගේ එහි වැඩ කටයුතු කරන විට වෘත්තීය ගරුත්වය අඩුවෙනවා. මාධ්‍ය අද ප්‍රබල ව්‍යාපාරයක් බවට පත්වී තිබෙනවා. ඒ නිසා එය ක්‍රමවත් කිරීමට රජයේ මැදිහත්වීමක් අවශ්‍යයි කියලා මම හිතනවා.
බහුතර නිවේදකයන් අනර්ථ වචන හසුරුවන ගිරා සම්ප්‍රදායෙන් බැහැරව සමාජයේ කුණු හොයන කපුටු සම්ප්‍රදායක් අනුගමනය කරමින් සිටිනවා. ඔබ මේ රැල්ල දකින්නේ කොහොමද?
අපේ බුදු දහමේ කියවෙන නිවේදකයෝ වර්ග දෙකක් සිටිනවා. මලක් පිපෙනවා වගේ සුන්දර වචන වලින් කතා කරන නිවේදකයා පුප්පභාණි ලෙසත්, කුණු අසූචි ගඳ පැතිරෙනවා වගේ වැරදි මත සමාජගත කරන නිවේදකයා භූත භාණී ලෙසත් සඳහන් කරනවා. ලංකාවේ මේ වන විට වැඩිපුරම දකින්නේ කුමන කොට්ඨාශයේ නිවේදකයෝද කියලා මම අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඕනෙම කුණු ගොඩක් සමාජගත කරලා ප්‍රසිද්ධ වෙන්න ඕනෑම පුද්ගලයෙකුට පුළුවන්. නමුත් ජනප්‍රිය වෙන එක එතරම් පහසු කර්තව්‍යයක් නෙමෙයි. අද බහුතරයක් දෙනා උත්සහ කරන්නෙ ජනප්‍රිය වෙන්න නෙමෙයි ප්‍රසිද්ධ වෙන්නයි. මුළු මහත් සමාජ ක්‍රමයම පිරිහීමට ඇදිලා යනකොට රූපවාහිනිය හා ගුවන් විදුලිය පමණක් ඉතුරු වෙන්න විදිහක් නැහැ. වර්තමානයේ සමාජය ගමන් කරන දිශාවත් සමඟ කැමරාවක්, ෆෝන් එකක්, මයික් එකක් අතට ලැබුණු සැණින් තමන් සන්නිවේදකයෙක්, නිවේදකයෙක්, මාධ්‍යවේදියෙක් කියන ප්‍රවණතාව තුළයි මෙම කඩා වැටීම ආරම්භ වන්නේ. එක් එක් යුගයන්වල මෙවැනි ප්‍රවණතාවයන් මතු වෙනවා. නමුත් ඒවට දීර්ඝ කාලීන පැවැත්මක් නැහැ.
