මෙරට ටෙලි නාට්‍ය කලාවට දේදුනු වර්ණ තවරන්නට සමත් වූ මේ සුන්දර යුවතිය,සිය පළමු රංගනයේ පටන් ප්‍රේක්ෂකයන්ගේ නොමඳ ආදරයට ලක් වීමට තරම් වාසනාවන්ත වූවාය. පසුගිය දිනක පැවැති ස්ලිම් පීපල්ස් අවෝර්ඩ් සම්මාන උළෙලේදී ජනතා සම්මාන දෙකකින්ම සම්මානිත වීම හරහා ජනතාව තුළ ඇය කෙරෙහි ඇති ආදරය මොනවට පැහැදිලි වේ. මේ තරුණ හදවත් තුළ ආදරණීයම තැනක් හිමිකර සිටින දක්ෂ රංගන ශිල්පිනී නෙත්මි රොෂෙල් ය.
පසුගිය දිනයකදී සම්මාන දෙකක්ම දෝතට ගන්න හැකි වුණා, ඒ ගැන කියලම කතාව පටන් ගමු?
ඔව්. ඇත්තටම පසුගිය දිනක තිබුණු ස්ලිම් පීපල්ස් අවෝර්ඩ් 2025 සම්මාන උළෙලේදී මට එක සම්මානයක් නෙවෙයි සම්මාන දෙකක්ම හිමිවුණා, ඒ වසරේ ටෙලි නාට්‍ය නිළියට හිමි සම්මානය සහ යූත් චොයිස් ඇක්ට්‍රස්ට හිමි සම්මානය. ජනතා සම්මානයක්, හරිම සතුටක් තිබෙනවා මොකද හිතපු නැති වෙලාවක තමයි මට මේ සම්මාන දෙක හිමි වුණේ. පහුගිය වතාවලදිත් මාව නිර්දේශ වුණා. නමුත් මේ වතාවේ නොහිතපු විධියට මේ සම්මාන දෙක මට ලැබුණා. මේ වේලාවේ මම ගොඩාක් ආදරෙන් මගේ ආදරණීය ප්‍රේක්ෂයන්ව මතක් කරනවා. හැමදාමත් කියනවා වගේ ඔයාලගේ මේ ආදරයට මමත් ගොඩාක් ආදරෙයි.
ක්ෂේත්‍රයට එන්න මොන තරම් ක්‍රම තිබුණත් එහි පවතින්න හැමෝටම බෑ, ඔබේ මේ ජනප්‍රියත්වයේ රහස මොකක්ද?
ඇත්තටම 2019 වසරේ අවුරුදු කුමරිය වීමත් එක්ක තමයි මම ක්ෂේත්‍රයට එන්නේ. එතැනදි මගේ මාර්ගය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඒ දිහා නැවත හැරිලා බලද්දි මට තිබෙන්නේ පුදුම සතුටක්. ඒ වගේම මම හරිම ආසයි මගේ ජීවිතය ඒ වෙනස් වුණු ආකාරයට. මට හැමවෙලාවකම වගේ හිතවතුන්, පරණ මිතුරියන් එහෙම හමුවුණාම කියන දෙයක් තමයි රොෂෙල් ඔයා ඔය විධියටම ඉන්න කියන එක. මගේ රසිකයන්, ප්‍රවීණ කලාකරුවන් පවා ඒ දේ මට කියනවා. මම හිතනවා මම ක්ෂේත්‍රයට ආපු විධියටම අදටත් කිසි වෙනසක් නැතුව ඉන්න එක තමයි මට මේ ලැබෙන ආදරයට හේතුව.
මේ දවස්වල පාරමීට ප්‍රේක්ෂකයන්ගෙන් විශාල ආදරයක් හිමි වෙනවා නේද?
ඔව්. ඇත්තටම පාරමීට ගොඩාක් හොඳ ප්‍රතිචාර හිමිවෙනවා, පාරදීසය සමඟින් ගොඩාක් දෙනා, එකතු වෙලා ඉන්නවා. ඔවුන් හරිම ආදරෙයි පාරමීට. ඇත්තටම මමත් ආදරෙයි පාරමීට. මේ ටෙලි ඩ්‍රාමා එක බලද්දි මමත් ඒකේ ෆෑන් කෙනෙක් වනවා. පාරමී ඒ පවුලෙම ළමයෙක් නෙවෙයි කියලා දැනගත්ත දවසේ මටත් දුක හිතුණා, අයියෝ ඇයි එහෙම වෙන්නේ කියලා. මෙතැනදි විශේෂයෙන් මතක් කරන්න ඕනෑ අධ්‍යක්ෂ හසුන් සමීර, තිරපිටපත් රචක කෞශල්‍ය පතිරණ ඇතුළු පිරිසව. ඉතින් ඔවුන්ගේ හා රංගනයට දායක වන අපි හැමෝගෙම එකතුවෙන් හරි ලස්සනට වැඩේ කරගෙන යනවා.
අද තරුණ රංගන ශිල්පීන්, ශිල්පිනියන් රංගනයට පමණක් සීමා නොවී ජීවිතයේ විවිධාකාර මාර්ගයන් හරහා සාර්ථකත්වය හඹාගෙන යන්න උත්සහ දරන බවක් පෙනෙනවා, මේ සම්බන්ධයෙන් ඔබේ අත්දැකීම ගැන කතා කළොත්?
ඔව්. ඇත්තටම අද බහුතරයක් තරුණ පිරිස එකම දේකට කොටු නොවී විවිධාකාර දේවල් අත්හදා බලනවා. එතැනදි මම දකින දේ තමයි, රංගනයේදී පමණක් නෙවෙයි. ඕනෑම ක්ෂේත්‍රයක සාර්ථක වීමට විනය කියන දේ බලපානවා. ඒ වගේම ස්වයං පාලනයක් සහ කරන දේ පිළිබඳව හැදෑරීමක් තිබෙන්න අවශ්‍යයි කියන එක.
අද වෙද්දි සමාජය තුළ රංගන ශිල්පීන් ගැන තිබෙන ආකල්පය තරමක් දුරට වෙනස් වෙලා, ඔබ මේක දකින්නේ මොන ආකාරයෙන්ද?
ඇත්තටම මගේ තාත්තා වුණත් කැමැති වුණේ නැහැ මම මේ ක්ෂේත්‍රයට එනවට. මට ගෙදරින් ප්‍රශ්න ආවා, ඒ වගේම මගේ ඥාතීන්ගෙන් පවා. නමුත් මම තේරුම්ගත්ත දෙයක් තමයි මෙතැන එහෙම නරක තැනක් නෙවෙයි. අපි ඉන්න විධිය අනුව තමයි සියල්ල තීරණය වෙන්නේ කියන දේ.
සිනමාව තුළ ඇතිවෙලා තිබෙන මේ ප්‍රබෝධයේදී, එයට රුකුලක් වෙන්න ඔබටත් හැකි වුණා. ඒ ගැන කතා කළොත්?
ඇත්තටම මීට වසර දෙකකට පමණ පෙර ආදරණීය ප්‍රාර්ථනා හරහා අපිට පුළුවන් වුණා රට පුරාම හිටපු සිනමා ලෝලීන්ව නැවතත් සිනමා ශාලාව කරා රැගෙන එන්න. ඒ වගේම මට හැකිවුණා ආදරණීය ප්‍රාර්ථනා නිසා හොඳම සිනමා නිළියට නිර්දේශ වන්න. ඇත්තටම සිනමාවේ යම් පසුබෑමක් තිබ්බා නම් ඒ රටේ ආර්ථික තත්ත්වය හා කොරෝනා වැනි දේවල් නිසා තමයි ඒක ඇති වුණේ. අද වෙද්දී අපිට දකින්න පුළුවන් ලංකාවේ සිනමාව ඇතුළේ ඉතා ගුණාත්මක නිර්මාණ ගොඩාක් බිහි වනවා. සිනමා ශාලාවකට ඇවිත් පැය දෙකක් එක දිගට බලාගෙන ඉන්න පුළුවන් ගුණාත්මක නිර්මාණ බිහිවෙනවා නම් මම හිතනවා මිනිස්සු කැමැතියි චිත්‍රපටයක් බලලා ඔවුන්ගේ විවේකී කාලය ගත කරන්න. එතැනදී සිනමාවේ පමණක් නෙවෙයි සිනමා ශාලාවල ගුණාත්මකභාවයත් බලපානවා. මම කම්බිලි සිනමා පටය සමඟින් පහුගිය දිනවල රසික හමුවීම්වලට ගිය නිසා දැක්කා අලුතෙන් සිනමා ශාලා හැදිලා තියෙනවා වගේම ඒවාගේ ගුණාත්මකභාවයත් වර්ධනය වෙලා තිබෙනවා. මොකද චිත්‍රපටය කොයිතරම් හොඳ වුණත් සිනමා ශාලාවේ නිසි පහසුකම් නැත්තම් මිනිස්සු සල්ලි දීලා ටිකට් එකක් අරගෙන එන්න මැළි වනවා. ඉතිං සිනමාවට අද මේ උදාවෙලා තිබෙන හොඳ කාලය තව ඉදිරියටත් පවත්වාගෙන යන්න පුළුවන් වෙයි කියලා හිතනවා.
අද ලංකාවේ කලාකරුවන් බහුතරයක් උත්සාහ කරනව විදෙස් නිර්මාණවලට සම්බන්ධ වෙන්න, ඔබට ඒ පිළිබඳව අදහසක් නැද්ද?
ඔව්. අද වෙද්දි ලාංකිකයෝ බහුතරයක් ලෝකය ඉස්සරහට ගිහින් අපේ රට නම බබළවනවා. මට ඒ ගැන ඇත්තටම හරිම සතුටුයි. ඒ වගේ වෙලාවට ඔවුන් එක්ක ලංකාවම එකතු වෙනවා. ඇත්තටම ඉන්දියාවේ ගොඩක් අධ්‍යක්ෂවරු ලංකාවට ඇවිත් ලංකාවේ කණ්ඩායම් සමඟ වැඩ කරන්න පෙලඹෙනවා. බලමු ඒ ගැන ඉදිරියේදි කියන්නම්.
අවසන් වශයෙන් ඉදිරි නිර්මාණ කටයුතු ගැනත් කතා කරමු?
ඔව්. ඇත්තටම චිත්‍රපට කිහිපයක් එන්න තිබෙනවා. හරිම ලස්සන වැඩ කිහිපයක්ම එන්න තියෙනවා. ඒ ගැන ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඒ වගේම මේ දවස්වල කල්පනා චිත්‍රපටයේ වැඩ කටයුතු කෙරීගෙන යනවා. සාරංග මෙන්ඩිස්ගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය. ඉතින් මේ දිනවල ඒකත් එක්ක තමයි කාර්යබහුල වෙලා ඉන්නේ.