ඉඳුවර සයාගී හිරු ස්ටාර් තරගාවලිය තුළින් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගත් ගායකයකු බව කාටත් නොරහසක්. ඔහු මේ දිනවල රංගන දායකත්වය ලබා දෙන ”රොන් සොයා” ටෙලිනාට්‍ය තුළින්ද මේ වන විට දැක ගන්න පුළුවන්. කඩවසම් තරුණ රංගන ශිල්පියෙක් මෙන්ම ගායකයකුද වන ඔහු මෙවර හදගැස්මේ කතාබහට එක් කළ සොඳුරු කතාබහයි මේ.
මේ දිනවල ඔබේ කාලය ගෙවී යන්නේ කොහොමද?
හිරු ස්ටාර් තරගාවලිය අවසන් වුණා. ඉතින් ඒ සමඟම රංගනයට අවස්ථාවක් ලැබුණා. අපි අවසන් දොළොස් දෙනා අතරට තේරී පත් වී සිටියදී තමයි මටයි නේසරටයි කතා කරලා ඒ ගැන කන්ෆර්ම් කළේ. ඊට පස්සේ “රොන් සොයා” ටෙලිනාට්‍යයේ ෂූටින් පටන් ගත්තා. දැන් ෂූටින් වැඩකටයුතු සහ සංගීත ප්‍රසංගවල වැඩ කටයුතුත් කරගෙන යමින් ඉන්නවා.
“රොන් සොයා” ටෙලි නාට්‍යයේ ඔබේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මම පිටතට ගියාම බොහෝදෙනකු ඇවිත් මට කතා කරනවා. ඒ වගේම සුබ පතලා දුරකථන ඇමතුම් එහෙමත් ලැබෙනවා. හිරු ස්ටාර් තුළත් ලොකු ප්‍රේක්ෂක පිරිසක් අප වටා එකතු වුණා. දැන් ටෙලි නාට්‍ය නරඹන අපට ආදරය කරන තවත් ප්‍රේක්ෂක පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඒ හැමෝම මට ගොඩක් ආදරෙයි. ඒ වගේම මමත් මගේ ප්‍රේක්ෂකයන්ට ගොඩක් ආදරෙයි කියලා තමයි කියන්න තිබෙන්නේ.
ගායකයකු ලෙස කලා ක්ෂේත්‍රයට පැමිණි ඔබ එක්වරම රංගනයට යොමුවීමේ අත්දැකීම ගැනත් කියමු?
ඒ ගැන කතා කළොත් අපි මුලින්ම ෂූට් කළේ මීගමුව ප්‍රදේශයේ තමයි. මුලින්ම මටයි නේසරටයි කරන්න තිබුණේ දුවගෙන එන සීන් එකක්. මමත් මුලින් ටිකක් කන්ෆියුස් වුණා මොකද කලින් රඟපාලා කිසිම අත්දැකීමක් තිබුණේ නැති නිසා. ඊට පස්සේ මේ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ නිවන්ත ප්‍රසාර සර් තමයි අපට කතා කරලා කීවේ ඔය දෙන්නා නැචුරල් කරන විධියට තමයි කරන්න ඕනෑ. මොකද මේ කතාව තුළත් ඉන්නේ සයාගීයි නේසරයි කියන ඔය දෙන්නා කියලා. නිවන්ත සර් මේ වෙලාවෙ ආදරයෙන් මතක් කරන්න ඕනෑ. ඒ වගේම කෲව් එකේ හැමෝමත් අපට ගොඩක් ආදරෙයි. ටෙලි නාට්‍ය තුළ චරිතයේ ඉන්නෙත් සැබෑ ජීවිතයේ පිටත ඉන්න මම ම තමයි. අපේ ”රොන් සොයා” ටෙලි නාට්‍ය කණ්ඩායමත් ලොකු සහයෝගයක් ලබා දෙනවා. මම ගායනය වගේම රංගනයත් ගොඩක් සතුටෙන් කරගෙන යනවා.
නවක රංගන ශිල්පියෙක් වන ඔබට ප්‍රවීණයන්ගෙන් ලැබුණු සහයෝගය කොහොමද?
ප්‍රවීණ රංගන ශිල්පීන්ගෙන් ලැබෙන සහයෝගය ගැන මතක් කරද්දි මගේ තාත්තට ටෙලි නාට්‍ය තුළ රඟපාන්නේ ජගත් චමිල. ඒ වගේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් සමඟ ඔහුගේ පුතා විධියට රඟපෑමට ලැබීමත් ලොකු භාග්‍යයක්. ඒ වගේම මගේ අම්මා විධියට රඟපාන තාරුකා වන්නිආරච්චි, මගේ අක්කා විධියට රඟපාන මිෂෙල්. මේ අයත් මතක් කරන්න ඕනෑ. ඒ අය ඩයලොග්ස් මතක් කරගන්න තැන ඉඳලා වචන හසුරුවන විධිය පවා හැමදේම අපට කියලා දෙනවා. මටයි නේසරටයි කවීර්ණාටයි මේ දේවල් අලුත්ම අත්දැකීමක් නේ. හැමෝම ගොඩක් ආදරයෙන් ඉන්නවා සහ ඒ දක්වන සහයෝගය අපට ගොඩක් වටිනවා.
ඔබේ පළමු රංගනය තුළින් ම මෙතරම් ජනප්‍රියත්වයක් ලැබීම ගැන මොකද හිතෙන්නේ?
ඒ ගැන කියන්න තිබෙන්නේ ඒ ලැබෙන ප්‍රේක්ෂක ආදරය ගොඩක් වටිනවා. මට ඒ දේ වචනවලින් කියන්න තේරෙන්නේ නෑ.
රියැලිටි තරගාවලියකින් පැමිණෙන ගායකයෙක් තම වටිනාකම ක්ෂේත්‍රය තුළ ගොඩනඟා ගන්නේ කෙසේද?
හිරු ස්ටාර් තරගාවලිය තුළින් අපට බොහෝදේවල් ගැන හොඳ පුහුණුවක් ලබා දෙනවා. ඉතින් ඒ දේවල් එක්ක තමන්ව හරි විධියට මේන්ටේන් කරනවා නම් ඕනෑම තැනක වැටෙන්නේ නැතිව වටිනාකම රඳවාගෙන ඉදිරියට යන්න පුළුවන්.
ඔබේ අලුත් සංගීත වැඩකටයුතු ගැනත් මතක් කරමු?
මමයි, නේසරයි මේ වෙද්දි ගීත කිහිපයක් කරලා තිබෙනවා. මම තනිවමත් ගීත කිහිපයක් කරලා තිබෙනවා සහ කරගෙන යනවා. ඉතින් ඒ නිර්මාණ ඉදිරියේදී නරඹන්න අහන්න පුළුවන් වෙයි.
මිෂෙල් වැනි ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක් සමඟ ඔබේ මුල්ම ටෙලි නිර්මාණය තුළ රංගනයට ලැබීමේදී දැනුණ හැඟීම?
මිෂෙල් අක්කි කියන්නේ ගොඩක් ආදරණීය චරිතයක්. ඇය මගේ අක්කා විධියට තමයි ටෙලි නාට්‍යයේ රංගනයෙන් දායක වන්නේ. ටෙලි නාට්‍ය තුළදී හැදෙන බැඳීම පිටතත් ඒ විධියටම දැනෙනවා. ඉතින් ඇය ගොඩක් දේවල් මට කියලා දුන්න ආදරණීය චරිතයක්. තමන්ගේ චරිතය මේන්ටේන් කරන්නේ කොහොමද? යුනික් ආර්ටිස්ට් කෙනෙක් වෙන්නේ කොහොමද වගේ ගොඩක් දේවල් ඇය කියලා දෙනවා. මම එක දවසක් සිදුවුණ සිදුවීමක් ගැන මතක් කළොත් ඇය එක සීන් එකකදී අඬනවා. ඒ සීන් එක හරි නැචුරල් විධියට ඇය කරපු විධිය මම දැක්කා. මම ඇයගෙන් ඒ ගැන ඇහුවා. ඒ වෙලාවේ ඇය මට කීවේ මම එයාගේම මල්ලි විධියට මාව ෆීල් කරනවා කියලා. ඒ තුළ තමයි ඒ හැදෙන බැඳීම ගොඩ නැඟෙන්නේ. ඒ දේවල් මම ඇයගෙන් දැක්ක හරි ලස්සන වටින ගුණාංගයක්.
ඔබේ ඉදිරි වැඩකටයුතු ගැනත් මතක් කරමු?
රංගනය පැත්තෙන් මගේ ඉදිරි වැඩ කටයුතු ගැන මතක් කළොත් ”රොන් සොයා” ටෙලි නාට්‍යයේ වැඩකටයුතු තමයි මේ දිනවල කරමින් ඉන්නේ. ඒ වගේම චිත්‍රපට කිහිපයකටත් මට ආරාධනා ලැබුණා. නමුත් ඒවා තවම කන්ෆර්ම් වෙලා නැහැ. ඉදිරියේ දී ඉතින් තවත් නිර්මාණ තුළින් අපට හමුවෙන්න පුළුවන් වෙයි.
රුවිනි අමරකෝන්