බලෙන් ගන්න කිසිම දෙයක් රැඳෙන්නේ නැහැ - විරාජ් පෙරේරා

 



විරාජ්... පහුගිය කාලයේ විදෙස් සංචාරයකට සහභාගි වුණා කියලයි ආරංචිය?

ඔව්... අප්‍රේල් මාසයේ අපි ඩුබායි සංචාරය කළා. ඒ රටේ අපේ ආදරණීය ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසක් ඉන්නවා. ඔවුන් අපිට සිංහල අලු‍ත් අවුරුද්ද වෙනුවෙන් අවුරුදු උත්සවයකට ආරාධනා කළා. ඒ නිසා මම ඇතුළු කලාකරුවන් කලාකාරියන් කිහිප දෙනෙක්ම ඒ විදෙස් සංචාරයට සහභාගි වුණා.


මේ දිනවල නිර්මාණ කිහිපයකටම රංගනයෙන් දායක වෙලා තියෙනවා නේද?

ඔව්... ඇත්තම කිව්වොත් මේ දවස්වල කාර්යබහුලයි. මම රංගනයෙන් දායක වෙන ටෙලිනාට්‍ය පහක් විකාශය වෙනවා. ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කරන “පාට කුරුල්ලෝ”‍ සහ “ආලවන්ති”‍ ටෙලිනාට්‍යයන්ට රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම තිළිණ බොරලැස්ස මහතාගේ “සිත නිදි නෑ”‍ ටෙලිනාට්‍යයටත් සාරංග මෙන්ඩිස් මහතාගේ “දෙවැනි ඉනිම”‍ ටෙලිනාට්‍යයටත්, ප්‍රදීප් රසාංග අධ්‍යක්ෂණය කරන “ප්‍රේම රස්තියාදුව”‍ ටෙලිනාට්‍යයටත් රංගනයෙන් දායක වෙනවා. මේ නාට්‍යන් මේ දිනවල විකාශය වෙනවා. මීට අමතරව අලු‍ත් ටෙලිනාට්‍ය දෙකක් රූගත කිරීම් කරනවා. පහුගිය දිනවල චිත්‍රපට දෙකක රූගත කිරීම් කර අවසාන කළා. වාසව බදුගේ අධ්‍යක්ෂණය කරන “නීරා”‍ චිත්‍රපටයෙත්, උදාර පල්ලියගුරුගේ “සමරිසි පෙමක්”‍ චිත්‍රපටයෙත් රඟපෑවා. ඒක ආන්දෝලනාත්මක චරිතයක් වේවි යැයි මම බලාපොරොත්තු වෙනවා. මගේ දැකපු සුදු පැත්ත හෝ කළු පැත්තට නොගිහින් වෙනත් පැත්තකින් ඒ චිත්‍රපටයේදී මාව දකින්න පුළුවන් වේවි.


මේ කාර්යබහුලත්වයත් එක්ක විරාජ් නුවර යන්න ඉඩකඩ හදාගන්නේ කොහොමද?

ඇත්ත... නුවර යන්න වෙලාව හරිම අඩුයි. හැබැයි ලැබෙන පැයට හරි මම නුවර ගිහින් එනවා. ඒ මගේ බිරිඳ සහ දරුවන් දෙන්නා බලලා එන්න. මගේ සියලු‍ම දේ පරණ දේවල්. මගේ පරණ පෙම්වතිය බිරිඳ වුණා. අදටත් මම පාවිච්චි කරන්නේ මගේ පරණ වාහනයයි. ඒ වගේම පරණ බයිසිකලයි. මේ හැමදේම එක්කම මමත් පරණයි.


ඔබ කාලයක් තිස්සේ ක්ෂේත්‍රයේ නියැළුණු කෙනෙක්. ඔබගේ හැකියාවෙන් ඔබට ලැබුණු අවස්ථා අඩුයි කියලා හිතෙන්නෙ නැද්ද?

සමහර දේවල් අපිට ජීවිතයේ ලියැවිලා තියෙන විදිහක් තියෙනවා. සමහර දේවල් ජීවිතයට ළං වෙන්නේ ගොඩක් හෙමින්. මේ කාලේදී මාව හැම නාලිකාවකම වෙනස් මුහුණුවරකින් දකින්න ලැබෙනවා. මම මට නැති දේ හැමදාම නැහැ කිව්වා. තියෙන දේ තියෙනවා කිව්වා. අද මගේ පෙනුම එක්ක බලද්දි මගේ සුදු පාට රැවුලත් එක්ක සමහරු “එහෙම රඟපාන්න එපා”‍ කිව්වා. කාලයත් එක්ක අපි වයසට යනවා. ඒ නිසා ඒකත් මම වෙනස් විදිහට ගත්තා. සිවා අයියා (ජයප්‍රකාශ් සිවගුරුනාදන්) මෙහෙම රඟපානවට කැමති වුණා. ඒ නිසා “ආලවන්ති”‍ චරිතයට මගේ පෙනුම සමානයි.


මේ අවස්ථා අඩුවීම ගැන පුංචි කලකිරීමක් හෝ දුකක් තියෙනවද?

පොඩි දුකක් තියෙනවා. හැබැයි මම සොබාදහම විශ්වාස කරනවා. මාත් එක්ක මේ ක්ෂේත්‍රයට ආපු බහුතරයක් අද වෙද්දි මේ ක්ෂේත්‍රයේ නැහැ. මේක වසර දාහතරක් වගේ කාලයක් හරිම හෙමින් ආපු ගමනක්. තාමත් ඒ කැපකිරීම් තියෙනවා. බස්වල, බංකුවල තමයි වැඩිපුර නිදාගත්තෙ. මම හැමදාම උදේට වැඩ කරන්න සූදානම් වෙද්දි මේකප් කරන්න කලින් හිතින් පතන දෙයක් තියෙනවා. “අද දවසේ සියලු‍ කාරණා හරියට ඉවර කරලා දෙන්න, කවදා හරි දවසක ජීවිතේ නැතිවෙන දවසකට ලොකු කලාකාරයෙක් වෙලා මේ ගමන නවත්තලා දෙන්න”‍ කියලා ඉල්ලනවා. ඒ නිසා මේ වෙනුවෙන් කැප වෙන්න පුළුවන් හැම මොහොතකම මම කැප වෙනවා. මගේ ජීවිතය කලාවයි. අපි ඇත්තටම නිර්මාණවලට පෙරේතයි. අපිට බලෙන් කිසි දෙයක් ගන්න බැහැ. බලෙන් ගන්න කිසිම දෙයක් රැඳෙන්නේ නැහැ. කරන මහන්සිය කැප කිරීමට විශ්වය කවදා හරි අපිව හරි නිර්මාණයකට යොදවනවා කියලා මම විශ්වාස කරනවා. මේක ලොකු විෂයක්. කාලයත් එක්ක තමයි ඒ දේවල් හදලා ඒ බැටන් එක අපිට දෙන්නෙ. මට ඒ බැටන් එක හම්බවෙලා තියෙනවා. හරියට ඉස්සරහට වැඩ කරනවා කියලයි හිතාගෙන ඉන්නෙ. හැබැයි දුකක් නැතුවාම නෙවෙයි.


මේ අවස්ථා ලැබීම් අඩු වෙද්දි ක්ෂේත්‍රය අතහරින්න හිතුණේ නැද්ද?

මම වසර ගණනාවක් පෞද්ගලික අංශයේ වෙනත් රැකියාවක් කරපු මනුස්සයෙක්. මීට වඩා හොඳ වැටුපක් මට ඒ රැකියාවෙන් ලැබුණා. මම ලොකු වාහන පැද්දා. හැබැයි ඒ කිසිම දෙයක් නැතුව ආත්ම තෘප්තිය වෙනුවෙන් අද මම වැඩ කරනවා. නිර්මාණයක් මහන්සි වෙලා කරලා ඒ ලැබෙන පොඩි ගණනින් වුණත් සතුටු වෙනවා. ආසා කරන රැකියාව කරන්න ලැබෙන අවස්ථා හරි අඩුයි. ඒ නිසා ආරම්භයේ සිටම තැලිලා, පෙළිලා, වැටිලා, හැපිලා, තෙරපිලා පුරුදු නිසා ඒ පීඩනය ඕනෑම තැනක දරාගන්න පුළුවන්. මම කරන දේ හරියට කරලා යනවා.


මේ වැඩවලට බිරිඳගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

එයාගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. පාසල් යන කාලේ ඉඳන්ම අපි දැන හඳුනාගත්ත දෙන්නෙක්. ආදරය කරපු දෙන්නෙක්. එයාගේ සහයෝගය, තේරුම් ගැනීම, නැත්නම් මේ ක්ෂේත්‍රයේ මට ඉන්න ලැබෙන්නේ නැහැ. ඒකට මූලික දේ නිදහසයි. එයා දවසක් දෙකක් අපිත් එක්ක ඇවිත් වැඩ කරන හැටි දැකලා තමයි අපි මේ වෙනුවෙන් කොයිතරම් කැපකිරීම් කරනවද කියලා තේරුම් ගත්තෙ. ඕනෑම තාත්තා කෙනෙක් පවුල රකින්න කොයිතරම් මහන්සි වෙනවද කියලා දරුවන් දැකපුවාම ඒ දරුවන් තාත්තාව තේරුම් ගනීවි. මගේ ජීවිතේ හොඳම තෝරා ගැනීම මගේ බිරිඳයි. අපි පාසල් යන කාලෙදි ආදරය කරපු දෙන්නෙක්. එයා කතා කරනවා හරි අඩුයි. අවශ්‍ය දේ කතා කරනවා. 


විරාජ් දැන් දරුවන් දෙන්නෙක්ගේ පියෙක්?

ඔව්... අපිට දුවයි පුතයි ඉන්නවා. දුවට දැන් අවුරුදු දහයයි. පුතාට අවුරුදු අටයි. දුව හිල්වුඩ් විද්‍යාලයේ ඉගෙන ගන්නවා. පුතා කිංස්වුඩ් විද්‍යාලයේ ඉගෙන ගන්නවා. දුව අධ්‍යාපනය පැත්තට ගොඩක් බරයි. මම ගියේ සාමාන්‍ය පොඩි ඉස්කෝලෙකටයි. මගේ දරුවන් උසස්ම පාසල් දෙකකට යොමු කරන්න අපිට අවස්ථාව ලැබුණා. ඒක ලොකු සතුටක්.


මේ හැබෑවෙලා තියෙන්නේ පුංචි කාලේ දැකපු හීනයක්ද?

ඔව්... මට තිබුණු එකම හීනය වුණේ මේකයි. මගේ තාත්තා භාවනායෝගී භික්ෂුවක්. දැන් අවුරුදු දහඅටක් තිස්සේ තාත්තා මහණ වෙලා ඉන්නෙ. තාත්තට කලාව පැත්තට ආසාවක් තිබුණා. ඒ කාලේ තාත්තා නාට්‍ය ගෙන්වලා පෙන්නුවා. ඒ කාලේ එච්.ආර්. ජෝතිපාලගේ ගීත ඇහුවා. ඒ ආසාවත් එක්ක මටත් ඒ ආසාව, හීනය ඇතිවුණා.


නුවර ඉඳන් කොළඹට ආවේ නළුවෙක් වෙන්නද?

මම අනුරාධපුරේ අවුරුදු පහක් සහ අම්පාරේ අවුරුදු හතක් පෞද්ගලික අංශයේ සේවය කළා. මම රඟපාන්න කොළඹට ආවේ මට අවුරුදු විසි නමයේදි. ඒ වෙද්දී අපි විවාහ වෙලා හිටියේ. බිරිඳ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තෙ. මේ වනවිට ඇය නුවර ශාන්ත අන්තෝනි විදුහලේ නර්තන ගුරුවරියක් විදියට කටයුතු කරනවා. එයා දරුවන්ට හරි ආදරෙයි.


ඊළඟට තියෙන බලාපොරොත්තු මොනවාද?

මේ පැත්තෙන් යන්න පුළුවන් ඉහළම තැනට යන්න ආසයි. පුංචි තිරයේ වගේම සිනමාවේ ප්‍රවීණ සිනමාකරුවන්ගේ නිර්මාණවලට සම්බන්ධවෙලා මගේ හැකියාව පෙන්නන්න අවස්ථාව ලැබෙන තුරු බලාපොරොත්තුවෙන් ඉන්නවා.



Previous Post Next Post