රඟපෑම අතහරින්නේ නැහැ – අභිලාෂි

 



සංතුෂ්කිආචාර්ය සෝමරත්න දිසානායක සිනමා, වේදිකා සංකලනයෙන් රේණුකා බාලසූරිය නවතම නිෂ්පාදනයෙන් මේ දිනවල දිවයින පුරා සිනමාහල්වල තිරගත වන ‘කපුටු – කොහෝ’ සිනමා නිර්මාණය හරහා අභිලාෂි සන්තුෂ්කි යළිත් රිදී තිරයෙන් දකින්න ලැබෙනවා. ඉතිං මේ නැවුම් සිනමා අත්දැකීම ගැන අහන්න අප ඇයත් සමග පුංචි සංවාදයක නිරත වුණා.


‘කපුටු – කොහෝ’ ට ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාර ද?


ඇත්තටම මංගල දර්ශනයෙන් පස්සේ ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. අපිත් හරිම කුතුහලයෙන් හිටියේ. මොකද මේක හරිම වෙනස් විදිහේ චිත්‍රපටයක්නේ. අපිව මොන විදිහට ප්‍රේක්ෂකයන් භාරගනීවිද කියන කුතුහලයෙන් තමයි මමත් හිටියේ. මංගල දර්ශනයෙන් පසුව ඒ සියල්ලටම හොඳ උත්තරයක් ලැබුණා. මොකද අපිට හොඳ ධනාත්මක ප්‍රතිචාර ටිකක් ලැබුණා.


මංගල දර්ශනයේ දී ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ලැබුණේ මොනවගේ අදහස් ද?


මංගල දර්ශනය දවසේ රවීන්ද්‍ර රන්දෙණිය සර් ඇවිත් හිටියා. ඔහු එදා කිව්ව වචන ටික මට අදටත් මතකයි. “පුතේ මට හිතාගන්න බැහැ ඔයා ගොඩක් දියුණු වෙලා කියලත් කිව්වා. ඔයා කොච්චර දක්ෂ ද කියල මේ නිර්මාණය බැලුවහම පේනවා කියලත් කිව්වා.” ඉතිං මට ඒ වචන ටික කවදාවත් අමතක වෙන්නේ නැහැ. මම ආසම නළුවා තමයි රවීන්ද්‍ර රන්දෙණිය.


එතුමාගෙන් ඒ වචන ටික අහන්න ලැබීම ලොකු සතුටක්.


මම කපුටියෙක් - රඟපෑම අතහරින්නේ නැහැ… - අභිලාෂි

සෝමරත්න දිසානායකයන් මේ ආරාධනාව කළහම මොකද හිතුණේ?


ඇත්තම කිව්වෙත් මේකත් සිංහබාහු වගේ වෙනස්ම සිනමා නිර්මාණයක්. සෝමරත්න සර් මට දෙන්නේම අභියෝග තමයි. ඒ අභියෝගය මම හරිම කැමැත්තෙන් තමයි භාර ගත්තේ. ජන ගායනා, ජන සංගීතය, ජන නර්තනය වගේ දේශීයත්වයට මුල් තැන ලබාදීපු පිටපතක්.


මේ පිටපත නිසා ම ජන සංගීතය, ජන නැටුම් වගේ දේවල් හදාරන්න සිද්ධ වුණා ද?


පාසලේ දී මම නර්තනය, සංගීතය, ගායනය හදාරල තිබුණේ. ඒ හරහා තිබුණු ආභාසය තවත් දියුණු කළා සෝමරත්න සර්, චන්දන වික්‍රමසිංහ සර් වගේම සමන් පනාපිටිය සර්. රූගත කිරීම්වලට කලිනුත් පෙර පුහුණුවීම් සිදු කළා.


පිටපත අතට ගත්තහම බයක් දැනුණේ නැත්ද?


ඇත්තට ම පිටපත අතට ගත්තහම පොඩි බයකුත් දැනුණා, මේක කරන්න පුළුවන් වෙයිද කියලත්. ඒ වගේම මොන විදිහට ප්‍රේක්ෂකයන් භාර ගනීවිද කියන ප්‍රශ්නයත් හිතට ආවා. මොකද මම දේශීය නර්තනය හදාරලා තිබුණට වෘත්තීය මට්ටම දක්වා අරගෙන ගිහින් තිබුණේ නැහැ. පසුව පුහුණුවීම්වලින් පසුව වැඩේ සාර්ථක කර ගත්තා.


කොච්චර කාලෙකට පස්සෙ ද චිත්‍රපටයක් තිරගත වෙන්නේ?


සිංහබාහු තිරගත වෙලා අවුරුදු තුනකට විතර පස්සේ තමයි චිත්‍රපටයක් තිරගත වෙන්නේ. මම ඒ අතරතුර නිර්මාණවලට සම්බන්ධ වුණා. නමුත් මගේ දෙවැනි නිර්මාණය විදිහට තිරගත වෙන්නේ ‘කපුටු කොහෝ’ සිනමා නිර්මාණය.


රූගත කිරීම් අත්දැකීම් මොනවගේද?


හරිම සුන්දරයි. ඇත්තට ම ගොඩක් මහන්සිවෙලා, කැපවෙලා කරපු නිර්මාණයක්. මම කපුටියෙක්. අරගොල්ලෝ කොහෝ. කපුටු – කොහෝ කියන කුරුලු අත්දැකීම ලැබුවා.


මේ දවස්වල ෂූටින් එහෙම කොහොම ද?


මගේ ඊළඟට එන්න තියෙන චිත්‍රපටය තමයි තිළිණ බොරලැස්ස අධ්‍යක්ෂණය කළ ‘මං හොයන්නේ ප්‍රේමයක්’. ඔය අතරේ තවත් චිත්‍රපටයක රූගත කිරීම් සිදු කරගෙන යනවා. තව වැඩ ටිකක් තියෙනවා. ඒ ගැන ඉදිරියේදී කියන්නම්.


අභිලාෂී සිනමාවට ද කැමැති?


මම සිනමාවට ගොඩාක් කැමැතියි. සිනමා තිරය කියන්නේ වෙනම අත්දැකීමක්. අපිට අපේ දක්ෂතාවයන් වැඩියෙන් පෙන්වන්න පුළුවන් කියලත් මට හිතෙනවා. ඒ හා සමානව ටෙලිනාට්‍යවලට වගේම වේදිකාවටත් කැමැතියි.


මේ ලැබෙන ජනප්‍රියත්වය ගැන මොකද හිතෙන්නේ?


හරිම සතුටුයි ඒ ගැන. නිහතමානීව සතුටු වෙනවා. මට මේ හැමදේම ලැබෙන්නේ මාව මේ ක්ෂේත්‍රයට හඳුන්වාදුන් මගේ ආදරණීය සෝමරත්න සර් වගේම රේණු නැන්දා හින්දයි. ඔවුන්ට මම ගරු කරනවා වගේම ස්තුතිවන්ත වෙනවා. ඊට පස්සේ මාව භාර ගත්තේ ප්‍රේක්ෂකයන් සහ මාධ්‍ය. ඒ හැමෝට ම ගොඩාක් ආදරෙයි.


රඟපෑම තෝරාගැනීමත් එක්ක ලැබුණු වටිනාකම ගැන මොනවද කියන්න තියෙන්නේ?


මම පුංචි කාලෙ ඉඳලා රංගනය කියන විෂයට හරිම ආදරෙයි වගේම ගරු කරනවා. මම හිතන්නේ මගේ ජීවිතයට අවුරුදු 17ක් වෙනකොට මම හරිම පාරට අඩිය තිබ්බා කියලයි.


මේ වෙනකොට ඔබේ වෘත්තිය රංගනය ද?


ඔව්, රංගනය අපි ගරු කරන්න ඕනෑ වෘත්තියක්. මම මේ වෘත්තියට හරිම ආදරෙයි. ඉදිරියේදී මම මනෝ වෛi විiාවත් හදාරනවා. මම මනෝ වෛiවරියක් වෙන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඒකට තව ටික කාලයක් ගතවේවි. හැබැයි දැනට වගේම ඉදිරියටත් රංගනයත් වෘත්තියක් විදිහට කරනවා. කවදාවත් රංගනය අතහරින්නේ නෑ.


ටෙලිනාට්‍යවලට අලුත් ආරාධනා ලැබුණ ද?


ගොඩාක් ආරාධනා ලැබුණා. ඒ හැමෝටම ස්තුතිවන්ත වෙනවා මට ආරාධනා කරනවාට. තවමත් මාව ගොඩාක් ටෙලිනාට්‍යවලින් දකින්න නොලැබේවි. ළඟදීම මාව හොඳ ටෙලිනාට්‍යයකින් දකින්න ලැබේවි.


ජීවිතය ගැන ආපසු හැරී බැලුවොත්?


හරිම සතුටුයි. අම්මයි තාත්තයි මාව හරිම ආදරෙන් උස් මහත් කළා. මම හිතන්නේ ඒගොල්ලොත් මම ගැන සතුටු වෙනවා.


අභිලාෂි සන්තුෂ්කි කියන්නේ මොනවගේ චරිතයක් ද?


මම හරිම සරල කෙනෙක්. තනියම පාඩුවේ ඉන්න කැමැති කෙනෙක්.


විලාසිතාවලට මොනවගේ නැඹුරුවක් ද තියෙන්නේ?


විලාසිතාවලට මම හරිම කැමැතියි. මම හිතනවා විලාසිතා ගැන මට හොඳ සෙන්ස් එකක් තියෙනවා කියලා. මගේ ඇඳුම් නිර්මාණය කරගන්නෙත් මම. විලාසිතාවලට හරි කැමැතියි.


අභිලාෂිගේ කොණ්ඩ විලාසිතා ගැන ගොඩක් අය කතාබහ වෙනවා?


ඔව්. ප්‍රේක්ෂකයන් මගේ කොණ්ඩය ගැන කතාබහ කරනවා. මගේ කොණ්ඩයට ආදරය කරනවා. කැරලි කොණ්ඩයට කැමැතියි. ගොඩක් ආදරෙයි. ඉතිං ඒක පරිස්සම් කරගෙන ඉන්නවා.


රසික රසිකාවියන්ගෙන් ආදර යෝජනාත් එහෙම එනවා ඇති නේද?


ආදර යෝජනා එනවා. මොකද දැන් අවුරුදු විසි එකක්නේ.


පෙම්වතියක් කියන්නේ ඇත්ත ද?


නැහැ. නැහැ. තවම පෙම්වතියක් නෙමෙයි.



Previous Post Next Post