මේක දැලිපිහියෙන් කිරි කනව වගේ වැඩක් – සප්නා පාදුක්ක

 



ඇයගේ මුල්ම රඟපෑම ප්‍රේක්‍ෂකයන්ට දැකබලාගන්න ලැබුණෙ ‘පාරදිගේ’ ටෙලි නාට්‍යයෙන්. එහි ‘මානවී’ කියන චරිතය බොහොම ජනප්‍රිය වුණ බව නොරහසක්. ඒ වගේම මේ දිනවල විකාශය වන ඉරගිනි මද්දහන සහ ආලවන්ති යන ටෙලි නාට්‍ය තුළිනුත් ඇයගේ හැකියාවන් දැකබලාගන්න ප්‍රේක්‍ෂකයන්ට අවස්ථාව ලැබෙනව. මේ, සප්නා පාදුක්ක  සමග කළ කතාබහක්.

සප්නා, ඉරගිනි මද්දහනට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ඇත්තටම ඉරගිනි මද්දහනට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනව. මේ දවස්වල ගොඩක් අය අහන්නෙත් ඒ ගැන. ලැබෙන ප්‍රතිචාර අතර හොඳ වගේම නරක ඒවාත් තියෙනව. මොකද ඒ වගේ චරිතයකට කැමති අය වගේම අකමැති අයත් ඉන්නවනෙ. මට හිතෙන විදිහට මේක මට මෙතෙක් ලැබුණ චරිත අතරින් අභියෝගාත්මක එකක්.


‘ආලවන්ති’ ගැනත් කතා නොකරම බැහැ?


ඔව්, ආලවන්ති ගැන කතා නොකරම බැහැ. මොකද ආලවන්ති ටෙලි නාට්‍යයේ ‘චමෝ’ කියන්නෙ මිනිස්සු ගොඩක් ආදරෙන් වැළඳ ගත්ත චරිතයක්.


වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ මොන නාට්‍යයට ද?


ආලවන්ති සහ ඉරගිනි මද්දහන කියන ටෙලි නාට්‍ය අතරින් වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නෙ මේ නාට්‍යයට කියල කියන්න බැහැ. මේ නිර්මාණ දෙකටම එක වගේ රසික ප්‍රතිචාර ලැබෙනව. ඒකට හේතුව වෙන්නෙ චැනල්ස් දෙකක ෆෑන්ස්ල වර්ග දෙකක් ඉන්නෙ.



පුංචි කාලෙ ඉඳලා තිබුණු හීනයක්ද මේ සැබෑ වුණේ?


මම රංගන ශිල්පිනියක් වෙන්න ඕන කියන දේ හිතට එන්නෙ උසස් පෙළ කරන කාලෙ. පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ ස්වර්ණවාහිනියෙන් පැවැත්වූ අවුරුදු කුමාරි තරගයට ඉදිරිපත් වෙනව. ඒ අවස්ථාවෙන්ම මට මගේ හීනය සැබෑ කරගන්න අවස්ථාව ලැබෙනව. ඒ මගේ වාසනාව සහ දක්‍ෂතාව කියලයි මට හිතෙන්නෙ.


ඉගෙන ගත්තේ කවුරු වෙන්න හිතාගෙනද?


මම ඉගෙනගත්තෙ ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්න හිතාගෙන. ඒ වෙනුවෙන් පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධියත් හැදෑරුවා. ඒ අතර මුල් වරට මට වෙළෙඳ දැන්වීමකට පෙනී සිටින්න අවස්ථාව ලැබෙනව. එතැනදි මම හිතනව මගේ රංගන ශිල්පිනියක් වීමේ හීනය සැබෑ කරගන්න උත්සාහ කරන්න පුළුවන් කියල. මේ අතර තමයි ‘පාර දිගේ’ ටෙලි නාට්‍යයට මට ආරාධනයක් ලැබෙන්නෙ.


රඟපෑමට එනවට ගෙදරින් කැමති වුණාද?


මම රංගන ක්‍ෂේත්‍රයට එකතු වීම ගැන අපේ පවුලේ අයගෙන් අකමැත්තක් තිබුණෙ නැහැ.


ගොඩක් දෙනෙක් ඔබව හඳුනා ගත්තේ පාර දිගේ ‘මානවී’ නිසා?


පාර දිගේ කියන්නෙ මගේ මුල්ම ඩ්‍රාමා එක. එහි එන මානවීගෙ චරිතය නිසා තමයි මම ගොඩක්ම රසිකයන් අතරට යන්නෙ සහ ගොඩක් දෙනෙක් මාව හඳුනා ගන්නෙ.


දැන් ඔබේ වෘත්තිය රංගනය ද?


ඔව්, රංගනයට අමතරව මම වෙන වෘත්තියක් කරන්නෙ නැහැ. ඒ නිසා දැන් මගේ වෘත්තිය වෙලා තියෙන්නෙ රංගනය. නමුත් මම වෘත්තියකට එහා ගිය ආසාවකින් තමයි මේ දේ කරන්නෙ.


ඔබට ලැබෙන වටිනාකම ගැන මොකද හිතන්නේ?


රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් කියන්නෙ සමාජයේ ගොඩක් ආදරයට ලක්වෙන කෙනෙක්. මිනිස්සුන්ගෙ ආදරය තමයි වටිනාම දේ. ඒ ගැන හරිම සතුටුයි. ඒක විශේෂ දෙයක්. මොකද හැමෝටම ඒ වගේ ආදරයක් ලබන්න බැහැ. දවසගානෙ දහස් ගණනක් උත්සාහ කරනව මේ ක්‍ෂේත්‍රයට එන්න. ඒ අතරින් කෙනකුට මෙතැනට එන්න පුළුවන් කියන්නෙ ඒක ලොකු වාසනාවක්.


රඟපෑම හිතන තරම් ලෙහෙසි නැහැ?


ඔව්, ඒක හරි. ලෙහෙසියෙන් කරන්න පුළුවන් චරිත වගේම බැරි චරිතත් තියෙනව. සමහර වෙලාවට සාමාන්‍ය කෙනකුට වඩා හාත්පසින්ම වෙනස් චරිත කරන්න වෙනකොට ලොකු මහන්සියක්, ලොකු කැපකිරීමක් කරන්න ඕන. විවිධ තැන්වල යන්න ඕන, රෑ නිදිවරාගෙන ඉන්න ඕන. ප්‍රේක්‍ෂකයන්ට අපි අපේ චරිතය හරියට දෙන්න ඕන. එහෙම බලනකොට රඟපෑම කියන්නෙ කොහෙත්ම ලෙහෙසි දෙයක් නෙමෙයි.


අද වෙනකොට ඔබට ලැබෙන ආරාධනා ගැන මොකද හිතන්නේ?


අද වෙනකොට ටෙලි නාට්‍යවලට ගොඩක් ආරාධනා ලැබිල තියෙනව. චිත්‍රපටවලටත් ආරාධනා කිහිපයක් ලැබිල තියෙනව. නමුත් මට ආස හිතුනොත් සහ මට ගැළපෙනවනම් විතරයි මම චරිතයක් භාරගන්නෙ. මුදල් නිසානම් කොහෙත්ම චරිත භාරගන්නෙ නැහැ.


රඟපෑමේදී සීමා මායිම් තියෙනවද?


ඔව්, රංගනයේදී යම් යම් සීමාවන් තියෙනව. ටෙලි නාට්‍යවලදිනම් ගොඩක් සීමා දාගෙන කරන්න වෙන චරිත ලැබෙන්නෙ නැහැ. චිත්‍රපටවල තමයි සීමා මායිම් ඇතුව කරන්න වෙන චරිත ගොඩක් දුරට තියෙන්නෙ. මේ සීමා මායිම් ගත්තත් යම් චරිත වෙනුවෙන් කරන්න සිදුවෙන සාමාන්‍ය දේවල් කරන්නෙ නැහැ කියන තැන මම නැහැ. නමුත් වැඩිහිටියන්ට පමණයි වගේ නිර්මාණවලදි මම ඒ තැනට යනව කියන තැන මම නැහැ.


සප්නා පාදුක්ක කියන්නේ මොන වගේ චරිතයක්ද?


සප්නා පාදුක්ක කියන්නෙ ටිකක් පාඩුවේ ඉන්න කැමති කෙනෙක්. මට යාළුවො වැඩිය නැහැ. ෆ්‍රී ටයිම් එකට ෆිල්ම්ස් බලන්න වගේම වැඩිපුර ගෙදර ඉන්න කැමති කෙනෙක්. ඒ වගේම චරිතවලදි අභියෝග භාරගන්න කැමති කෙනෙක්.


ජනප්‍රියත්වයත් එක්ක ආදර යෝජනා එහෙමත් එනවා ඇති?


ඔව්, ආදර යෝජනා නම් ෆීල්ඩ් එකේ අයගෙන් වගේම ඉන් බාහිර අයගෙනුත් ඇවිත් තියෙනව. නමුත් තවම එකක්වත් භාරගෙන නැහැ. කලින්නම් සම්බන්ධතා තිබිල තියෙනව. දැන් මේ මොහොත වනවිට මම ආදරවන්තියක් නෙමෙයි.


රංගන ක්‍ෂේත්‍රය ගැන ඔබේ අදහස මොන වගේද?


රංගන ක්‍ෂේත්‍රය ගොඩක් හොඳ තැනක් වගේම වටිනාකමක් ලැබෙන තැනක්. නමුත් දැලිපිහියෙන් කිරි කනව වගේ වැඩක්. හරි පරිස්සමින් යන්න ඕන ගමනක්. එහෙම වුණොත් ලොකු ගමනක් යන්න පුළුවන්. ඉක්මන් කොටයි. ඒ නිසා පිළිවෙළට තමන්ගෙ නම ආරක්‍ෂාකරගෙන ගියොත් දිගටම ඉන්න පුළුවන්. අයුතු යෝජනා එනව. නැත්තෙ නැහැ. ඒවායෙන් මිදිල තමන්ගෙ උත්සාහයෙන් ගමනක් යන කෙනාට රංගන ක්‍ෂේත්‍රය ගොඩක් වටින තැනක්.


මහේෂ් එදිරිසිංහ



Previous Post Next Post