නළුවෙක් ලෙස රඟපෑවට දේශපාලකයෙක් විදිහට රඟපාන්න අමාරුයි -උද්දික ප්‍රේමරත්න

 


උද්දික ප්‍රේමරත්න කියන්නේ අමුතුවෙන් හඳුන්වා දිය යුතු චරිතයක් නෙවෙයි, මේ දිනවල පුංචි තිරයේ වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනු පිරිමි ළමයිහි සුරේන් තිරිමාන්න වන්නේත් ඔහුයි. පුංචි තිරයෙත් සිනමාවෙත් අසීමිත ප්‍රේක්ෂක ආදරේ ආකර්ෂණය දිනා ගත් උද්දික ප්‍රේමරත්න මෙවරත් රයිගම් සම්මාන උළෙලේ ජනප්‍රියම සම්මානය හිමි කරගත්තේ නැවත නැවතත් ජනතාවගේ හදවතේ රැඳී සොඳුරු රංගන ශිල්පියා ලෙස තහවුරු කරමින්. ඒ නිසාම රසඳුන මේ සොඳුරු කතාබහ උද්දික ප්‍රේමරත්න සමඟයි.


මෑත කාලයේ බොහෝ ප්‍රේමවන්තයන් විවිධ කලා නිර්මාණවලින් මතුවුණත්, ඔබට විශේෂ ආදරයක් ප්‍රේක්ෂකයන්ගෙන් හිමි වෙනවා, මෙවර එය තවත් තහවුරු කරමින් රයිගම් සම්මාන උලෙළේ ජනප්‍රියම සම්මානය දෝත දරන්න ඔබ වාසනාවන්ත වුණා, අපි එතැනින්ම කතාව පටන්ගමු. මේ ලැබෙන ආදරණීය ගෞරවයට කියන්න දෙයක් ඇති ?  


කලා ශිල්පියෙකුට ප්‍රේක්ෂකයන්ගෙ ආදරය තරම් වටිනා වෙනත් කිසිවක් නැහැ. ක්ෂේත්‍රයේ පැවැත්ම ඔවුන්ගෙ ආදරය මත රඳා පවතිනවා. ජීවිතේ අනේකවිධ අභියෝග අස්සෙ තමන් ආදරය කරන රංගන ශිල්පියෙක් වෙනුවෙන් ඔවුන් කරන මේ කැපවීම ගැන මම හැමදාම පුදුම වෙනවා. සමාජ මාධ්‍යවල එක එක ගෘප් හදාගෙන ඔවුන් මේ සම්මානය වෙනුවෙන් කැම්පේන් කළා. ඔවුන් එක එක කාලෙට රෙහාන් අලුවිහාරේ, සුරේන් තිරිමාන්න වගේ චරිත එක්ක ආදරෙන් බැඳෙනවා. ඒත් මට දැන් තදින් දැනෙනව ඒ සියල්ලටම උඩින් ඔවුන්ගෙ හිත්වල උද්දික ප්‍රේමරත්න කෙරෙහි තියෙන ආදරය. ඒ ආදරයට මාත් හදවතින්ම ආදරෙයි කියනවට වඩා එයින් එහාට මට ඒ ගැන ලොකු වගකීමක් තියෙනව කියල හිතෙනවා. ඔවුන්ගෙ රසාස්වාදය වෙනුවෙන් මම යමක් කළ යුතුමයි.


මේ කාලයේ ඔබ ප්‍රේක්ෂකයන්ට සමීප වෙන්නේ පුංචි තිරෙන් ‘පිරිමි ළමයි’ ඔස්සේ. ඒ චරිතයට ඇරයුම් කළාම ඔබට දැනුණු දේ මොකක් ද?


මේ චරිතයෙ තියෙන මනුස්සකමටයි මම කැමති. සමාජෙ හැමෝගෙන්ම ප්‍රතික්ෂේප වෙන, කවුරුත් තේරුම් නොගන්න චරිතයක් දිහා ඔහු වෙනස් ඇහැකින් බලනව. ඒ සහකම්පනය නිසයි මේ චරිතයට මට ආස හිතුණෙ. අනෙකා වටහා ගැනීම කියන එකනේ දැන් අපි අතින් සිද්ද නොවෙනම දේ. මිනිස්සුන්ට ඒකට වෙලාවකුත් නැහැ. නමුත් එකිනෙකා වටහා ගැනිම, මිනිස්සුන්ගෙ ආදරේ කරුණාව පිරුණු අන්‍යෝන්‍ය බැඳීම් වගේ දේවල් ජීවිතේට වෙනම අර්ථයක් අරන් එනවා. මේ චරිතය අස්සෙ තියෙන ඒ මානවීය ගුණයට මම පෞද්ගලිකව ආසයි.


සුරේන්ගේ චරිතය ඔබ දකින්නේ කොහොමද?


සුරේන් තිරිමාන්න කියන්නෙ මනුෂ්‍යත්වය ගරු කරන කෙනෙක්. ඔහු විවාහ මංගල්‍යය දවසෙ පැනල ගිය, වගකීම් විරහිත කෙනෙක් කියල මුල දී ප්‍රේක්ෂකයට හිතෙන්න පුළුවන් මුල දී. නමුත් කතාව දිගහැරෙනකොට මේක වෙනස් වෙනවා. ඔහු නෝරා දිහා බලන්නෙ හරිම සානුකම්පිතව. සිහිකල්පනාව හොඳින් තියෙන පිරිමින් ගොඩක් ඉස්සරහ, මානසික අවපීඩනයෙන් පෙළෙන නෝරා කියන ගැහැනිය විඳින පීඩාව ඔහුට බලන් ඉන්න බැහැ. ඇය කලින් හිටපු තත්ත්වයත් සුරේන් දන්නවා. ඒ නැතත්, ඇයව මඟහැරල යන්න ඔහුගෙ හිත ඉඩදෙන්නෙ නැහැ. ඒ නිසයි ඔහු නෝරා වෙනුවෙන් ලොකු අවදානමක් ගන්නේ. මෙගා ටෙලිනාට්‍යවල ගැඹුරු චරිත නිරූපණයකට ඉඩක් නැහැ. ඒ තියෙන ආකෘතිය ඇතුළෙ අපට ලැබෙන්නෙ සීමිත අවකාශයක්. නමුත් ප්‍රේක්ෂකයො ඒ කුඩා ඉඩකඩ ඇතුළෙ මතුවෙන සියුම් මානුෂීය හැඟීම්වලට ආදරේ කරනවා. සුරේන් එක්ක ඔවුන් බැඳෙන්නෙ ඒ නිසා.


පුංචි තිරෙන් මෑත කාලයේ ඔබව මතු කරන්නේ සිවගුරුනාදන් කියන දක්ෂ අධ්‍යක්ෂවරයා. ඔහු සහ ඔබ අතර තියෙන්නෙත් අපූරු සුසංයෝගයක් නේද ?


ඔව්. සිවා අයියා මගෙ රංගනයේ තියෙන රිද්මය හරියට තේරුම් ගන්න කෙනෙක්. ඒ නිසා මට හරි පහසුයි ඔහු එක්ක වැඩ කරන එක. ඔහු රංගන ශිල්පියාට ප්ලේ වෙන්න ඉඩදෙනවා. අනික, වැඩක් කරනකොට පසුබෑම් දහසක් තිබුණත් සිවා අයියා ඒව ගණන් ගන්නෙ නැහැ. ඒ නිසාම ඔහු සාර්ථක වෙනවා. සිවා අයියා වැඩක තියෙන වෙහෙස වෙනුවට, වැඩ කිරීමේ ආත්ම තෘප්තිය විඳින කෙනෙක්. ඔහු අපටත් වෙනමම මෝටිවේෂන් එකක් අරන් එන අධ්‍යක්ෂවරයෙක් හැටියටයි මම දකින්නේ.


පිරිමි ළමයි හැරුණම ඔබව දකින්න ලැබෙන නිර්මාණ මොනවද?


තව ටෙලිනාට්‍යයක් මේ දිනවල රූගත කෙරෙනවා. ඒක බුද්ධික සේමසිංහගෙ අධ්‍යක්ෂණයක්. ඉදිරියෙදී චිත්‍රපට කිහිපයක් එන්න නියමිතයි. චරිත් අබේසිංහ නිර්මාණය කරපු මිස්ටර් මිසිස් ළඟදි තිරයට එයි. තව නිර්මාණ කිහිපයක වැඩ කරමින් ඉන්නේ. ඒ ගැන විස්තර ඉදිරියෙදී කියන්නම්.


චරිත තෝරා බේරා ගැනීම කියන කාරණය අද ඉන්න උද්දික සිදු කරන්නේ කොහොමද?


‘අද ඉන්න උද්දික’ කියල ඔබ විශේෂ කරල ඇහුවට මගේ විදිය හැමදාම එකයි. මිනිස්සුන්ට දැනෙන දෙයක් තියෙන චරිත මම තෝරගන්නවා. එකවර නිර්මාණ ගොඩක් බදාගන්න මම කැමති නැහැ. ඒක මට වෙහෙසක්. අනික, හිතට තෘප්තියක් නැති චරිත නිරූපණය කරන එක මට අසීරු දෙයක්. හිස්, බොල් චරිතවලින් ප්‍රේක්ෂකයට ඇති රසයකුත් නැහැනේ.


සරසවි සම්මාන උලෙළේ සිනමාවෙන් සම්මාන ලැබුණා, ඒ ගැනත් මතක් කරමු?


සම්මාන, ඇගැයීම් කියන්නෙ ජීවිතේට නැවුම් හැඟීම්, වටිනාකම් අරන් එන දේවල්. සරසවිය සම්මාන උලෙළ අපේ රටේ පැරණිම, ප්‍රමිතිගත සම්මාන උලෙළක්. ඒ නිසා, සරසවි සම්මානයක් හිමිවීම ගැන වෙනම සතුටක් තියෙනවා. හැබැයි ඉතින් සම්මාන ගැනීම නෙවෙයි කලා ශිල්පියෙකුගෙ අරමුණ විය යුතු. තමන්ගෙ කලා භාවිතය ප්‍රමිතියකින් පවත්වා ගැනීමයි වැදගත්ම දේ. එතකොට සම්මාන නැතත්, මම යමක් කළා කියන ආත්ම තෘප්තියයි, ජනතා සම්මානයයි මට තියෙනවා.


ඉදිරියේදී වැඩි ඉඩක් වෙන් කරන්නෙ සිනමාවට ද ?


එහෙම කියන්න බැහැ. වෘත්තීය රංගන ශිල්පියෙක් වුණාම පූර්ව සැලසුම් මතම වැඩ කරන්න බැහැ. නිර්මාණයෙ කලාත්මක ගුණය ගැනයි මම වදවෙන්නේ. රඟපාන්න ගියාම ඒක සිනමාව ද ටෙලි ද කියන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි මට.


රංගන ශිල්පියා කියන භූමිකාවෙන් එහාට ගිහින් මේ කලා ලොවේම තවත් පැතිකඩක් නුදුරු කාලයේ උද්දික නියෝජනය කරයි ද?


අධ්‍යක්ෂණය ගැන ද ඔබ අහන්නේ? මට එහෙම ආසාවක් තියෙනවා. නමුත් ආසාව විතරක් මදිනේ. ප්‍රගුණ කළ යුතු බොහෝ දේවල් වගේම අත්දැකීම් සහ පරිචය ඉතාම වැදගත්. මම බලාපොරොත්තු සහගතව ඉන්නවා, බලමු.


*නළුවෙක් වෙන්න කලින් සිටම ඔබ දක්ෂ ගායන ශිල්පියෙක්, නළුවා කියන භූමිකාව ඉස්මතු වෙද්දී ගායන ශිල්පියා යටපත් වෙලා ද?


නැහැ. කලා ක්ෂේත්‍ර දෙකක එක හා සමානව නිරත වෙන එක තරමක් අසීරුයි. මම ඔය භූමිකා දෙකටම කැමතියි. ලැබෙන අවස්ථා කළමනාකරණය කරගෙන සහභාගි වෙනවා.


පසුගිය කාලේ දෙස් විදෙස් ප්‍රසංග වේදිකාවේ ඔබව අපිට දකින්න ලැබුණා, ඒ අත්දැකීම ගැන කතා කරොත්..


මම ගීත ගයපු ප්‍රසංග අතරින් ‘නින්ද නේන රාත්‍රියේ’ විශේෂයි. ඒක ආචාර්ය රවි ලියනගේ මහතාගෙ මෙහෙයවීමෙන් තමයි පැවැත්වුණේ. ඔස්ට්‍රේලියාවෙ නගර කිහිපයකත් ඒ ප්‍රසංග අතිසාර්ථකව වේදිකාගත කෙරුණා. අසමසම ජනප්‍රියත්වයක් හිමි ජෝතිපාල ගායනවේදියාගෙ ගීත, ආචාර්ය රෝහණ වීරසිංහයන්ගෙ සංගීතයෙන් ප්‍රතිනිර්මාණය වෙන ප්‍රසංගයකට එක්වීම හරිම සුන්දර අත්දැකීමක්. ඒක මට වෙනම ප්‍රමිතියක් අරන් ආපු ප්‍රසංගයක් වගෙයි දැනුණේ. මම රෝහණ සර්ටත් ඒ බව කිවුවා. ප්‍රවීණයන් සමඟ වැඩ කරන්න ලැබෙන එක භාග්‍යයක්.


ඔබ ගැයූ බොහෝ කවර් සෝන්ග් ප්‍රේක්ෂක ආදරේ ඉහළින්ම දිනා ගන්නට සමත් වුණා, ඔබේම ගීත කිහිපයක් කරන්න අදහසක් නැද්ද?


තියෙනවා. ඒ වෙනුවෙන් කාලය වෙන් කරලයි තියෙන්නෙ. ගීත කිහිපයක් ගැන මේ දවස්වල කතා කරමින් ඉන්නවා. මිනිස්සුන්ට දැනෙන රහක් තියෙන්නත් ඕන නේ. ඒ නිසා කලබලෙන් ගීත නිර්මාණය කරලා වැඩක් නැහැ.


බොහෝ කලාකරුවන් දේශපාලනය කරන්න ගිහින් ප්‍රේක්ෂකයන්ගෙන් ඈත් වුණා. හැබැයි උද්දිකව තවදුරටත් අවශ්‍ය සොඳුරු කලාකරුවෙක් ලෙසින් කියන එක ජනතා මතය හැමදාම ඔප්පු කළා, ඒ ගැන කියන්න දෙයක් ඇති..


නියම ජනතා මෙහෙවරකට තියෙන හොඳම වේදිකාව, පිරිසිදු දේශපාලනය කියලා මම අදත් විශ්වාස කරනවා. නමුත් අවාසනාවකට අපේ රටවල්වල තියෙන දේශපාලන සංස්කෘතියෙ පරිහානිය නිසා ඒක යථාර්ථයක් බවට පත්කරන එක පුදුම අසීරු වැඩක්. නළුවෙක් විදියට රඟපෑවට මට දේශපාලනඥයෙක් විදියට රඟපාන්න අමාරුයි. දැනට මම කලා ශිල්පියෙක් හැටියට ජනතා බලාපොරොත්තු ඉටුකරමින් ඉන්නවා. ඒත් ජනතාවාදී දේශපාලනඥයන් පිළිබඳ ප්‍රාර්ථනා අපි අත්හළ යුතු නෑ.


ඔබේ පෞද්ගලික ජීවිතේ ඔබ මාධ්‍ය ඉදිරියට ගෙන එන්නෙත් කලාතුරකින්. ඒ අය ගැනත් ආදරණිය ප්‍රේක්ෂකයන් දැනගන්න කැමති ඇති?


ඒ නිසාම තමයි ඒකට පෞද්ගලික ජීවිතේ කියල කියන්නෙ, රංගන ශිල්පීන් කියන්නෙත් සාමාන්‍ය මිනිස්සු කොටසක්නේ. මගෙ නිර්මාණ මිසක් මගෙ පෞද්ගලික ජීවිතේ රසවිඳින්න වුවමනාවක් ප්‍රේක්ෂකයන්ට ඇති කියල මට හිතෙන්නෙ නැහැ. එදිනෙදා ජීවිතේදී මානසික නිදහස තරම් වටින වෙනත් දෙයක් නැහැ නේ. මගෙ බිරිඳත් එහෙමයි. ඇයට මගේ ගැන තියෙන නිවැරැදි වැටහීම මගෙ ජීවිතේට ලොකුම ශක්තියක්. අපේ පුතා දැනට ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබනවා.


2025 වසරේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් අලුත් දෙයක් තිළිණ කරන්න අදහසක් නැද්ද?


අදහස් නම් කීපයක්ම තියෙනවා. සිනමාව ගැන කිවුවොත්, සිවා අයියා (ජයප්‍රකාශ් සිවගුරුනාදන්) එක්ක චිත්‍රපටයක් කරන්න සාකච්ඡා කරමින් ඉන්නේ. ගීත නිර්මාණ කිහිපයකුත් එළිදක්වන්න හිතාගෙන ඉන්නවා.


අවසාන වශයෙන් ඇහුවොත් උද්දික ප්‍රේමරත්න කියන චරිතය ජීවිතේ දකින්නේ කොහොමද?


ජීවිතය කියන්නෙ අත්හැරිය නොහැකි අභියෝගයක්. වර්තමානෙ අපේ දරුවො ඉතාම සුළු මානසික කඩාවැටීම් දරාගන්න බැරුව ජීවිතේ අත්හරින හැටි නිතරම අහන්න දකින්න ලැබෙනවා. මට මේ ගැන මහා කම්පාවක් තියෙනවා. ඒ වෙනුවෙනුත් සැලකිය යුතු දෙයක් කරන්න ඕන කියල මට හිතෙනවා. කොයිතරම් පසුබෑම් ආවත්, කලකිරීම් ආවත්, නැගී සිටීමයි ජීවිතේ කියන්නෙ.


Previous Post Next Post