මේ හැමදේම වුණේ අහම්බයෙන් -අයිශාරා අතුකෝරාළ

gossiplanka image 1
චිත්‍රපට ක්ෂේත්‍රය මෙන්ම නිරූපණ ක්ෂේත්‍රය තුළද අයිශාරා රුවැති  සිතැත්තියකි. ඇය මේ දිනවල මෙරට චිත්‍රපටි ප්‍රේක්ෂකයන්ගේ වැඩිම අවධානයට ලක්ව සිටියි. මේ දිනවල තිරගතවන "අයිස්ක්‍රීම්" චිත්‍රපටය ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට එන ඇය සමඟ කළ කතා බහකි මේ.


 


අයිශාරා ඔබේ කාර්යබහුල ජීවිතය ගෙවෙන්නේ  කොහොමද?


 


මම ගොඩක් රටින් පිට තමයි ජීවත් වෙන්නේ. මම මේ පාර ලංකාවට ආවේ ජයන්ත චන්ද්‍රසිරි සර්ගේ අලුත් නිර්මාණයක් වන "සැඟවුණු නගරය" කියන චිත්‍රපටයේ රූගත කිරීම්වලටයි. ඒ අතරතුර තමයි මම රංගනයෙන් දායක වුණු "අයිස්ක්‍රීම්" චිත්‍රපටය තිරගත වෙන්නේ.


 


ඔබේ කලා ජීවිතය සහ මේ දක්වා පැමිණි ගමන් මඟ කෙටියෙන් මතක් කළොත්?


මම කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ සැලසුම් කරලා නෙවෙයි. මගේ පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නැහැ. මම ගොඩක්ම අධ්‍යාපනයට තමයි මුල්තැන දුන්නේ. උසස් පෙළ විභාගයෙන් පසුව උසස් අධ්‍යාපනය සඳහා මම එංගලන්තය බලා පිටත්ව ගියා. එහිදී හැදෑරුවේ නීති විෂයයි. 2023 වර්ෂයේදී Low Graduate කෙනෙක් විදිහට නැවත ලංකාවට පැමිණියේ. ලංකාවට ආවට පස්සේ නීති විද්‍යාලයේ රෙජිස්ටර් වෙලා නීතිඥ විභාගය කළා. මේ කාලයේ තමා මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් නිරූපණ ක්ෂේත්‍රයට එන්නේ. ඒ විදිහට සම්බන්ධ වෙලා නිරූපණ ක්ෂේත්‍රය තුළ ගොඩක් වැඩ සිදුකළා.


 


චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසුණේ කෙසේද?


 


මගේ පළමු චිත්‍රපටය පැණි මකුළුවෝ. එහි රඟපෑවේ සනත් ගුණතිලක මහත්මයා සහ දිනෙත් ද සිල්වා සමඟයි. "අයිස්ක්‍රීම්" චිත්‍රපටිය සඳහාත් ආරාධනාව ලැබෙන්නේ මේ කාලයේදී.  තව මේ කාලයේ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ "හංකිති 13" වේදිකා නාට්‍යයට ද සම්බන්ධ වුණා.


 


 


"අයිස්ක්‍රීම්" චිත්‍රපටයට ඔබ සම්බන්ධ  වෙන්නේ කොහොමද?


 


අයිස්ක්‍රීම් චිත්‍රපටයට මම සම්බන්ධ වෙන්නේ Fashion  Photographer කෙනෙක් මාර්ගයෙන්. ඒ අතරතුර තමයි ජයන්ත චන්ද්‍රසිරිගේ "හංකිති 13"  කියන වේදිකා නාට්‍යය කරන්න ලැබෙන්නේ. මාස 6ක - 8ක පමණ කාලයක පුහුණුවීම්වලින් පසුව ඒක  සෑහෙන අත්දැකීමක් ලැබුණු අවස්ථාවක් කියන්න පුළුවන්. ඒ වගේම රංගනය ගැන මම ඉගෙනගෙන නැති නිසා වේදිකා නාට්‍යයේ අවුරුද්දක පමණ කාලයක් පුහුණුවීම් කිරීමට අවස්ථාව ලැබීම සහ රට පුරා ඉදිරිපත් කිරීමට  ලැබුණු අවස්ථාව මගේ ජීවිතයේ ලොකු අත්දැකීමක් කියලා මම හිතනවා.


 


අයිශාරා ඔබේ ජීවිතයේ මුහුණ දුන් අත්දැකීම් මොනවාද?


 


මගේ ජීවිතය තුළ අත්දැකීම් ගොඩක් තියෙනවා. ඒවා මිහිරි අත්දැකීම් මෙන්ම අමිහිරි අත්දැකීම් ද වෙනවා. ඒ වගේම අමිහිරි අත්දැකීම්වලින් ජීවිතයට එකතු කරගත් පාඩම් බොහෝමයි. ජීවිතයේදී සාර්ථකත්වයට වඩා අසාර්ථකත්වයෙන් ඉගෙන ගන්න තියෙන දේවල් බොහොයි. මම හැම වෙලාවෙම උත්සාහ කරන්නේ අමිහිරි අත්දැකීමක් වුණත්, ඕනෑම අසාර්ථකත්වයකින් වුණත් ජීවිතයට දෙයක් එකතු කරගන්න.


 


ඔබ නිරූපණ ක්ෂේත්‍රය තුළ නියැළුණ කෙනෙක් විදිහට වර්තමානයේ නිරූපණ ක්ෂේත්‍රය ගැන ඔබේ අදහස මොන වගේද?


 


මුලින් කිවුව වගේම මම කලාවට සම්බන්ධ වෙන්නේ අහම්බෙන්. ඒ විදිහට සම්බන්ධ වුණාට පස්සේ නිරූපණ ක්ෂේත්‍රයේ බොහෝ වැඩ කටයුතුවලට දායක වුණා. මේ වගේම රංගන ක්ෂේත්‍රය තුළද ප්‍රවීණ අතිදක්ෂයන් සමඟ රංගනයට දායක වෙන්න අවස්ථාව උදා වුණා. නිරූපණ ක්ෂේත්‍රය තුළදී මම පැජෙන්ට්වලට සහභාගි වෙලා නැහැ.  පෞද්ගලිකව මම පැජෙන්ට්වලට අකමැතියි. ඒ වගේම කියන්න ඕනේ තවදෙයක් අනෙකුත් රටවල් එක්ක බලනකොට අපේ රටේ නිරූපණ ක්ෂේත්‍රය තවත් අප්ඩේට් වෙන්න ඕනේ.


 


ඔබගේ ඉදිරි බලාපොරොත්තු සහ ඉදිරි සැලසුම් මොනවාද?


 


මම හිතන් ඉන්නවා ඉදිරියේදී ලංකාවට ඇවිත් පදිංචි වෙන්න. මම මගේ පෞද්ගලික ජීවිතයට මුල් තැන දෙනවා.  ඉදිරියේදී රංගන ක්ෂේත්‍රය වගේම නිරූපණ ක්ෂේත්‍රය තුළද වැඩ කිරීමට බලාපොරොත්තු වෙනවා.


 


මේ වගේම මම කැමති ප්‍රොජෙක්ට් එකක්, මම කැමති ඩිරෙක්ටර් කෙනෙක් සහ මම කැමති ස්කක්‍රිප්ට් එකක් ලැබුණොත් මම අනිවාර්යයෙන්ම වැඩ කරනවා. මම ඉගෙන ගත්ත දේවල් ප්‍රයෝජනයට ගන්න ඕනේ. ඒ නිසා නීතිඥවරියක් විදිහට රැකියාව කරන්නත් බලාපොරොත්තු වෙනවා.

gossiplanka image 2
Previous Post Next Post